සම්බුදු සිරිපා පහසින් මහියංගණය ඒකාලෝක වූ වගයි
ඌරුගමුවේ අස්සජී හිමි
මේ ආරම්භ වූයේ දුරුතු මාසය යි. හේමන්තයේ දෙවැනි මාසය මෙන්ම හිතකර නො වූ කාලගුණයකින්
යුක්ත වන දුරුතු මහ තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් යුක්ත ය. රාත්‍රිය දැඩි සීතල
ය.
දුරුතු මහේ උදාවන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය හා වැදගත් වන ඓතිහාසික හා පූජනීය
සිදුවීම් රැසක් පවතියි.
බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන් බෑ ජටිල පිරිස දමනය
කරනු ලැබීමෙන් පසුව ප්‍රථම වරට ලක්දිවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයින් දමනය
කිරීම, කේශ ධාතු නිධන් කොට මහියංගන දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ
ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් මහරහතන් වහන්සේ ද සමඟ රජගහ නුවරට වැඩමවීම,
මියගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු
මහියංගණ චෛත්‍යය අසල දී රජබවට පත් කරවීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි
සිදුවීම් අතර ප්‍රමුඛස්ථානයෙහි ලා සැලකිය හැකි ය.
බුද්ධත්වයෙන් නව වැනි මාසයේ දී දුරුතු පුර පසළොස්වක පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ
මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම
කරවීමේ පුවත මහාවංසයෙහි ලියැවෙන්නේ එය ලක්දිව පරම පවිත්‍ර කරනු පිණිස ම හේතු වූ බව
සඳහන් කරමිනි.
බොධිතො නවමෙ මාසෙ -
ඵුස්සපුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං -
ලංකාදීප මුපාගමි
පසුව මහාවංස කතුවරයා අනුක්‍රමයෙන් මෙම පුවත මෙසේ විස්තර කරයි.
සර්වඥයන් වහන්සේ මතු ලක්දිව බුදු සසුන සුරක්ෂිත වන බව දැන යකුන් විසින් පිරුණු
ලක්දිව යකුන් බැහැර කළ යුතු යැයි දැන වදාළහ. ලංකා ද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි
තුන් යොදුන් දිගු එක් යොදුන් පුලුල් වූ රම්‍ය මහානාග වන නම් උයනෙහි යකුන්ගේ යුද බිම
තුළ පැවැත්වෙන ලක්දිව් වැසි යකුන්ගේ මහා සමාගමය (සමුළුව) ප්‍රසිද්ධ විය. එම යක්ෂ
සමාගමයට වැඩම වූ සර්වඥයන් වහන්සේ එම සමාගම මැද ඔවුන් ගේ හිස් මතුයෙහි මහියංගණ ථූපය
පිහිට වූ ස්ථානයෙහි අහස් කුස වැඩසිටි සේක.
බුදුරදුන් ගේ ප්‍රථම ලංකාගමනය පිළිබඳ වූ මහාවංස වාර්තාව මේ ආදී ලෙස ආරම්භ වෙයි. එහි
පසුව විස්තර වන්නේ යක්ෂ දමනය පිළිබඳවයි. ඒ අනුව බුදුරදුන් ගේ ඍද්ධි ප්‍රාතිහාර්ය
හමුවේ දමනය වූ යක් පිරිස ගිරි දිවයිනට නික්ම ගියේ රුදුරු ගති පැවතුම් ඉවත ලූ සමඟි
සම්පන්න පිරිසක් ලෙසයි.
එකල්හි මහියංගණයට රැස් වූ දෙවියන්ට හා මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා
කළහ. ඔවුන් ධර්මය අවබෝධ කළේ සෝවාන් ඵලාදියෙහි පිහිටමිනි. තවත් අප්‍රමාණ පිරිසක්
තිසරණ සහිත පන්සිල් හි පිහිටියහ. මෙහිදී සමන්තකූට පර්වතවාසී වූ මහා සුමන නම් දෙව්රජ
තෙම සෝවාන් ඵලයට පැමිණ පූජාර්භ වූ බුදුරජාණන් වහන්සේගෙන් පුද පූජා පැවැත්වීම සඳහා
පූජනීය වස්තුවක් ඉල්ලීය. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ
ප්‍රමාදනය කළහ. ඉක්බිති මහාසුමන දිව්‍යරාජයා එය ස්වර්ණමය වූ උතුම් කරඬුවකින්
පිළිගෙන බුදුරදුන් වැඩසිටි තැන්හි සත් රියන් උස වූ හාත්පසින් විසි එක්රියන් වූ
ඉන්ද්‍රනීලමය වූ ස්තූපයක් තනවා එය නිධන් කළේ ය.
මෙසේ ලෝකයේ ප්‍රථම දාගැබ වූ මහියංගණ දාගැබ බුදුරදුන් ජීවමාන ව සිටිය දී ම නිර්මාණය
කොට පූජෝපහාර දැක්වීමේ ගෞරවය සුමන සමන් දිව්‍ය රාජයාට හිමි වෙයි. මෙකී මහියංගණ සෑය
ලොව ප්‍රථම බෞද්ධ සංකේතය ද වෙයි. සමනොළ අඩවියත්, උඩරට ප්‍රදේශයන් ඇතුළුව මහවැලි ගං
තීරයේ මහියංගණය දක්වා ම අණසකට පැතිර වූ සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනකු ලෙස ලංකාවාසීන්
අතර සම්භාවනාවට පත් සුමන සමන් දිව්‍ය රාජයා ලක්දිව ප්‍රථම ආර්ය උතුමාණන් ය. එදා
මෙදා තුර සුමන සමන් දිව්‍යරාජයා කෙරෙහි ලක්වැසියන්ගේ අපමණ චිත්ත ප්‍රසාදයක් පවතියි.
පුරාණ හිමගත වර්ණනාව තුළ සුමන සමන් දෙවිඳුන් පිළිබඳ ප්‍රසාදය දක්වා ඇත්තේ මෙලෙසිනි.
සුද්ද ලෙසින් නිති ගත බබළන්නේ
සුද්ද ඇතා පිට වද වැඩ ඉන්නේ
බුද්ධ මේ සාසනෙ දියුණු කරන්නේ
බුද්ධ සමන් දෙවියෝ ය වඩින්නේ
බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා පහසින් පළමුවරට ලක්දිව පින්බිමක් බවට පත් වූ
මහියංගන පුදබිම හා සමඟ සිරි සුමන සමන් දෙවිඳුන්ගේ නාමය තදින් ම බැඳී පවතියි. |