[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කුලියාපිටිය ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර ජනවාරි 30 දා:

කුලියාපිටිය ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර ජනවාරි 30 දා:

ලෝ සතට සෙත සදන දුරුතු පෙරහර අසිරි

 

සංස්කෘතික උරුමයට ජීවය දෙන බෞද්ධ කලා මංගල්‍යයකි

 

බෞද්ධ පෙරහරක් පැවැත්වීමේ මූලික අරමුණ ත්‍රිවිධ රත්නය කෙරෙහි ආමිස පූජාමය පින්කමක් පැවැත්වීමත්, සධාතුක කරඬුව වැඩමවීම තුළින් රටටත්, රජයටත්, ප්‍රදේශයටත්, ජනතාවටත් සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරන අතර භව බෝග සම්පත්තියේ වැඩිදියුණුව ආරක්ෂාව ප්‍ර‍්‍රාර්ථනා කිරීමත් ය. මෙවර පෙරහර පැවැත්වීමේ තවත් අරමුණක් වන්නේ මේ වනවිට අප රට මුහුණ පා ඇති හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සෙත් පැතීමත්, ඔවුන්ගේ ජීවිත ලෙඩ දුක් උවදුරුවලින් වළක්වා ජීවන තත්ත්වය යහපත් කර ගැනීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කිරීමත් ය.

සිය පනස් හයවැනි ජන්ම දිනය ද සමරමින් 31 වැනි වරටත් කුලියාපිටිය දුරුතු මහා පෙරහර පවත්වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති පූජ්‍යතර පල්ලේකාගම රතනභාරති ස්ථවිරපාදයන් වහන්සේ පුරාතන සිංහල පෙරහර සංස්කෘතික උරුමයට ජීවය ලබා දෙන වයඹ සත්කෝරළයේ බෞද්ධ කලා මහා මංගල්‍යය වූ කුලියාපිටිය දුරුතු මහා පෙරහරේ පුරෝගාමියාණෝ වෙති.

මෙම දුරුතු පෙරහර තවත් චිරාත් කාලයක් අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා පල්ලේකාගම රතන භාරතී ස්ථවිරපාදයන් වහන්සේට හා පෙරහර සංවිධාන කමිටුවේ සියලු සාමාජිකයන් වෙත ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා’යි ප්‍රාර්ථනා කරම්හ.


ජාතියේ අනන්‍යතාව විදහා දැක්වෙන කුලියාපිටිය දුරුතු මහා පෙරහර

‘පෙරහර‘ යනුවෙන් පවත්වනු ලබන්නේ විවිධ සංස්කෘතිකාංගවලින් යුක්ත වූ ජාතික ආගමික, සාමාජික, වටිනාකමක් ඇති සංස්කෘතික සංදර්ශනයක් වන අතර, එය යම් රටක, ජාතියක, ජන කොට්ඨාශයක අනන්‍යතාව විදහා දැක්විය හැකි වඩාත් සුදුසු මාධ්‍යය ද වේ.

වර්තමානය වනවිට මහනුවර ශ්‍රී දළදා පෙරහර ලෝක උරුමයක් ලෙසින් ප්‍රකට ව ඇති අතර, ලෝකවාසී බෞද්ධ අබෞද්ධ ජනයාගේ ගෞරව බහුමානයට පාත්‍රවී තිබීම ලාංකේය බෞද්ධයින් වශයෙන් අපට මහත් අභිමානයකි.

අපවත් වී වදාළ අපගේ ගුරුදේවෝත්තම, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක ධුරන්ධර අතිපූජ්‍ය කබලෑවේ පියභාරති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් යුතු ව, ශ්‍රී බුද්ධ වර්ෂ 2538ක් වූ උඳුවප් මස පුර පසළොස්වක පෝය දින ආරම්භ කෙරුණු සංඝමිත්තා පෙරහර මේ වනවිට කුලියාපිටිය දුරුතු මහා පෙරහර නමින් තිස් වාරයක් පුරා කුලියාපිටිය නගරයේ වීථි සංචාරය කරමින්, කුලියාපිටිය පුරවරයට පමණක් නොව සත්කෝරළ දිසාවට ම සංස්කෘතික වටිනාකමක් ගෙන දී ඇත. කුලියාපිටිය දුරුතු මහා පෙරහර මේ වනවිට ජාතික මට්ටමේ පෙරහර හා සමාන මට්ටමට ගෙන ඒම සඳහා අපගේ අනුශාසකත්වය යටතේ ඇප කැප වූ විශාල පිරිසක් සිටිති. විහාරස්ථ දුරුතු පෙරහර කමිටුව, මෙම පෙරහර සංවිධානයේ මූලිකත්වය ගෙන කටයුතු කරන අතර, පෙරහර පැවැත් වූ තිස් වාරයේ දී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ සිටියා වූ ද, වර්තමානයේ වැඩ සිටින්නා වූ ද මහානායක නාහිමිපාණන් වහන්සේගේ සහ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබුණි.

විවිධ රාජ්‍ය පාලන සමයන්හි දී ඒ ඒ නායකකාරකාදීන්ගේ සිට අමාත්‍ය මණ්ඩල, පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා, පළාත් පාලන ආදී වශයෙන් වූ දේශපාලන අධිකාරියේ ද, ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, වයඹ පළාත් සභාව, කුලියාපිටිය නගර සභාව, කුලියාපිටිය ප්‍රාදේශීය සභාව, ඇතුළු රාජ්‍ය පරිපාලන ආයතනවලින් ද, ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය, කලාපයේ සියලු ම පාසල්, කුලියාපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය, සමුපකාර උප කොමසාරිස් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, කුලියාපිටිය ශික්ෂණ රෝහල, රාජ්‍ය බැංකු ඇතුලු රාජ්‍ය ආයතන ආදී සියලු ම දෙනාගෙන් ලැබුණු විවිධ අනුග්‍රහයන් ඉතා අගය කොට සලකන අතර, කුලියාපිටිය පුරවරයේ පෞද්ගලික බැංකු, පෞද්ගලික ආයතන, ප්‍රදේශවාසී සහ රට පුරා විසිරී සිටින පරිත්‍යාගශිලීන් කුලියාපිටිය දුරුතු පෙරහරට දක්වන අනුග්‍රහය සිහිපත් කරනුයේ හද පිරි සතුටෙනි.

සම්ප්‍රදායයක් ලෙස කුලියාපිටිය දුරුතු මහා පෙරහර පවත්වනු ලබන්නේ සෑම වර්ෂයක ම ජනවාරි මාසයේ අවසාන සිකුරාදා දිනයේ ය. 2025 ජනවාරි මස අවසාන සිකුරාදා යෙදී තිබුණු 31 වැනි දා මාගේ ජන්ම දිනය ද විය. එය නිමිති කරගෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක පාලක සංඝ සභාව මඟින් මා වෙත ගෞරව සම්මාන උපාධියක් ප්‍රදානය කිරීම වෙනුවෙන් මාගේ ගෞරව නමස්කාර පූර්ව ස්තුතිය පුදකරන අතර, මාගේ ජීවන තොරතුරු අළලා විහාරස්ථ දායක සභාව විසින් ‘යතිවර සිතක නොමැකෙන මතක‘ නමින් කෘතියක් සම්පාදනය කිරිම පිළිබඳ ව ද ස්තුති වන්ත වෙමි.

2026 ක් වූ ජනවාරි මස 30 වැනි දා සිකුරාදා දින රාත්‍රියේ දී 31 වැනි වරටත් කුලියාපිටිය දුරුතු මහා පෙරහර වීථි සංචාරය කර විහාරස්ථානයට ගෙවදීමෙන් අනතුරුව පසුදා, පෙරහර සාර්ථක ව අවසන් කළ බව වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමා වෙත සංදේශය බාර දීමෙන් පසුව පෙරහර නිම කිරීමට නියමිතය.


සාමයේ පණිවුඩය ප්‍රශංසනීය යි

කුලියාපිටිය දුරුතු මහා පෙරහර මංගල්‍යය, 2026 සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් ශුභාශිංසන පිරිනමනු කැමැත්තෙමි.

සෑම පෙරහරක් ම අප රට තුළ ප්‍රවර්ධනය කරනු ලබන සංස්කෘතික වටපිටාව, සාමයේත් සංහිඳියාවේත් පණිවුඩය, සෞන්දර්යාත්මක චින්තනය රටක දියුණුව සඳහා අතිශය වැදගත් ය. “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” සඳහා පා නැඟීම ම වනාහි සංස්කෘතික වශයෙන් පොහොසත් මිනිසෙක් තැනීමට පර්යාය පදයකි. ඒ සඳහා මෙකී පෙරහර මංගල්‍යය ද අතිශය තීරණාත්මක සාධකයක් බව විශ්වාස කරමු.

පෙරහරක් සාර්ථකව සංවිධානය කිරීම යනු භාරධූර කටයුත්තකි. ඒ සඳහා ඇප කැප වූ සහ ඇප කැප වන විහාරාධිපති ස්වාමීන් වහන්සේ

ඇතුළු මහා සංඝරත්නය, විහාරස්ථ දායක සභාව, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, ප්‍රදේශවාසීන් ආදී සියලු දෙනා වෙත ගෞරවනීය කෘතවේදීභාවය පිරිනමමි.

 


රටට ආශිර්වාදයකි

ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේකාගම රතනභාරතී නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා මඟ පෙන්වීමෙන් නගරයේ වෙළෙඳ ප්‍රජාව හා අන්‍ය සැදැහැවතුන් සියලු දෙනා හා එක්ව පෙරහර මංගල්‍යය අඛණ්ඩ ව පවත්වාගෙන යෑම සියලු බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්භන පී‍්‍රතිය වඩා වර්ධනය වීමට හේතුවක් වනු නිසැක ය.

මෙම දර්ශනීය පෙරහර මංගල්‍යය, වයඹ සත්කෝරළයෙහි කුලියාපිටිය ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධය හා ශාසනාභිවර්ධනය පිණිසත් නර්තන, වාදන ආදී කලාවන්ගේ අභිවර්ධනය පිණිසත් හේතු වන අතර, සිංහල ජාතියේ ප්‍රෞඪත්වය හා බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව විදහා දක්වමින්, සිත් සතන් සැදැහැයෙන් පුරවමින්, චිරාගත සම්ප්‍රදායික පුද සිරිත්වලට අනුගත ව පැවැත්වීමට හැකි වීම රටට, ජනතාවට ආශීර්වාදය ගෙන දෙන්නක් බව මාගේ විශ්වාසයයි.

 


උතුම් උරුමයක් දායාද කරයි

බෞද්ධ පෙරහර අතීත රජ දරුවන් පවා ඉහළින් අගය කරමින් සමාජමය වටිනාකමක් ලබා දෙමින් තිබූ සංස්කෘතික, ආගමික කලා සන්දර්ශනයක් ලෙස සැලකිය හැකි ය. වයඹ පළාත තුළ පැවැත්වෙන වැදගත්ම අංග සහිත පෙරහර ලෙස කුලියාපිටිය දුරුතු මහා පෙරහර සැබැවින් ම පරපුරට උතුම් උරුමයක් දායාද කරයි.

උත්සවය සංවිධානය කිරීම සඳහා පුරෝගාමී කර්තව්‍යයක් සද්භාවයෙන් ඉටු කරමින් ඒ සඳහා කැපවී ක්‍රියා කරන විහාරාධිපති, ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ඒ සඳහා වෙහෙස මහන්සි වී දායකත්වය ලබාදී කටයුතු කරන සැමට ද, පෙරහර සංවිධාන කමිටුවට ද මාගේ හෘදයාංගම ශුභාශිංසනය පිරිනමමි.

 


සත්කෝරළයේ කලා මංගල්‍යය චිරාත් කාලයක් පවතීවා

එච්. පියතිස්ස
ලේකම්,
විහාරස්ථ කාර්ය සාධක සමිතිය

සියවසකට එහා ගිය ඉතිහාසයක් ඇති කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මූල මහා විහාරය, අතීතයේ සිට ම කුලියාපිටිය පුරවරයේ බෞද්ධ ජන සමාජයේ, ආගමික, සංස්කෘතික, සමාජයීය අවශ්‍යතා ඉටු කර දීමට ඉමහත් කැපවීමෙන් කටයුතු කරන ආගමික මධ්‍යස්ථානයක් වීම ප්‍රදේශවාසී ජනතාවගේ ඉමහත් භාග්‍යයකි.

ඇස්සැද්දුමේ පන්සල සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ වැඩ සිටින පන්සලක් ය යන උදාර සංකල්පය බෞද්ධ අබෞද්ධ සියලු සමාජයන් තුළ ස්ථාපිත කිරීමට මෙහි වැඩ සිටි විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ සමත් වූ සේක. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු ව විහාරාධිපති ධුරයට පත් වත්මන් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති නාහිමියෝ ද තම ගුරු දේවෝත්තමයාණන් වහන්සේ මෙම පන්සල වෙනුවෙන් ගොඩනඟා තිබූ කීර්ති නාමය තව තවත් බබුළුවමින් ද නෙත් සිත් පැහැදෙන අයුරින් නව විහාරාරාංග ගොඩනැඟිලි එක් කරමින් ද කුලියාපිටිය, දේශාන්තරවල පවා ප්‍රචලිත කිරීමට සමත්ව සිටින සේක. ඇස්සැද්දුමේ පන්සල ඕනෑම අයකුගේ නෙත් සිත් පහදවාලන අයුරින් අලංකාරවත්, පිරිසිදුවත් පන්සල් භූමියත්, ගොඩනැඟිලිත් පවත්වාගෙන යමින්, සුපේශල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේ සම්බුද්ධ ශාසනයට දායාද කරමින්, දායකකාරකාදීන්ගේ පමණක් නොව ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්භන පී‍්‍රතිය වැඩි කරවමින්, ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරමින් කරනු ලබන මෙහෙවර අති ප්‍රශංසනීය ය.

‘සත්කෝරළ මහා කලා මංගල්‍යය’ නමින් විරුදාවලිය ලත් කුලියාපිටිය දුරුතු මහා පෙරහර විහාරස්ථ දුරුතු පෙරහර කමිටුව මඟින් සංවිධානය කරනු ලබන අති උත්කර්ෂවත් මංගල්ලයකි.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]