[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අතීතයේ උරුමය මතුපරපුරට දායාද කරන පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය

අතීතයේ උරුමය මතුපරපුරට දායාද කරන පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය

ලේඛන කලා ඉතිහාසයේ පුස්කොළ ලේඛන සම්ප්‍රදායට හිමි වන්නේ අභිමානවත් බවකි.

පුස්කොළ පොත් එකතුවක හිමිකාරීත්වය මහත් ආඩම්බරයක් ව සලකන්නේ ඈත අතීතයේ බහුශ්‍රැත, විදග්ධ පඬිවරුන් විසින් තබන ලද මහාර්ඝ දැනුම් සම්භාරයකින් යුත් සටහන්වලින් එම ලේඛන සුපෝෂිත වීම නිසා ය. විද්වතුන් පවසන්නේ පුස්කොළ පොත් දේශීය දැනුම් කෝෂ්ඨාගාරයක් බඳු වන බව ය.

සම්බුද්ධ දේශිතය, සිංහල, පාලි ආදි භාෂා, සාහිත්‍ය, සිංහල වෙදකම, ජ්‍යෝතිෂ්‍යය, කාලීන ආර්ථික සාමාජයීය හා දේශපාලනික තොරතුරු සේ ම විද්‍යාව තාක්ෂණය ආදි තොරතුරුවලින් සමන්විත මහාර්ඝ දැනුම් සම්භාරයක් පුස්කොළ ලේඛන සම්ප්‍රදාය ඔස්සේ අපේ මුතුන්මිත්තන් අපට දායාද කර දී ඇත.

එහෙත් විවිධ පාරිසරික තත්ත්ව හමුවේ මේවා ඉතා දීර්ඝ කාලයක්, එනම් සියවස් ගණනාවක් අනාගතයට සුරැකීම අසීරු ය. විවිධ කෘමි උවදුරුවලට බඳුන් වීම ද සිදුවේ. මේ වටිනාකම් අනාගතයට රැක ගන්නට නම් නිසි ක්‍රමවේදයක අවශ්‍යතා දැඩි ය. නැතහොත් සිදුවන්නේ කාලයාගේ ඇවෑමෙන් මිල කළ නොහැකි දැනුම් සම්භාරයක් රටට, ජාතියට අහිමි වී යෑම ය. අපගේ මුතුන් මිත්තන්ගෙන් උරුම වූ මේ අසහාය දායාදය රැක ගැනීම, අනාගත පරපුරට දායාද කරදීම වත්මනෙහි වගකීමක් සේ ම මාහැඟි යුතුකමක් ද වන්නේ එහෙයිනි.

මේ මහාර්ඝ කර්තව්‍යයට දායක වනු පිණිස ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි විහාරස්ථාන ආශි‍්‍රත ව ඇති පැරැණි පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධීක්ෂණයෙන් හා බෞද්ධාලෝක පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන බව බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා බුදුසරණට පැවසීය.

පාණදුරාවාදයේ 150 වැනි සැමරුම් වර්ෂයට සමගාමී ව ඇරඹුණූ මෙම පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතියේ දී මේ වන විට පුස්කොළ පොත් 1392ක් පමණ සංරක්ෂණය කර අදාළ විහාරස්ථාන වෙත භාර දී අවසන් අතර තවත් පුස්කොළ පොත් 500කට වඩා වැඩි ප්‍රමාණයක් සංරක්ෂණය කර දීමට නියමිත ය.

දොඩන්දූව කුමාරකන්ද කුමාර මහා විහාරය, ගාල්ල, ශ්‍රී පරමානන්ද රජමහා විහාරය, ගාල්ල පරම විචිත්‍රානන්ද මහා විහාරය, දොඩන්දූව, ශෛලබිම්බාරාම මූලමහා විහාරය, දළදාවත්ත පුරාණ මහා විහාරය එම විහාරස්ථානයන් ය.

බෞද්ධාලෝක පදනම මඟින් ප්‍රකාශිත දොඩන්දුව ශෛලබිම්බාරාම මූල මහා විහාරය ග්‍රන්ථයට එම විහාරස්ථ පුස්කොළ පොත් සංරක්ෂණය මැයෙන් ආචාර්ය උදය කබ්රාල් මහතා විසින් ලියන ලද ලිපියේ සඳහන් කරන ආකාරයට පුස්කොළ පොත් ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියේ දී පුස්කොළ පොත් 286ක් හඳුනා ගන්නා ලදී. ඉන් 80%ක් පමණ පුස්කොළ පොත්, ත්‍රිපිටක ධර්මය හා බෞද්ධ සාහිත්‍යයට අයත් අතර 10%ක් පමණ ප්‍රමාණයක් පාලි, සිංහල හා සංස්කෘත භාෂා සාහිත්‍යයට අයත් පුස්කොළ පොත් විය. ඉතිරි 10% ජ්‍යෝතිෂ්‍යය, ඉතිහාසය, සිංහල, වෛද්‍ය ශාස්ත්‍රය හා බුරුම භාෂා පුස්කොළ පොත් ය”

මෙම පුස්කොළ පොත් අතර ධාතුවාංසය, ශී‍්‍ර වික්‍රම රාජසිංහ කතිකාවත, කල්‍යාණවංස සාසන සංඝ පරම්පරාව අමරපුර දේශයෙන් එවන ලද උපසම්පදා සංදේශය, ශාසන ඉතිහාසය ආදී පුස්කොළ පොත් රැසක් ඓතිහාසිකත්වය හා දුර්ලබතාව මත සුවිශේෂී වටිනාකමක් හිමිකර ගනී.

මෙම විහාරයේ සුරක්ෂිත පුස්කොළ පොත් නාමාවලියේ ජාතක පාලිය, අභිධම්මත්ථ සංගහටීකාව, පාලි මුත්තක විනය විනිශ්චය, පට්ඨානප්පකරණය, අත්ථසංවණ්ණනා ඇතුළු සුවිශේෂී පුස්තක රැසකි.

දොඩන්දූව කුමාරකන්ද කුමාර මහා විහාරස්ථානයේ සංරක්ෂණය කළ පුස්කොළ පොත් අතර මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් විසින් සාමණේර අවධියේ රචිත කච්චායන - මොග්ගල්ලාන වියරණ කෘතිය සුවිශේෂී ය.

මීට අමතරව වසර 600ක් පැරැණි ග්‍රන්ථ පිළිබඳ පැදියෙන් ලියවූ නිඝණ්ටුවක්, ගොගර්ලි නම් ක්‍රිස්තියානි පූජකයාගේ ‘ක්‍රිස්තියානි ප්‍රඥප්තියට’ එරෙහි ව ලියවුණූ ලිපි කිහිපයක් ඇතුළු වැදගත් පුස්කොළ පුස්ථක රැසක් සංරක්ෂණය වී තිබීම විශේෂයෙන් බෞද්ධයන් ලෙස අප ලද මහත් භාග්‍යයකි.

ඒ උරුමය අපේ අනාගත පරපුරේ දැනුම බුද්ධිය පෘථුල කරනු පිණිස ය.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]