[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නාපමාව දැනගත යුතු සංසාරයේ ආපදාව

නාපමාව දැනගත යුතු සංසාරයේ ආපදාව

“මහණෙනි, එය යම් සේ ද?. පුරුෂයකුට හුලකින් විදිනවා. ඒ සමීපයට ම දෙවැනි හුලකිනුත් විදිනවා. එසේ වූ කල මහණෙනි, ඒ පුරුෂයා හුල් දෙකකින් ම යි වේදනා විඳීන්නේ.”

ස්වභාවික විපතක් හේතුවෙන් අප රට මහා ව්‍යසනයකට ලක් විය. ගංවතුර, නාය යෑම හේතුවෙන් මිනිසුන්, සතා සිව්පාවුන්, ගෙවල් දොරවල්, යාන වාහන භව භෝග සම්පත් විනාශ විණි. මෙය වැදුන උලකි.

අනෙක් උල වන්නේ ‘අනේ අපොයි මා ජීවිතය පුරාවට රැස් කළ සබ්බ සකල මනාව සියලු දේ විනාශ වුණා නේ ’ද යන පසුතැවිල්ලයි.

බොහෝ ඇසූපිරූ තැන් නැති අශ්‍රැතවත් පෘථග්ජනයෝ දුක් වේදනාවක් ඇති වූ කල හඬති, ක්ලාන්ත වෙති, වැළපෙති, පපුවට අතින් ගසා ගනිති. සිහි කල්පනා නැති කර ගනිති. ඔවුහු කායික වශයෙන් හා මානසික වශයෙන් වේදනා දෙකක් විඳිති. ඔවුහු පසුතැවීම නිසා සිත දූෂ්‍ය කර ගනිති. සිත තුළ වෛරය ඇති කර ගනිති. වෛරය නිසා රාගාදි වූ කෙලෙස් උපදවා විවිධ වැරැදි කරති. ඔවුහු හට ගැනීම නොදකිති. නැතිවීම නොදකිති. ආස්වාදය, ආදීනවය, නිස්සරණය නොදකිති. අවබෝධ කර නොගනිති.

පළමු උලෙහි වේදනාවෙන් වේදනාවට ලක් වූ පුද්ගලයා තවත් උලක් වැදීමෙන් තවත් වේදනාවට ලක් වෙයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති සත්පුරුෂයෝ එසේ නොවෙති.

ආපදාවක දී ඥාති ව්‍යසනය, භෝග ව්‍යසනය,රෝග හට ගැනීම, සීල ව්‍යසනය, දිට්ඨි ව්‍යසනය සිදුවන බව අංගුත්තර නිකායෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කරති. ඤාති ව්‍යසනය, භෝග ව්‍යසනය, රෝග ව්‍යසනය යන මේ විනාශයන්ට වඩා සීල හා දිට්ඨි ව්‍යසනය භයානක විනාශයන් බව දක්වයි. විනාශය හමුවේ සිත සකස් කර ගෙන නැඟී සිටින අයුරු බුදු දහම හොඳින් දක්වයි.

උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ - අප්පමත්තස්ස යසෝභි වඩ්ඪති.

උත්සාහවන්ත වීම, සතිමත් බව, යහපත් කටයුතුවල නිරත වීම, විමසා බලා කටයුතු කිරීම, ඉන්ද්‍රිය සංවරය, ධාර්මික ව ජීවත් වීම, නොපමා බව කෙනකුගේ ජීවිතය තුළ ගොඩනඟා ගැනීම මෙහි දී ඉතා වැදගත් ය.

විනාශ වූ දේ පිළිබඳ සිත සිතා කනගාටුවීම බුදු දහම අනුමත නොකරයි. වණ්ණුපථ ජාතකයෙහි දී පන්සියයක ගැල් කණ්ඩායමක් නිරුදක කාන්තාරයක් මැදින් ගමන් කරයි. ඔවුන් ජලය, දර රැගෙන යයි. කාන්තාර ගමන අවසන් කරන දින ගැල්වල බර අඩු කර ගන්නට ඔවුහු ජලය ඉවත් කරති. එදින රාත්‍රියේ සාත්තු නායකයාට නින්ද ගොස් ගවයන්ට අණ දීමක් නොමැති බැවින් කාන්තාරයේ පෙර දින සිටි තැනට ම පැමිණෙයි. දැන් ජලය නැත. පිරිස අතර හට ගත්තේ මහත් කලබැගෑනියකි. පිරිසත් ගැල් නායකයාට දෝෂාරෝපණය කරයි. එයින් සීල ව්‍යසනයක් සිදු වෙයි. එහෙත් ජලය නොලැබෙයි. තව පිරිසක් දෙවියන්ට කන්නලව් කරයි. එයින් දිට්ඨි ව්‍යසනය සිදු වෙයි. එහෙත් ජලය ලැබීමක් නැත. ගැල් නායකයා නිවැරැදි ව කටයුතු කරයි. ඔහු විමර්ශන ශීලි වෙයි. වට පිට බලද්දී ඔහුට දකින්නට ලැබෙන්නේ තණ පඳුරකි. ඔහු ප්‍රඥාවන්ත වෙයි. මෙතැන තණ පඳුරක් තිබේ නම් මෙහි ජලය තිබිය යුතු යැයි සිතයි. ඔහු උත්සාහවන්ත වෙයි. ඒ තණ පඳුර ඇති ස්ථානය හාරයි. හාරාගෙන යද්දී මතුවන්නේ කලු ගලකි. ඔහු නොපසුබට උත්සාහයෙන් කටයුතු කරයි. කුළු ගෙඩියක් ගෙන්වා ගල කඩයි. එතැනින් මහා ජල කඳක් මතු වෙයි. ජලය නැති කාන්තාරයක වුව ද ජලය මතු කර ගන්නට විමර්ශනශීලිත්වය, ප්‍රඥාව, උත්සාහය, වැනි ක්‍රියාකාරකම් හේතුවන බව මෙයින් ප්‍රකට කරයි.

මේ ව්‍යසනය හමුවේ අප අපගේ කටයුතු ගොනු කර ගත යුත්තේත් මෙලෙසයි. ව්‍යසන අතර භයානක ම විනාශය තමයි, සීල ව්‍යසනය හා දිට්ඨි ව්‍යසනය. ව්‍යසනයක් වූ කල වෛරය, මානය වැනි සිතුවිලි ගොඩ නඟාගෙන එකිනෙකාට චෝදනා කරමින් කටයුතු කිරීම සීල ව්‍යසනය යි. මේ වෛරී සිතුවිලි නිසා රාගාදි කෙලෙස් ඉපදේ, එවිට සතුන් මැරීම, සොරකම්, කිරීම, වැරදි අයුරින් කම් සැප විදීම, බොරු, කේළාම්, පරුෂ වචන, හිස්වචන කීම සිදුවේ, විෂම ලෝභය, අනුන් මැරීමේ පෙළීමේ චේතනා, මිථ්‍යා දෘෂ්ටිය වැනි අපරාධ හට ගනියි. මේ සීල ව්‍යසනය තුළින් මේ භවය පමණක් නොව, භව සංසාරය ම ආපදාවට ලක් කර ගනියි.

අනෙක් ව්‍යසනය දිට්ඨි ව්‍යසනය යි. සම්‍යදෘෂ්ටිය බැහැර වී, මිථ්‍යා දෘෂ්ටිය පැනනැඟීමයි. මිත්‍යා දෘෂ්ටිය මහා ව්‍යසනයකි. ඒ තුළින් සංසාර ගමන ආපදාවට ලක් කර ගැනීමකි.

සතිමතෝ කියන්නේ මනා සිහියෙන් යුක්ත ව සිටීමයි. යහපත් සිහිය කියන්නේ සම්මා සතියයි.

කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයෙන් යුක්ත ව ජීවත්වීමයි. කායානුපස්සනා යනු කය අනුව දැකීමයි. විඳින දේ අනුව දැකීම වේදනානුපස්සනාවයි. සිතේ ස්වභාවය අනුව දැකීම චිත්තානුපස්නාවයි. ධම්මානුපස්සනාව යනු ධර්මය අනුව දැකීමයි. මේ අයුරින් දකින විට මේ සියල්ලෙහි යථා ස්වභාවය හඳුනා ගනියි.

මේ අනිත්‍ය පිළිබඳ අවබෝධය ඇති කර ගැනීම ව්‍යසනයකින් පසුව ගොඩනඟා ගත යුතු වටිනා ධර්මයකි. සියල්ල නැති වෙනවා අපත් නැති වෙයි. අපේ දේපළ ඉඩකඩම්, ඥාතීන් නැති වෙයි. අප ජීවත් වන්නේ අස්ථිර ලෝකයක යි, නැති වීමට අප කැමැති නැත. ඒ නිසා ම අපට දුකක් දැනෙයි . සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සඛාරා දුක්ඛාති මේ අයුරින් දකිනවා නම් එය දියුණුවට මඟයි.

එවිට දැනෙනවා ලොව ඇති කිසිවක් අපට අයත් නැති බව. අනාත්ම තත්ත්වය. මේ අයුරින් ත්‍රිලක්ෂණයට අනුව ලොව දැකීම ව්‍යසනයෙන් පසුව ගොඩනඟා ගත යුතු අපූර්ව චිත්ත ස්වභාවයකි.

පටාචාරා මහා ආපදාවන් රැසකට ගොදුරු වූ තැනැත්තියකි. ඇය අතට පයට දැසිදසුන් තබාගෙන සැප සම්පත් ඇති ව සිටු මැදුරක හැදුන තැනැත්තියකි. සිටු මැදුරෙන් පැල්පතට යයි. දැන් දැසි දසුන් නැත. කටයුතු කර ගන්නට අනේක දුක් විඳියි. කාගේවත් හව්හරණක් නැති ව කැළෑවෙහි දී දරුවන් දෙදෙනකු ප්‍රසූත කරයි. ස්වාමියා නයකු දෂ්ට කර මිය යයි, කුඩා දරුවා උකුස්සෙක් ඩැහැ ගනියි, වැඩිමහල් දරුවා ගංවතුරෙහි සැඟවෙයි. දුකින්, කනගාටුවෙන්, පසුතැවිල්ලෙන් මව්පියන් දකින්නට එන ඇය දකින්නේ කුමක් ද? පෙර දින වැස්සෙන් සිටු මාලිගය කඩා වැටී අම්මා, තාත්තා, සෙහොයුරා ඊට යටවී මැරී ඔවුන් ආදාහනය කරන චිතකය යි. දරාගත නොහැකි ශෝකයෙන් ඇය පළමු ව උමතු වුව ද පසුව බුදු වදනින් ප්‍රකෘති සිහිය ලබා පැවිදි වෙයි. හටගැනීම, පැවතීම, නැතිවීම ප්‍රඥාවෙන් දකින ඇය නිවන් දකියි.

ලොවෙහි තිබෙන යථාර්ථය දන්නවා නම් ඒ තුළින් ව්‍යසන මඟහරවා ලෞකික දියුණුව පමණක් නොව ලොකෝත්තර දියුණුවත් ලද හැකි බව මෙයින් පැහැදිලි ය.

ව්‍යසනයකින් පසුව අපි වැරැදි අයුරින් හැසිරිය යුතු නැත. අනේ සේසතම ඉවරයි. දැන් මොන ක්‍රමයෙන් හෝ දියුණු වෙන්න ඕනෑ කියන අදහසින් වැරැදි දේ තුළින් යමක් සොයන්න සූදානම් වීම සුදුසු නැත. ‘සුචිකම්මස්ස’ යහපත් කටයුතු කළ යුතුයි. කුම්භඝෝෂක කථා වස්තුවෙහි කුම්භඝෝෂක හතළිස් කෝටියක් ධන නිදානය අතහැර අහිවාත රෝගයෙන් මිදී පැන යයි. යළි ඔහු පැමිණ ඒ ධනය එකවිට එළියට ගන්නේ නැත. ඒ කෙනකු සැක කරයි යන ආකල්පයෙනි. ඔහු වැරැදි ආකාරයෙන් ධනය සොයන්නේ නැත. අවි ආයුධ, මස් පිණිස සතුන්, මත්පැන්, මත්ද්‍රව්‍ය වස විස විකුණන්නේ නැත. ඔහුට රැකියාවක් ලැබෙන්නෙත් නැත. ඔහු මානය අතහැර පුංචි රැකියාවක නිරත වෙයි. ඒ උදෑසන වැඩපළවලට යන්න මිනිසුන් අවදි කිරීමයි. එයින් ඔහුට සුළු මුදලක් ලැබෙයි. එයින් ජීවිතය ගෙන යයි.

අවසානයේ ඔහු කුම්භ ඝෝෂක සිටුවරයා නමින් සිටුවරයෙක් වෙයි.

දරුවා මැරුණ කිසාගෝතමිය දරුවාත් රැගෙන බෙහෙත් සොයයි. බුදුරජාණන් වහන්සේ ඊට බෙහෙත් කරන්නට පොරොන්දු වෙති. නොමළ ගේකින් අබ ගෙනෙන්නට ඇයට කියයි . අබ හොයන්නට ගිය විට සෑම ගෙදරක ම කවුරුන් හෝ මැරුණ බව දැන ගනියි. ඇය දරුවා සොහොනට දමා පැමිණ පැවිදි වෙයි. පහන් දැල්ලෙහි හට ගැනීම, නැතිවීම දැක නිවන් දකියි. විමසා බලා කටයුතු කරන විට ආපදාව හැර දමා දියුණුව ලබා ගැනීමට හැකි ය.

අප ඉපදුණේ කාම ලෝකයක යි. කම්සැප පසු පස්සේ දිවීම අප සතු දෙයකි. ව්‍යසනයක දී මේ කම් සැප අප අපේක්ෂා කරන ආකාරයෙන් ම ලැබෙන්නේ නැත. ඒ පසු පස්සේ ලුහු බැන්දොත් තවත් ව්‍යසනයකට පත්වෙයි.

‘සඤ්ඤතස්ස’ ඉන්ද්‍රිය සංවරය මෙහි දී වඩාත් වැදගත් ය, කය, වචනය, සිත සංවර කර ගැනීම, ඇහැ, කන, නාසය, දිව, ශරීරය සංවර කර ගැනීම වඩාත් වැදගත් ය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි ලොල් ව කටයුතු කළොත් ව්‍යසනය තවත් තීව්‍ර වෙයි.

උපයන විට සොයා බලන්න එය තමන්ට සුදුසු ද? ලොවට, සමාජයට හිතකර ද, ධර්මයට හිතකර ද, හිතකර නම් ඒ අයුරින් ධන ධාන්‍ය ඉපයිය යුතුයි, අහිතකර නම් එයින් වැළකිය යුතුයි.

මගේ කර්මය, මගේ අවාසනාව, මා ලබා උපන් හැටි ආදි මිථ්‍යාව සිතෙහි දරා පසුතැවිලි වෙමින් සිටිය යුතු නැත. නොපමාව යළි කටයුතු ආරම්භ කළ යුතුයි, සිටුවරයකුගේ සියලු දෙය ගින්නට හසු වී අඟුරු ගොඩක් විය. ඔහු පසු තැවිල්ලෙන්, දුකින් නිදා සිටිද්දි යහළුවකු ඔහුට කීවේ අඟුරු විකුණන ලෙසයි.

මේ භවය තුළ ලෞකික ව ලබන ව්‍යසනයකි මේ, ආපදාවකි මේ. අප විඳින මහා ව්‍යසනයක් වෙයි. ආපදාවක් වෙයි. සංසාරය තුළ ඇති ආපදාව මහත් භයානකයි. සංසාර දුක අවබෝධ කර ගත යුතුයි. සංසාර දුක නැමති සාගරය තරණය කළ යුතු ය. සංසාර දුක නමැති කාන්තාරයෙන් එතෙර විය යුතු ය. ඒ මහා ව්‍යසනය මඟහරවා, මහා ආපදාවෙන් මිදී, උතුම් වූ නිවනින් සැනසීම සඳහා ද මෙම ධර්මතා පිළිපැදීම වැදගත් වේ.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]