|
ජීවිතයට භාවනාව - 01:
භාවනාව ගැන දුර්මත එපා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
බළන්ගොඩ ආනන්ද චන්ද්‍රකීර්ති හිමි
භාවනා කළ යුතු වයස්ගත වූ විටය. භාවනා කිරීමට පැවිදි විය යුතු ය. භාවනා කළ යුතු
පන්සලක, භාවනා මධ්‍යස්ථානයක, භාවනාව සඳහා වෙන්කළ ස්ථානයක, වනගත ප්‍රදේශයක, නිශ්ශබ්ද
වූ ද, සන්සුන් වූ ද ස්ථානයක පමණි. භාවනා කළ යුත්තේ සිල්ගත්විට ය.
දරුවන්ගේ ප්‍රශ්න විසඳාගෙන, භාවනා කළ හැකි ය. පන්සලේ කටයුතු අවසන් කොට පසුව භාවනා
කරන්නෙමි. යන අදහස් වැරැදි සහගත ය.
ඕනෑම කෙනකුට, ඕනෑම තැනක සිට භාවනා කළ හැකි බව කල්පනාවට ගත යුතු ය.
සිහිය යනුවෙන් සිංහලෙන් භාවිත වන පදය සතිය යනුවෙන් පාලි භාෂාවෙන් යෙදේ. කල්පනාවෙන්,
අවධානයෙන්, සිහි බුද්ධියෙන් කටයුතු කිරීම, කථා කිරීම, සිත යෙදවීම, සිහියට අදාළ වේ.
වර්තමානයේ අපට තිබෙන සියලු ම ප්‍රශ්න, ගැටලු, අර්බූද, අසහන, පසුතැවීම් සියල්ලක් ම
ඇති වන්නේ සිහිය නැතිකම නිසා ය. සාමාන්‍යයෙන් අපි පුරුද්දක් වශයෙන් රණ්ඩු දබර කරගත්
දේ, අපහාස වූ දේ, අපහසුවට පත් වූ දේ්, පරාජයට පත්වූ අවස්ථා ගැන කල්පනා කරමු.
ලජ්ජාවට පත්වූ අවස්ථා ආදිය කල්පනා කරමින් කටයුතු කරමු.
එසේ කළ අයට පාඩම් උගන්වන්නට, දඬුවම් කරන්නට, කරදර කරන්නට, පලි ගැනීමට කල්පනා කරමු.
මෙවැනි දේ නිසා සිහිය අඩු වේ. එවිට නිතර අමතක වේ. මානසික පීඩා ඇතිවේ. නින්ද නොයයි.
පොතපත කියවීමට රුචි නොවේ. නිසි පරිදි ආහාර ගැනීමට පවා නොහැකි වේ. එකට වාසය කරන්නන්
සමඟ නොරිස්සුම් සහගත වේ. තරහවෙන් කටයුතු කරයි. මත් වතුරට, දුම්පානයට,
මත්ද්‍රව්‍යවලට යොමු වන්නට ද පුළුවන. මනසේ සතුට, සැහැල්ලුව, ප්‍රීතිය, නිදහස නැති
වන්නේ තමන්ගේ සිහිය හරි විදිහට පවත්වා ගැනීමට බැරි නිසා ය. මේ සඳහා නිතරම සිහියෙන්
යුතුව සතිමත් බවින් යුතුව, මේ මොහොතේ සිත රඳවාගෙන කටයුතු කරන්නේ නම්, පහසුවෙන්ම ඉහත
ගැටලු විසඳාගත හැකි ය. එවිට විභාග ජයගැනීම පහසු වේ., ක්‍රීඩාවලින් ජය අත්වේ. පවුලේ
සතුට සන්තෝෂය සුරැකේ.
මේ ඒ සඳහා සරල අභ්‍යාස ක්‍රම කිහිපයකි.
සක්මන් භාවනාව,
ආනාපානාසති භාවනාව හා
සිහියෙන් වැඩ කිරීම (සම්ප ජඤ්ඤ භාවනාව) යනුවෙනි.
සක්මන් භාවනාවෙන් ඉක්මන් ඵල ලබමු.
සක්මන් භාවනාවේ අනිසංස පහක් බුදුහිමියෝ දේශනා කළහ.
ඉවසීමෙන් බොහෝදුර සිහියෙන් ඇවිදීමට හැකිවීම, සෑම දේට ම උත්සාහය වැඩිවීම, ආබාධ
(රෝගපීඩා) අඩුවීම, ආහාර හොඳීන් දිරවීම හා බොහෝ කල් පවතින සිතේ එකඟකම යි. එනම්
සමාධියක් ඇති වීම යි.
තෝරාගත් ස්ථානයක කෙළින් ම ඉදිරියට ගොස්, නැවත සිටින ස්ථානයට පැමිණීම සිහියෙන් යුතු
ව කිරීම සක්මන් භාවනාවයි. ඕනෑම ස්ථානයක සක්මන් කළ හැකි ය.
චක්‍රාකාරයෙන් එනම් රවුමක් වටා යන අයුරින් සක්මන් නොකරන්නේ නම් ඉතා හොඳ ය.
මෙහිදී අත්දෙක ඉදිරිපසට හෝ පිටුපසට තබා ගැනීම කළ හැකි ය. ශරීරය දෙපැත්තට වමට සහ
දකුණට අත් දෙක තබාගත හැකි ය. අඩි තුන හතරක් ඉදිරිපස පොළොව වෙත දෑස් යොමු කර ගන්න.
සක්මන් භාවනා කරන ප්‍රදේශය අඩු තරමින් අඩි දහයක් පහළොවක්වත් තිබේ නම් හොඳ ය. උපරිම
වශයෙන් පියවර පනහක් ප්‍රමාණවත් ය. වම් කකුල ඔසවා බිම තබන විට වම යැයි ද, දකුණ කකුල
ඔසවා තබන විට දකුණ යනුවෙන් ද මනසින් සිහි කළ හැකි ය.
මෙසේ සක්මන් භාවනාව, ආහාරයෙන් පසු කළ හැකි ය.
නින්දෙන් අවදි වූ පසු වාඩි වී භාවනා කිරීමට පෙර කළ හැකි ය.
මීට අමතරව ඕනෑම වෙලාවක අඩුම තරමින් විනාඩි 20ක්වත් කරන්නේ නම් මැනවි. උපරිම වශයෙන්
පැයක කාලයක් දක්වා පුහුණු කිරීමට හැකි නම් ප්‍රතිඵල ඉක්මන් වනු ඇත. |