[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සියවස සපුරන ජාතික ගුවන්විදුලියේ සදහම් මෙහෙවර

සියවස සපුරන ජාතික ගුවන්විදුලියේ සදහම් මෙහෙවර

යම් ව්‍යාපාරයක් හෝ වැඩසටහනක් ආරම්භ කරන විට කරුණු 04 ක් එමඟින් අරමුණු කරගත යුතු ය යන්න පැරැණි සම්ප්‍රදායික පඬිවර නියමයකි. එනම් අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ, යනු යි.

එහි අර්ථ යනු මනුෂ්‍යයාගේ ආර්ථික දියුණුව යි. ධර්ම යනු සදාචාර සංවර්ධනය යි. කාම යනු නිවැරදි ඉන්ද්‍රිය සන්තර්පනය යි. මෝක්ෂ යනු පරලොව සුගති ගාමිත්වය යි.

මේ කරුණු හතර ම අවධාරණය කරමින් ශ්‍රී ලාංකික ජන සමාජයට මහඟු මෙහෙවරක් සලසන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මේ වසර වන විට ශතවර්ෂයක් ආයු සපිරී ඇත.

“කලම්බු රේඩියෝ” යන නමින් මේ සේවය ආරම්භ කරන්නේ 1925 දෙසැම්බර් 16 වැනි දා ය. ගුවන් විදුලි සේවාවක් ආරම්භ කළ ප්‍රථම දකුණු ආසියාතික රට වීමේ ගෞරවය ද ලබමිණි.

ආරම්භක ප්‍රධානියා හාර්පර් නමැති සුදු ජාතික ඉංජිනේරු මහතා ය.

ඩී. ඇම්. කොළඹගේ මහතාගේ කැපවීමත් සමඟ ම ගුවන් විදුලියේ ධර්ම දේශනා පැවැත්වීම ආරම්භ විය. ඒ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නේ බම්බලපිටියේ වජිරාරාමධිපති පැලෑනේ වජිරඤාණ නාහිමියන් වහන්සේ විසින් 1928 අප්‍රේල් 21 දින ය. ඒ සමඟ ම ධර්ම දේශනා ඉතා ජනප්‍රිය අංගයක් බවට පත්විය. ඒ අනුව වජිරාරාමවාසී නාරද, කළුකොඳයාවේ පඤ්ඤා සේකර, පිටකෝට්ටේ සෝමානන්ද, මඩිහේ පඤ්ඤාසීහ, හේන්පිටගෙදර ඤාණසීහ යන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පෙළේ දේශකයන් වහන්සේ වශයෙන් ජානතා ප්‍රසාදයට පත් වූහ. ධර්මදේශනා අංශය බෙහෙවින් ජනප්‍රියතාවට පත්වීම නිසා ම සතර පෝය දිනවල ද, ඉරිදා ධර්ම දේශනා ද ආරම්භ කෙරිණ.

ආගමික අංශයේ ප්‍රධානී තනතුරට විජිත නන්ද මැණික්දිවෙල මහතා පත්වීම සමඟ ඒ අංශයේ සීඝ්‍ර දියුණුවක් ඇති විය.

ඒ මහතාගේ අනභිබවනීය වාග් ශක්තිය හා ධර්මඥානය ඒ සාර්ථකත්වයට හේතු වූ බව කෘතගුණවේදීව සඳහන් කළ යුතු ය.

දවසේ ආරම්භයට සුභාශීර්වාදය ගෙන දුන් පන්සිල් හා සෙත් පිරිත් මෙන් ම ධර්මචින්තාව ද ධර්මසාකච්ඡා වැඩසටහනට ද සුවිශේෂී ගුවන් කාලය වෙන් කෙරිණු ආගමික අංශයේ ප්‍රධානියකු ලෙස මහඟු මෙහෙවරක් කළ කුමාර රත්නායක මහතා ද මෙහිදි සිහිපත් කළ යුතු චරිතයකි.

1979 වසරේ සිට ප්‍රාදේශිය සේවාවක් වශයෙන් ගුවන් විදුලි සේවාව විමධ්‍යගත වීමත් සමඟ ම බෞද්ධාගමික කටයුතු ද වඩාත් පුළුල් විය. එමඟින් දිවයිනේ සෑම ප්‍රදේශයකම ධර්මධර ගිහි පැවිදි බොහෝ පිරිසකට ගුවන් විදුලි මාධ්‍යයට සහභාගී වීමේ අවස්ථාව උදා විය.

ශ්‍රී ලාංකේය ජාතික සංස්කෘතික ප්‍රවාහය සංරක්ෂණය කරමින් ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා

ගු.වි.ස. වෙතින් ඉටු වූ සේවය අතිශයින් ම ප්‍රශංසනීය ය. බෞද්ධ ගීත, බෞද්ධ ජන ගායනා, බෞද්ධ නාට්‍ය, ජාතක කථා සංදර්‍ශන, ආදී කලාත්මක අංශයන් එමඟින් ආරම්භ කෙරුණ අතර, ඒවා සංවර්ධනය කරමින් ඉදිරියට පවත්වා ගෙන යාමේ භාරදූර වගකීම ද ගු.වි.ස. වෙතින් ඉටු වූ බව කෘතගුණ පූර්වක ව සඳහන් කළ යුතු යි. ඒ අතර ම “දහම් පාසල” වැඩසටහන හා දැනුම මිනුම තරග ද කැපී පෙනුණි. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා මඟින් මුළු රටට ම සෙත් පැතීමේ වැඩසටහන් කිහිපයක් ම වාර්ෂික ව සිදු කිරීම ද ප්‍රශංසා පූර්වක ව ඇගයිය යුතු ය.

සිංහල භාෂාව නිවැරදි ලෙස උච්ඡාරණය කරමින් සදාචාරාත්මක භාෂා ව්‍යවාහරය ද රටට ප්‍රබල ලෙස හඳුන්වා දුන්නේ ගු.වි.ස. දක්ෂ ශිල්පීන් විසින් ය. එසේම විනෝද සමය ඇතුළු සෑම රසවින්දන වැඩ සටහනකදීමත් නාට්‍ය ඇතුළු සාමාන්‍ය ලෞකික නිර්මාණාත්මක වැඩ සටහනකදීමත් අසභ්‍ය ව්‍යවහාරයෙන් බැහැර ව සභ්‍යශීලි හැසිරීම ආරක්ෂා කළ ගු.වි.ස. හැම විටක ම අසන්නාගේ සිත් සතන් කාමෝන්මාදයෙන් හා බොළඳ වින්දනයෙන් මං මුළා නො කළේ ය. ගු.වි.ස. මඟින් අනුගත මේ වැදගත් ආදර්ශය වත්මන්හි ක්‍රියාත්මක කෙරෙන අනකුත් සියලුම විද්‍යුත් මාධ්‍යයන්ට අත්‍යවශ්‍ය ම පාඩමක් වන බව ද මෙහි ලා සඳහන් කළ යුතු වෙයි.

මේ කාලයේ ක්‍රියාත්මක වුණු ඉතා වැදගත් ප්‍රතිපත්තියක් නම් ධර්මචින්තා ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා පූර්ව විමර්‍ශනයකට යොමු කිරීම යි. ඒ සඳහා ධර්මධර භික්ෂූන් වහන්සේගේ මණ්ඩලයක් ක්‍රියාත්මක විය. ඒ පරීක්ෂණ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව කිසිදු අංගයක් ප්‍රචාරය නො කෙරිණ. අදටත් මෙවන් අධීක්ෂණ මණ්ඩලයක් අත්‍යවශ්‍ය ව පවත්නා බව කරුණු විමසන විට පෙනීයන සත්‍යයකි.

වසර සියයක් සපුරන අපේ ජාතික ගුවන් විදුලි සේවාව මඟින් ඉටු කෙරුණු හා ඉටු කරන මෙවන් වැඩසටහන් මඟින් සිදුවන්නේ උතුම් වූ ධර්මදානය ම යි. මිනිස් සමාජයට දිය යුතු උතුම් ම දානය වන ධර්මදානය වෙනුවෙන් තම ගුවන් කාලය එසේ කැප කරමින් කරන ලද උදාරතර සේවාව

කෘතගුණවේදී ව ඇගයීම සාධුජන සම්භාවිත ගුණයකි.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]