අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති
සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසනමාමක
එම්.ඒ. විශ්ව වංශනාත
සසරට බැඳ තබන කෙලෙස් දුරු කිරීමේ මාර්ගය වඩන්නා වූ පුද්ගලයකුට උපකාරී වන අංග අට
ඇතුළත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ද සම්මා වායාම හෙවත් උතුම් වූ උත්සාහය ගැන
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
ඒ අනුව උත්සාහාවන්තයකු තුළ තිබිය යුතු අංග සතරක් පැහැදිලි කර දී ඇත. එනම්, මේතාක්
තමන් ඇති කරනොගත් අකුසල් ඇති නොවන ලෙස කටයුතු කිරීම, මේ වන විටත් තමා තුළ සකස් වී
ඇති අකුසල් දුරු වන ලෙස කටයුතු කිරීම, මේ තාක් තමා විසින් උපදවා නොගත් කුසල් උපදවා
ගැනීමට කටයුතු කිරීම හා මේ වන විටත් තමා විසින් උපදවා ගෙන ඇති කුසල් තවත් වර්ධනය කර
ගැනීමට කටයුතු කිරීමයි.
ඒ අනුව යමකු යම් දෙයකට උත්සාහ කරන විට, එසේ සිදුකළ යුත්තේ යහපත් චේතනාවෙන්, යහපත්
කාරණා සඳහා ය. පවිටු චේතනාවෙන්, අයහපත් දේ සඳහා කටයුතු කිරීම උතුම් උත්සාහයක් ලෙස
හෝ ක්‍රියාවක් ලෙස හෝ බුදු දහමේ නොසලකයි.
ලොව මෙතෙක් බිහි වූ පරමාදර්ශී ම ශාස්තෘවරයාණන් ලෙස ගෞතම බුදුරජාණන් වහන්සේ දැක්විය
හැක්කේ බුද්ධචරිතය පුරා ම දකින්නට ඇති උත්සාහය, වීර්යය හා පරාර්ථය ප්‍රමුඛ වූ අසමසම
වූ ගුණ කදම්භය හා ක්‍රියාපිළිවෙත නිසා ම ය. බුදුරජාණන් වහන්සේ ඵලදායීතාව ලෙස දුටුවේ
බුද්ධත්වය ශාක්ෂාත් කර ගැනීම නොව තමන් වහන්සේ සසරින් එතෙර වී, සියලු සත්ත්වයාට ද
සසරින් එතෙරවීමේ මාර්ගය දේශනා කිරීම ය.
බොහෝ අය ඵලදායිතාව ලෙස දකින්නේ තමා උගත්කමින් හා ධනයෙන් වැඩී සතුටින් ජීවත් වීමයි.
එය ඵලදායීතාව නොව ආත්මාර්ථය යි. සැබෑ ඵලදායිතාව වන්නේ තමා ලබාගත් සාර්ථකත්වය තුළින්
අන් අයට යහපතක් සිදු කිරීමයි.
ඉලක්ක සපුරා ගැනීමට හෝ යම් කාර්යයක සාර්ථකත්වයට පත්වීමට හෝ අප තුළ ඒ කෙරෙහි නොපසුබට
උත්සාහයක් තිබිය යුතු ය. පන්සිය පනස් ජාතක පොතේ වණ්නුපථ ජාතකය. අම්බ ජාතකය හා තවත්
එවැනි බොහොමයක් ජාතක කතා තුළ නොපසුබට උත්සාහයෙන් සාර්ථකත්වය ළඟා කර ගත හැකි ආකාරය
ගැන සඳහන් වී ඇත.
බොහෝ විට අප උත්සාහයෙන්, වීර්යයෙන් කටයුතු කිරීම සීමා කිරීම අප අතින් නොදැනුවත්ව ම
සිදු වන අකටයුත්තකි. උදාහරණයක් ලෙස, තරග විභාගයකට ආරම්භයේදී පොත් පත්, පෑන් පැන්සල්
රැගෙන නව ජවයකින් සූදානම් වන දූ පුතුන් කාලයත් සමඟ එම ජවය හා උත්සාහය වියැකෙන්නට ඉඩ
දී අවසානයේ විභාගය ළං වූ පසු කම්පනයට පත්වෙති.
ස්වයං ව්‍යාපාරයක් ගොඩනඟා ගෙන ධනවත් වීමට කැමැති තැනැත්තන් සිහින හා ඉලක්ක පොදිගසා
මහත් ජවයෙන්, ප්‍රදර්ශනයෙන් ව්‍යාපාර ආරම්භ කර කාලයත් සමඟ ඒ ජවය හා උත්සාහය වියැකී
ගොස් ඉච්ඡාභංගත්වයට පත්ව සිටිනු අප දැක ඇත. මීට හේතුව සිතින් සිතූ තරමට අදාළ
කාර්යයට උත්සාහවත් නොවීමයි.
දිළිඳු ව හැදී වැඩී, සිය පිය උරුමයෙන් තමාට හිමි රාජ්‍යය දිනා ගැනීමට උත්සාහයෙන්
ක්‍රියා කර අනතුරුව වීර්යයෙන් විමුක්තිය සොයා යන බෝසතාණන් පිළිබඳ දැක්වෙන මහාජනක
ජාතකයේ ඒ පිළිබඳ මෙලෙසින් දක්වා ඇත.
“අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති,
න හි චින්තාමයා භොගා, ඉත්ථියා පුරිසස්ස වා”
නොසිතූ දේ වෙයි. සිතූ දේ විනාශ වෙයි. සිතීමෙන් පමණක් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ
සිදුවන සම්පතක් නැත.
මෙහිදී කියැවෙන්නේ ‘යමකු සිතන දේ නොවන්නේ ය. වෙන දෙය සිතාගන්නට ද නොහැකි’ ය කියන
අරුත නොව, සිතීමෙන් පමණක් යමකුට අවශ්‍ය දේ ඉටුකර ගත නොහැකි බවයි.
ජාතක පාලියේ එන මෙම මහාජනක ජාතකයේ දක්වා ඇත්තේ උත්සාහයේ සහ අධිෂ්ඨානයේ ඇති වටිනාකම
යි. මිනිසා තමාගේ ජීවිතය තුළ අරමුණූ හා ප්‍රාර්ථනා තබා ගනිමින් ඒ සඳහා වීර්යයෙන්,
උත්සාහයෙන් වැඩ කළ යුතු බවත්, එලෙස උත්සාහයෙන් ක්‍රියා කරන විට, තමාට නොහැකි බවට
ඇති වූ සිතුවිල්ල යටපත් වී, ඊට වෙනස් දේ සිදුවන බව (අචින්තිතම්පි භවති) ත්, ඊට පෙර
ඇති වූ පසුගාමී සිතිවිල්ල විනාශ වී යන බව (චින්තිතම්පි විනස්සති) ත්, මෙම මහාජනක
ජාතකයෙන් සමාජයට දෙන පණිවුඩය යි.
“සිතන” දේ නොවෙනවා නම්, පෙරුම් පුරා කිසිවකු බුද්ධත්වයට පත්වන්නේ නැත. සිත මෙහෙයවා
මාර්ගඵල ලබන්නේ නැත. සිතන දේ නොවෙනවා නම්, ඔබ මෙතෙක් කල් ජීවිතයේ සිදු කළ කිසිදු
දෙයක් සිදුවන්නට ඉඩ නැත. ඒ සිතුවිලි ම ක්‍රියාවට හේතු වන හෙයිනි. බෝසත්වරයකු
බුද්ධත්වයට පත් වන්නේ සිය අරමුණ වෙනුවෙන් අධිෂ්ඨානශීලී ව, වීර්යයෙන් ක්‍රියා
කිරීමෙනි. ජීවිතය ජය ගන්නා, ජීවිතය යහපත් පරිදි පවත්වා ගෙන යන අයකු එතැනට
පැමිණෙන්නේ එසේ වේවා’ යැයි සිතීමෙන් පමණක් නොව, ඊට අනුකූල වන පරිදි ක්‍රියා
කිරීමෙනි.
විමුක්තිය උදෙසා බෞද්ධයකු යන මාර්ගය සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් යුක්ත
වේ. සිල් සමාදන් වීමට කෙනකු තුළ ඇති කැමැත්ත වටිනා මුත්, උත්සාහය අවශ්‍ය වන්නේ සීලය
සමාදන් වීමට නොව සීලය රැක ගැනීමට ය. උත්සාහය අවශ්‍ය වන්නේ සමාධිය ගැන ඉගෙනීමට නොව
සමාධිය රැකීමට ය.
සත්‍යය නම් උත්සාහයෙන් වර්ධනය කර ගත යුතු සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන්
තොර ව කිසිවකුට නිර්වාණය ලබා ගත නොහැකි බවයි. එබැවින් සෑම කෙනකු ම සම්මා වායාමයෙන්
ලෞකික ජීවිතයත්, ලෝකෝත්තර ජීවිතයත් සකසා ගනිමින් නොපමා ව දහම් වඩමින් නිර්වාණය කරා
එළඹීමට උත්සාහවන්ත විය යුතු ය.
ආදර්ශවත්, වටිනා පුද්ගල චරිත ආදර්ශයට ගැනීම කල්‍යාණ මිත්‍ර සම්පත ලෙස බුදුරජාණන්
වහන්සේ හඳුන්වා ඇත. ඔබ අප කාගේත් ජීවිතවල මානසික බිඳවැටීම් කලින් කලට ඇතිවීම
නොවැළැක්විය හැක්කකි. එසේ මානසික ව ඇද වැටුණු අවස්ථාවල දී, ජීවිතයේ නොයෙකුත් මානසික
කම්කටොළුවලට මුහුණ දී ගොඩනැඟුණු පුද්ගලයන්ගේ චරිත පිළිබඳ කියැවීමෙන් ඔබට එවැනි
මොහොතට අවශ්‍ය ධනාත්මක උත්තේජනය ලබා ගත හැක.
වර්තමානයේ ඇති සමාජ මාධ්‍ය ජාලාවලින් බොහෝ අය ඍණාත්මක දේ දුටුව ද, මෙවැනි අවස්ථාවල
දී අපේක්ෂා භංගත්වයට පත් නොවී අභියෝග ජය ගනිමින් උත්සාහවන්ත ව අරමුණ කරා කටයුතු කර
ජයගත් පුද්ගලයන්ගේ කතා සමාජ මාධ්‍ය තුළ කොතෙකුත් දැකිය හැක. ජීවිතයේ අපේක්ෂා
භංගත්වයට පත් වූ සෑම විටක ම තම අරමුණ සිහි කරමින් සාර්ථකත්වය කරා ධෛර්ය සම්පන්න ව
කටයුතු කිරීම උතුම් ගුණාංගයකි.
ධර්මය ශ්‍රවණය කිරීම, අභිප්‍රේරණ දේශනවලට සවන්දීම, වටිනා පොත්පත් කියවීම සහ කල්‍යාණ
මිත්‍රයන් ඇසුරු කිරීම ජීවිතයේ අරමුණු ජය ගැනීමට අවශ්‍ය උත්සාහය හා වීර්යය
වැඩිදියුණු කිරීමටත්, පවත්වා ගැනීමටත් මනා පිටිවහලක් වේ. |