පුහුදුන් සිතක නොනවතින දුක
දෙකටන, රජහේන ගුණසිරි සදහම් සෙනසුනෙහි අධිපති
නෙළුවාකන්දේ
ඤාණානන්ද හිමි
වරක් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය ඩේවිඩ් බෝමි මෙසේ
ප්‍රකාශ කළේ ය.
“අපට සමාජ වෙනස්වීමක් දකින්නට අවශ්‍ය නම්, තනි හෝ මතුපිටින් කෙරෙන යම් වෙනස්කම්
කීපයක් හෝ ආර්ථික ක්‍රමයේ ඇති කරන එවන් වෙනස්කම් හෝ ප්‍රමාණවත් නොවන්නේ ය. ඒ සඳහා
සවිඤ්ඤනිකත්වයේ පරිපූර්ණ පරිවර්තනයක් අත්‍යවශ්‍ය වන්නේ ය. එහෙත් අපි මේ වෙනස ඇති කර
ගත යුත්තේ කෙසේ දැයි නොදනිමු.”
මහාචාර්යවරයාගේ මෙම ප්‍රකාශනයෙන් ගම්‍ය වන තොරතුරු කීපයක් වෙයි. ලෝකයේ වෙනසක්
ඇතිවිය යුතු බව පළමු කාරණය යි.
දැනට මිනිසුන් ලෝකය වෙනස් කිරීම සඳහා අනුගමනය කරන, මාර්ග සංවර්ධනය, ගොඩනැඟිලි
ඉදිකිරීම වැනි භෞතික සම්පත් සංවර්ධනය කිරීම ගැටලුවලට විසඳුම් නොවන බව දෙවැනි කාරණය
යි.
සමාජ පරිවර්තනයක් කළ යුතු ව ඇතත්, එය කළ යුත්තේ, කෙසේදැයි නොදැනීම තෙවැන්නයි.
මේ ලෝකයේ දැවැන්තම සමාජ පරිවර්තනය කළ තැනැත්තා බුදුරජාණන් වහන්සේ යි. මිනිසුන්
ක්‍රියා කරන්නේ තම තමන් හිතන ආකාරයට බවත්, හැම දෙනා ම ලෝකයේ යථාර්ථයෙන් බැහැර ව තම
තමන් විසින් මවාගත් ලෝකවල ජීවත්වන බවත් අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ පුද්ගල හා
සමාජ ගැටලුවලට විසඳුම වන්නේ මිනිසාගේ චින්තනය වෙනස් කිරීම තුළින් බව ලොවට පෙන්වා
දුන්හ.
හැම සත්වයකු ම සැකසී ඇත්තේ ඉන්ද්‍රිය අත්දැකීම් ක්‍රමයක් හැටියට යි. ඉන්ද්‍රියන්
අරමුණුූ සමඟ, ගැටෙන විට සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ වශයෙන් වේදනා හට ගනී. වේදනා විඳින
විට ‘මම’ යන සංකල්පය ඇති වෙයි. සුඛ වේදනාවක් ඇති වූ විට, එහි ඇලීමත්, දුක්ඛ වේදනාවේ
දී ගැටීමත් ඇති වෙයි. හැම කෙනකු ම තම අත්දැකීම් ලෝකය සකසා ගන්නේ මානසික ව ඇතිවන
සංකල්පනා මතයි. ඔහු එසේ ගොඩනඟා ගනු ලබන සංකල්පවලට වාස්තවික වටිනාකම් ද දෙයි. ඒවා
සංකල්ප බව නොදන්නා නිසා ම, ඒවා සත්‍ය වශයෙන් පවතින ඒවා යැයි විශ්වාස කරයි.
පුද්ගලයා සවැදෑරුම් ආයතන තුළින් ගනු ලබන අරමුණු නිසා, ඔහුගේ සිත කැළඹෙයි. මනසට ගලා
එන නිමිති විවිධ ය. විචිත්‍ර ය. යහපත් හා අයහපත් ය. ඒ අනුව මානසිකවත්, සමාජයීය
වශයෙනුත් මවා ගන්නා ගැටලු ද විවිධ ය. විචිත්‍ර ය.
පුහුදුන් තැනැත්තාගේ ‘ස්වභාවය සුබ සහගත අරමුණෙහි ඇලීමයි. ඉන් පසුව එය තමන් සතු කර
ගැනීමට සිතයි. ඊට බාධා සොයයි. ඒවා ඉවත්කරලීම පිණිස දඬුමුගුරු, අවි ආයුධ අතට ගනී.
හැසිරීම ප්‍රචණ්ඩකාරී වෙයි. දුක දනවන අරමුණක දී තරහ ගනී. තරහව නිසා ම ප්‍රචණ්ඩකාරි
වෙයි. ගැටෙන්නා හා පෙරළා ගැටෙන්නේත්, පහර දෙන්නාට පෙරළා පහර දෙන්නේ ද එනිසයි.
සළායතනික අරමුණුූ මත ගොඩනඟා ගත් ලෝකයක ජීවත්වන මිනිසාට, ඒ අරමුණු පිළිබඳ ඇති
නොදැනීම නිසා, ඔහු දුසිරිතෙහි යෙදෙයි.
දහමෙහි අවිද්‍යාව ලෙස දැක්වෙන්නේ මේ සළායතනික අත්දැකීම්වල යථා ස්වභාවය නොදැකීමයි.
පංචස්කන්ධය මද ආස්වාදයක් ඇති කරවන, බොහෝ ආදීනව උපදවන්නකි. පී‍්‍රතියට හා සොම්නසට
හේතු වන ස්වභාවය ආස්වාදය යි. එය ආරක්ෂා කොට පෝෂණය කිරීමට බොහෝ දුක් වින්ද යුතු ය.
කොතෙක් දුක් විඳ රැක ගැනීමට උත්සාහ කළත්, ලෙඩ රෝග වැලඳීමෙන්, දිරා පත්වීමෙන් වලකාගත
නොහැකිවීම ද දුකට හේතු වෙයි. ඒ වගේ ම ජීවිතයේ අනෙක් සෑම දුකකට හේතුවත්, පංචස්කන්ධය
ඇතුව උපත ලැබීම යි. එහෙයින් ඊට බිය විය යුතු ය.
ඇලුම් නොකළ යුතු වුවත් පුද්ගල සිත වසාගෙන සිටින මෝහය නිසා සත්වයාට පංචස්කන්ධය
පංචස්කන්ධය හැටියට නොව, සත්වයකු, පුද්ගලයකු හැටියට පෙනෙයි. ‘මම’ ය. මගේ ය යන හැඟීම
ඇති වෙයි.
ධම්මදින්නා තෙරණිය හා විසාඛ උපාසක තුමා අතර ඇති වූ සාකච්ඡාවක් චුල්ල වේදල්ල
සූත්‍රයේ ඇතුළත් වෙයි. භාග්‍යවතුන් වහන්සේ පංච උපාදානස්කන්ධය සක්කාය වශයෙන්
හැඳින්වූ බවත්, පංච උපාදානස්කන්ධය ම සියලු දුක්වලට හේතුව බවත් දක්වයි. පංච
උපාදානස්කන්ධය හට ගන්නේ කෙසේ දැයි අසන ප්‍රශ්නයට පිළිතුර වශයෙන් දක්වන්නේ, තණ්හාව
පංච උපාදානස්කන්ධය ඇති කර වීමට හේතුව බවයි.
රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පහ පංචස්කන්ධය යි. මේවා ස්කන්ධ නමින් දක්වන්නේ
සමූහ වශයෙන් තිබෙන නිසයි. රූප සමූහය රූපස්කන්ධ, වේදනා සමූහය වේදනාස්කන්ධ ආදි
වශයෙනි. මේවා උපාදානස්කන්ධ බවට පත්වන්නේ කෙසේද? අතීත, වර්තමාන, අනාගත යන
කාලත්‍රයෙන් කවර අවස්ථාවක හෝ ‘ඇස ගැටෙන රූප අතරින් සමහර රූප කෙරෙහි ආසාවක්,
බැඳීමක්, කාමයක් ඇති වෙයි. එය රූප උපාදානස්කන්ධ යැයි හඳුන්වයි. වේදනා, සංඥා, සංඛාර
ආදිය ද උපාදානස්කන්ධ බවට පත්වන්නේ එලෙසිනි. පංච උපාදානස්කන්ධයේ ආස්වාදයක් ඇති බව
බුදුදහම පිළිගනී. අස්සාද සූත්‍රවල දැක්වෙන කරුණුවලින් ඒ බව සනාත වෙයි.
මහාලී සූත්‍රයේ තථාගතයන් වහන්සේ මහාලීට පැහැදිලි කරයි. මහලී රූපය ඒකාන්තයෙන් දුකක්
නම්, සුවයක් එහි ඇතුළත් නැත්නම්, සත්වයා රූපයෙහි නොඇලෙයි. රූපය ම සියලු දුක්වලට
හේතුව බවත් දක්වයි. පංච උපාදානස්කන්ධය හට ගන්නේ කෙසේ දැයි අසන ප්‍රශ්නයට පිළිතුර
වශයෙන් දක්වන්නේ, තණ්හාව පංච උපාදානස්කන්ධය ඇති කරවීමට හේතුව බවයි.
රූපය සුඛයෙහි ඇතුළත් වූවක් නිසා, දුකෙහි ම ඇතුළත් වූවක් නොවන නිසා, සත්වයා රූපයෙහි
ඇලෙයි. ඇලෙන නිසා එහි බැඳෙයි. වේදනා, සංඤා ආදිය කෙරෙහිද එලෙස ම යි.
ධර්මය නොදත් තැනැත්තා මේ ආස්වාදයේ ඇලී ගැලී සිටී. එය ස්ථිර යැයි සිතයි. එහි ආදීනව
ඇති බව නොදනී. රූපයට ඇති කර ගත් බැඳීම තුළින්, උපන් ආස්වාදය රූපයේ වෙනස්වීමත් සමඟ
දුකක් බවට හැරෙයි. රූපයේ වෙනස්වීම එහි ආදිනවය යි. සෙසු ස්කන්ධ සම්බන්ධයෙන් ද එලෙස ම
යි. වේදනා ව ද, සංඤාව ද සංඛාර හා විඤ්ඤාණය ද නිරන්තරයෙන් වෙනස්වීමට භාජනය වෙයි.
තත්පරයක් වැනි සුළු කාලයක් තුළ සිතිවිලි සිය ගණනක්, ඇති ව නැති ව යයි. මේ
ක්‍රියාවලිය වේගයෙන් සිදුවන නිසා, ඇතිවීම පමණක් දිගින් දිගට පවතින්නක් ලෙස දැනෙයි.
ගිනි පෙනෙල්ලක් ගෙන අඳුරු තැනක සිට කරකවන විට, ඒ දෙස බලා සිටින අයකුට පෙනෙන්නේ,
ගිනි වළල්ලකි. එනිසා ගිනි වළල්ලක් යැයි වැරැදි, නිගමනයකට එයි. ඇසිල්ලක් තුළදී,
සිතිවිලි වේගයෙන් ඇති ව නැති ව යන බැවින්, රූපයේ පැවතීම මිසක් නැති වීම නොපෙනෙයි.
වේදනා, සංඤා, සංඛාර හා විඤ්ඤාණ පිළිබඳව ද පැවැත්ම මේ ආකාරයට ම සිදු වෙයි.
ස්කන්ධ ධාතුන්ගේ මේ යථා ස්වභාවය අවබෝධ කර ගත් තැනැත්තා, එහි උපාදානයක් ඇති කර
නොගනී. එනිසා ම එහි විපරිනාමයන් වන විට දුකට ශෝකයට පත් නොවෙයි.
පුහුදුන් තැනැත්තාට මේ අවබෝධය නොමැති බැවින් දුකට, ශෝකයට, කනගාටුවට පත්වෙයි.
සංස්කාර ධර්මයන් නැසෙන සුළු, විනාශ වන සුළු බැවින් ඒ අවබෝධයෙන් යුතු ව ජීවත්
වන්නාට, දුක ශෝකය, කනගාටුවෙන් තොරව ජීවිතය ගත කළ හැකියි. |