|
 ඒ පස්විසි වසරකට පෙර ය. සිදුහත් සිවු හැවිරිදි දරුවෙකි.
එදා සුදොවුන් රජ, ප්‍රජාපතී සහ සිද්ධාර්ථ සමඟ දෙව්දහ නුවරට පැමිණියහ. යශෝධරාගේ පියා
වූ සුප්‍රබුද්ධ රජු ඔවුන් පිළිගනී. ඒ රජුගේ බිසව වූ අමිතා දේවි සුදොවුන් රජුගේ
නැඟණිය යි.
ප්‍රජාපතීගේ අතේ එල්ලී සිටි සිද්ධාර්ථ අමිතාගේ අතේ එල්ලී සිටි යශෝධරා දැක ඇය ළඟට
දිවැ ගියේ ය. සියලු දෙනා සිනාසුණහ.
“එකම අවුරුද්දේ, එකම දවසේ, එකම වේලාවට උපන් දෙදෙනෙක් මේ.” ප්‍රජාපතී කීවා ය.
“ඒත් යශෝධරා අඟලක් විතර මිටියි.” අමිතා කීවා ය.
“ඒක එහෙම වෙන්න ඕන.” සුප්‍රබුද්ධ රජු කීය.
යශෝධරාගේ සොහොයුරා දේවදත්ත සිදුහත් සහ සිය නැඟණිය රාජකීය පොකුණ අසලට කැඳවා ගෙන ගියේ
ය.
දේවදත්ත ගල් කැටයක් ගෙන පොකුණට ගැසී ය. මාළු රංචුවක් මතුවිය. ඉන්පසු ඔහු ඒ මාළුවන්ට
ගැසී ය.
“ඔබත් ගල් ගසන්න. ඔබට පිළිවන්ද ගල් ගසා මාළුන් මරන්න?” ඔහු සිද්ධාර්ථට කී ය.
“සිද්ධාර්ථ “බැහැ” යි කී ය.
“මටත් බැහැ” යශෝධරා ද කීවා ය.
“ඇයි අයියණ්ඩි මාළු රවටල මරන්නේ. උන් කෑමක් කියල හිතල ගල් කැටයට රැවටිලා උඩට එනවා.
ඊට පස්සේ අයියණ්ඩිය, උන් මරනවා, හරි නරකයි.”
ඇය දැඩි අප්‍රසාදය පළ කළා ය.
“අපි වෙන සෙල්ලමක් කරමු.” සිදුහත් යෝජනා කළේ ය.”
“හැංගිමුත්තන් කරමු” යශෝධරා යෝජනා කළා ය.
“බැහැ. මං ඒ වගේ සෙල්ලම්වලට කැමැති නැහැ.”
“මම නම් කැමැතියි.” සිද්ධාර්ථ කී ය.
“ඒවා ගැහැනු ළමයින්ගේ සෙල්ලම්.” කියමින් දේවදත්ත මාලිගාව දෙසට දිව ගියේ ය.
“අපේ අයියණ්ඩිය ටිකක් නපුරුයි”
යශෝධරා සිදුහත් සමඟ මාලිගයට යමින් කීවා ය.
සිද්ධාර්ථ පිළිතුරක් දුන්නේ නැත.
“සිද්ධාර්ථ හරි ම අහිංසකයි” එදා ඇය සිය මවට කීවා ය.
පසුව ඇය මෙසේ ද කීවා ය.
“අම්මේ සිද්ධාර්ථට කියන්න දවස් කීපයක් මෙහේ නතර වී ඉන්න කියල. මා ඔහුට කැමැතියි. මා
වගේම යි. ඔහු සතුන්ට කරදර කරන්නේ නැහැ. අයියණ්ඩි වගේ ගල් ගහල මාළු මරන්න කැමැති
නැහැ. කුරුල්ලන්ටත් විදින්නේ නැතුව ඇති.”
අමිතා දේවි සිනාසුණා ය.
“ඔවුන් අද ම යනවා. සුදොවුන් මාමාට කිඹුල්වතේ වැඩ රාජකාරි බහුලයි.” අමිතා දේවි කීවා
ය.
“එහෙනම් අම්මේ අපි ලබන පෝය දා කිඹුල්වතට යමු.”
“යමු.... යමු.”
එයින් දෙවසරකට පසු සිදුවීමක් යශෝධරාට සිහි විය.
එදා සිද්ධාර්ථ දෙව්දහනුවරට පැමිණියේ ප්‍රජාපතී සුළු මව සමඟ ය.
දේවදත්ත, සිදුහත් සහ යශෝධරා මාලිගා අංගණයේ ක්‍රීඩා කරමින් සිටියහ. පන්දුව අංගණයෙන්
පිටතට පෙරළී ගොස් කානුවට වැටිණ. එය අහුලා ගත් ළමයෙක් එය දේවදත්ත සිටින තැනට විසි
කෙළේ ය. දේවදත්ත පන්දුව අතට නොගෙන ඒ ළමයා ළඟට දිවගොස් පහර දුන්නේ ය.
සිද්ධාර්ථ ද ඔවුන් ළඟට දුව ගියේ ය.
“ඇයි අයියණ්ඩි මේ ළමයාට ගහන්නේ. ඔහු අපට උදව්වක්නේ කළේ.” ඔහු ඇසීය.
“ඌ ක්ෂුද්‍ර වංශිකයෙක්. රජ කුලේ අයගේ පන්දුවට ඌ අත තැබුවා. කවුද ඌට එහෙම දෙයක්
කරන්න කීවේ.?”
දේවදත්ත ඒ ළමයාට තවත් පහරක් දීමට අත එසවූයේ ය. සිද්ධාර්ථ දේවදත්තගේ අතින් අල්ලා
ඇද්දේ ය. දේවදත්ත බිම වැටිණි.
දේවදත්ත නැඟිට සිද්ධාර්ථට පහරක් ගැසී ය. යශෝධරා එය වැළැක්වූවා ය.
ඔහු යශෝධරාට ද පහර දී මාලිගයට ගියේ ය. සිය මවට ඒ සිදුවීම ගැන කීවේ ය.
“මෑණියනි, සිද්ධාර්ථ මට ගැහුවා. මා වැටුණා.”
යශෝධරා ද මව ළඟට දුව ගියා ය.
“ඒක බොරුවක්. සිදුහත් ගැහුවෙ නැහැ. අයියණ්ඩිය සුයාමට ගැහුවා. සුයාම අපේ පන්දුව
ඇල්ලුවා කියල.”
“මෑණියනි, සුයාම කියන්නේ අපේ දාසයකුගේ පුතෙක්. කුල හීනයෙක්. ඌ ඇයි අපේ පන්දුව
ඇල්ලුවේ. සුයාමට ගැහුවට සිදුහත් විරුද්ධ වුණා.”
අමිතා දේවියට ඈත එන සිද්ධාර්ථ පෙනිණි.
“සිද්ධාර්ථ කාටවත් පහර දෙන ළමයෙක් නොවෙයි. දේවදත්ත නම් නිතර රණ්ඩුවලට පැටලෙන්නට
යනවා. මා හිතන්නෙ නැහැ සිදුහත් පුතාට ගැහුව කියල.”
අමිතා දේවිය කීවා ය.
“මෑණියන් සහ යශෝධරා සිදුහත්ගේ පැත්තේ, නමුත් සිදුහත් වැරැදියි. සුයාමටත් දඬුවම්
දෙන්න ඕනෑ. මම මෙය පියාණන්ට පැමිණිලි කරනවා.”
දේවදත්ත කීවේ හඬමිනි.
මතු සම්බන්ධයි |