සැනසුණ සිතක ලකුණු
ආචාර්ය
බොරලැස්ගමුවේ පේමරතන හිමි
“සන්තුස්සකෝ ච සුභරෝ ච
අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ”
මෙම ගාථාවේ අදහස මෙසේ සලකා ගත යුතු ය. කරණීයමෙත්ත සූත්‍රය කමටහනක් ලෙස ගෙන භාවනා
කරන අයගේ සිත් සැකසෙන විට ඔවුහු ලද දෙයින් සතුටු වන්නෝ වෙති. පහසුවෙන් පෝෂණය කළ
හැක්කෝ වෙති. වැඩි වැඩ නැති, කාර්ය බහුල නොවූ විවේක ඇත්තෝ වෙති. සැහැල්ලුවෙන් දිවි
පවත්වන්නෝ වෙති. ඇස, කන ආදි ඉන්ද්‍රියයන් ශාන්ත වූ දැමුණු අය වෙති. ස්ථානෝචිත
ප්‍රඥාවෙන් යුක්ත වූවෝ වෙති. කුලයන්හි නොඇලුණෝ වෙති. මේ ලක්‍ෂණ සියල්ල මෙලොව යහපත
පිණිස හේතු වෙයි. මෙලොව යහපත් වන්නේ නම් පරලොව යහපත ගැන අමුතුවෙන් කිව යුතු නැත.
බුදුදහම පුද්ගලයාගේ හා සමාජයේ සතුට අගය කළ දහමකි. කොතරම් ධනයක්, වස්තු කන්දරාවක්
තිබුණත් ඔහුට සතුට නැති නම් ඒ ධනයෙන් පලක් නැත. බුදුහිමියන් පරම ධනය ලෙස දක්වා
ඇත්තේ සතුටයි. ධම්මපදයේ සුඛ වර්ගයේ “සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් දැක්වන්නේ එයයි-
ලොව මහා ධන කුවේරයන් ඒ සියල්ල හැර පැවිදි දිවියට එළඹ ප්‍රකාශ කර ඇත්තේ සිය ජීවිතයේ
කිසිදු දුකක් විඳ නැති බවත්, එහෙත් සතුටක් නැති නිසා පැවිදි වූ බවත් ය. මේ සතුට ඉබේ
ලැබෙන්නක් හෝ කිසිවකුට ලබා දිය හැක්කක් හෝ නො වේ. එය තම තම නැණ පමණින් කටයුතු
කිරීමෙන් හා ආකල්පමය පරිවර්තනයකින් ලබා ගත යුත්තකි.
කරණීයමෙත්ත සූත්‍රයේ ‘සන්තුස්සකෝ’ යන්නෙන් ලද දෙයින් සතුටු වීම අගය කර ඇත.
ලෙහෙසියෙන්, පහසුවෙන් අඩු වියදමකින් අඩු වෙහෙසකින් අඩු කැපවීමකින් හා අඩු
කැපකිරීමකින් පෝෂණය කළ හැකි ස්වභාවය ‘සුභරතාව’ යි දෘෂ්ටීන් ප්‍රදර්ශනයට හෝ අමතර
අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට හෝ නොගොස් මූලික අවශ්‍යතා පමණක් ඉටු කර ගැනීමට
ප්‍රත්‍ය පරිභෝජනයට හුරු පුරුදු වන්නෙක් මහා පරිත්‍යාගයක් කළ අයෙක් ද, විශාල දෙයක්
අත්හැරි අයෙක් ද වෙයි. එවිට ඔහු මූලික අත්‍යවශ්‍ය දේ හැර අමතර ඕනෑකම් හා ආශාවන් ඉවත
දමයි.
‘අප්පකිච්චෝ’ යනු අල්ප, ස්වල්ප කෘත්‍ය ඇති බවයි. වැඩි වැඩ නැති අවශ්‍ය ම වැඩ
කරන්නකු බවයි. වැඩි වැඩියෙන් තම ආශා හා වුවමනාකම් ඉටු කර ගැනීමට තණ්හාවෙන් ක්‍රියා
කිරීම පසෙක ලා අවශ්‍ය මූලික දෑ පමණක් ඉටු කර ගැනීමට සීමා වීම අප්පකිච්ච ගුණය යි. ඒ
සඳහා බහුකිච්ච හෙවත් බොහෝ ක්‍රියා කළ යුතු නැත.
තමන්ගේ උගත්කම, උසස්කම, පොහොසත්කම, බලවත්කම, කුලවත්කම, මැරකම ආදී නොයෙක් ලොකුකම්,
මහකම් ප්‍රදර්ශනය කිරීමට නොගොස්, ඒවා ප්‍රදර්ශනයට ඇති ආශාව දුරු කොට ජීවත් වීම
‘සල්ලහුකවුත්ති’ හෙවත් සැහැල්ලු දිවි පැවැත්මයි.
කෙලෙස්වලින් දූෂිත වූ පසිඳුරන් දුෂ්ට ය. අවුල් සහගත ය. සිතෙහි ඇති කෙලෙස් අනුව
ඔවුන්ගේ මුහුණ දෙස බැලිය නොහැකි තරමට කුරිරු ය. දරුණු ය. නපුරු ය. එවන් අයගේ කතා බහ
ද නපුරු ය. හොස්ස ළඟින් මැස්සකුට වත් යා නොහැකි තරම් සැහැසි ය. අසංවර ඇඳුම
පෙන්වන්නේ සිතේ අසංවරකම යි. එසේ හෙයින් සිතින් පාලනය වන පසිඳුරන් හැම තැනක දී ම
සන්සුන් ව ක්‍රියා කරන්නා සන්සුන් ව ක්‍රියා කරන සන්තින්ද්‍රිය හෙවත් ශාන්ත වූ
දැමුණු සන්සුන් ඉන්ද්‍රියය ඇත්තෙකි.
යම් වරදකට හේතු සොයා ගත් විට ඒ වරද වළකා ගැනීමට ගත යුතු ක්‍රියා මාර්ගය තෝරා බේරා
ගන්නේ ‘නේපක්ක ’ප්‍රඥාවෙනි. ජීවිතයේ හැම තැනක දී ම මේ නුවණ මෙහෙයවා ක්‍රියා කළ හැකි
තැනැත්තාට බොහෝ කරදර පීඩා වළකා ගෙන සතුටින්, සැනසිල්ලේ ජීවත් විය හැකි ය.
ශරීරය හා වචනය දමනය වී තිබීම ‘අප්පගබ්භෝ’ නම් වේ. අප කරන කතාවේ හා ක්‍රියාවේ
සංයමයක් නැති නම්, ඒ නිසා සිදු විය හැකි හානි පීඩා කරදර බොහෝ ය. දැඩි ගති ඇති අයගේ
ක්‍රියා හා කතා බහ නිසා බොහෝ දෙනාගේ සිත් කෝපයට, කලකිරීමට පත් වූ බව දැන ගත් පසු
ඒවා කළ අය පසුතැවිලි වීමෙන් පලක් නැත. වරද සිදුවීමට ඉඩ නොතබා අප හැම අප්පගබ්භ
තත්ත්වයට පත් වීමට ක්‍රියා කළ යුතු වෙයි.
කුලයන්හි නො ඇලීම හෙවත් ‘කුලේසු අනනුගිද්ධෝ’ තත්ත්වයට පත් වීමට නම් විවිධාකාරයෙන්
සැකසී ඇති අරමුණු පිළිබඳ හිතේ ඇති වන ශේධය කුලයන්හි ඇලීම ලෙස දැක්විය හැකි ය.
අර්ථවත් කුසල් කිරීමට යොමු වී සිත කෙලෙස්වලින් මුදවා පිනවන ස්වභාවය සාදා ගත් පසු
කිසි දෙයක් ගැන ඇල්මක් ඇති නො වේ. එවිට ඕනෑම කෙනකු යොමු වන්නේ වස්තුවක පවතින
විවිධත්වය හඳුනාගෙන සුදුසු වස්තුව තෝරා ගැනීමට මිස ඇලීමට නො වේ.
මේ අරුත් බර කුසල් සිත සකස් වන්නේ කරණීයමෙත්ත සූත්‍රයේ ඉහත දැක්වූ ගාථාවට අනුව
ක්‍රියා කළහොත් පමණි. |