සතුට රකින සතිමත් සිත
බිබිලේ ධම්මසිරි හිමි
“මට මේ පවුල් ජීවිතය දැන්නම් එපා වෙලා... උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ වැඩ ඉවරයක් නෑ...
කිසිම විවේකයක් නෑ.
ඒ මදිවට ඇනුම් බැණුම් ඉවසීමේත් සීමාවක් තියෙනවා. පිනක් දහමක් කර ගන්නවත් වෙලාවක් නෑ
මේක මගේ කරුමේ... මම තව ටික දවසයි බලන්නේ. ඔළුව හැරුණ අතේ යනවා යන්න. “මෙසේ දෙස්
දෙවොල් තියන බොහෝ බිරිදෑවරු අද ජන සමාජ තුළ සිටිති. දික්කසාද වන අය පමණක් නොව
සියදිවි හානි කරගන්නා කාන්තාවෝ ද බොහෝ වෙති. මෙයට සාපේක්ෂ ව මව පියා අහිමි වන දරුවෝ
ද සිටිති.
තමන්ගේ වැරැදි හඳුනාගෙන බාහිර අයගේ වැරැදි නිවැරැදි කිරීමට නොගොස් සතිමත් ව කටයුතු
කරන බිරිඳ ගුණයහපත් බිරිඳක් පමණක් නොව, එලොව මෙලොව ජය ගන්නා අයකු බව ධර්මයේ සඳහන්
වේ. ඒ සඳහා ප්‍රබල සාධකයක් වන්නේ ‘සතිය’ යි. සතිය හෙවත් සිහිය පැවැත්වීම තුළ සියලු
කරදර කම්කටොලු බාධක ඉවත්වී ගොස් චිත්ත සන්තානය තුළ සතුට සොම්නස උදාවන බව බුද්ධ
දේශනාව තුළින් පෙන්වා දී ඇත.
ගෘහස්ථ පීඩනය තුළ හිරවී සිටින බිරින්දෑවරු සතිය වඩන්නේ නම්, ඔවුන්ට ඉන් යහපත්
ප්‍රතිඵල ළඟාවන බව සත්‍යතාවකි. ඒ තුළින් අයහපත් ධර්මයෝ ඉවත්ව ගොස් යහපත් ගුණ ධර්ම
තමන් තුළ ඉපදීමට පටන් ගන්නේ ය.
සතිමත් භාවය තුළින් ගොඩනඟා ගන්නා ජීවිතය ඉතා යහපත් බවට විශ්වාසයක් ගොඩනඟාගත්
කාන්තාවට ඒ සඳහා පුරුදු පුහුණු විය යුතු වැඩපිළිවෙලක් බුදු දහම තුළ ක්‍රියාත්මක වේ.
ඒ සඳහා කල්‍යාණ මිත්‍රයකුගේ අවවාද අනුශාසනා අවශ්‍ය වේ. ඒ අනුව වීර්යයෙන්, සිහියෙන්
හා නුවණින් යුතු ව මෙම ප්‍රතිපදාවේ සිත පුරුදු පුහුණු කළ යුතු ව ඇත.
සිත විසිරී යාම සිතේ ස්වභාවය වේ. එය හඳුනා ගැනීමට හැකි වන්නේ සතිය වඩන විට ය.
අතීතයට හා අනාගත සැලැසුම් ඔස්සේ සිත විසිරී යාමත් සමඟ ඒ තුළ ජීවත්වීමට බොහෝ දෙනා
පුරුදු වී සිටිති. අකුසලයකට දිවයන සිත ඉන් මුදාගෙන වර්තමාන මොහොතට ගෙන ඒමට වෙර
වීරිය ගත යුතු ව ඇත. මේ සඳහා බුදු පියාණන් වහන්සේ සක්මන හා පරියංකය මඟින් සතිමත් වන
අයුරු පෙන්වා දුන්හ. සතර සතිපට්ඨානය වඩනවා යැයි කියැවෙන්නේ සතිමත් වීම බව සඳහන් කළ
යුතු ය. මින් එදිනෙදා වැඩ කරන හැම මොහොතේම සතිමත්ව එම වැඩ කොටස ඉතා ඉක්මනින්
නිවැරැදි ව, වෙහෙසකින් තොර ව සතුටින් නිමා කළ හැකිය. වැඩක් කරන විට වර්තමාන මොහොතේ
කය තිබුණත් සිත වෙනත් තැනක ගොස් තිබීම නිසා අප තුළ වෙහෙස මහන්සිය වැනි ආවේග ගලා ඒම
සිදුවන නිසා ආතතිය වැනි රෝග ලක්ෂණ වර්ධනය වීමට ඉඩ ඇත. සතිය පුහුණු කිරීම තුළින් බෝ
නොවන රෝග අප කරා පැමිණීමේ ප්‍රවණතාවක් නැත.
පරියංකය තුළ හෙවත් හිඳගෙන සතිය වඩන ප්‍රතිපදාවක් දහම තුළ විස්තර වේ. එය ඉතා පහසු ය.
පුංචි විවේකයක් ලද අවස්ථාවක පහසුවෙන් හිඳගෙන ඉබේ වැටෙන හුස්ම රැල්ල දෙස නිහඬ ව බලා
සිටින බිරිඳගේ සිත ඒකාග්ර වී නිවීමකට පටන් ගනී. කලබල අවස්ථාවක කලබල නොවී නිහඬ ව
සතිමත් ව සිටීමේ පුදුමාකාර ශක්තියක් මේ මඟින් ඉපදීමට පටන් ගනී. ඒ සමඟ ම තමන් තුළ
යටපත් වූ සිත මෝරා ඒමට පටන් ගනී. ඔබ කළ යුත්තේ එයට ඉඩ දීම පමණි. එදිනෙදා වැඩ කරන
විට සතිමත් ව එම වැඩ කොටස නිමා කිරීමේ ශක්තියක් ද මින් ජනිත වේ. මෙය ප්‍රායෝගික
වැඩපිළිවෙළක් නිසා න්‍යාය තුළ හිරවී නොසිට ප්‍රායෝගික ව අත්හදා බැලිය යුතු ය. හතර
ඉරියව්වේ සිත පැවැත්වීමට යම් බිරිඳක් පුරුදු පුහුණු වන්නේ නම් වටිනා ආනිශංස රැසක්
තමන්ට හිමි වේ.
වර්තමාන වෛද්‍යවරුන් කරන ලද විවිධ පර්යේෂණ මඟින් ද සක්මන් කරන පුද්ගලයාට ලැබෙන වාසි
5ක් ගැන හෙළිදරව්වක් කර තිබේ. පැයක් සතිමත්ව සක්මන් කරනා පුද්ගලයකුට ලැබෙන වාසි අතර
යහපත් ලේ ගමනය සිදුවීම, ආතතිය අඩුවීම, අහිතකර මේද තැන්පත් වීම අඩුවීම, දියවැඩියාව
අඩුවීම, වැඩි මේදය දහනයවීම ආදිය නිසා කායික හා මානසික සැහැල්ලුවක් ඇතිවීම යනාදිය
ප්‍රධානය. කායික හා මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා වැදගත් වන මෙම ක්‍රමවේදය මුදල්
වැය කිරීමකින් තොරව ගෘහිණියට පමණක් නොව සියලු ම දෙනාට කළ හැකි ය.
යහපත් බිරිඳක් වීමේ රහස් සැඟවී ඇත්තේ ඔබගේ චිත්ත සන්තානය තුළය. බාහිරට නැමුණ සිත
ඔබගේ අභ්‍යන්තරයට නැඹුරු වීමට ආරම්භ වන්නේ ඔබ මොහොතින් මොහොත සතිය පුරුදු පුහුණු
කරන විට ය. එවිට ඔබ අත්දකින බොහෝ දේ කෙරෙහි ගැටීමකින් හා ඇලීමකින් තොරව උපේක්ෂාවෙන්
යුතු ව එදෙස ප්‍රතික්‍රියා නොකර බලා සිටීෙමි අපූරු වූ දියුණු සිතක් දැකිය හැකි ය.
නිවෙසේ මෙතෙක් තිබූ අඩුපාඩු ගැන ඔබ පසුතැවිලි නොවීම සම සිත පැවැත්වීමේ ශක්තියක්
උපදින්නේ ය.
ඉද නන්දති පෙච්ච නන්දති යන බුද්ධ වචනය අනුව ඔබ දෙලොවෙහි ම සතුටු වන පින්වත්
තැනැත්තියක් වනු ඇත. කල්‍යාණ මිත්‍රයකු හරහා සතිය පුරුදු පුහුණු කොට ඉන් ඵල නෙළා
ගත් ඔබට මේ ලොව සිටින වාසනාවන්ත වූ ත්, සතුටින් සිටින එකම බිරිඳ බවට පත්විය හැකි ය.
යම් දිනක ඔබ සියලු දුකින් මිදුණ වාසනාවන්ත බිරිඳක් වීමට සතිමත් වීම උපනිශ්රණය විය
හැක. මේ මොහොතේ සිටම අධිෂ්ඨාන කරගෙන සතිය පුරුදු කරන්න. |