පුරපෑලවිය සඳ - 26 කොටස
සාමණේරයන් වහන්සේ නමකගේ
ජීවිතය අලලා ලියැවුණු නවකතාව
බඩල්ගම විපුලසිරි හිමි
පරිවේනාධිපති හිමියෝ දමිත සාමණේරයන්ගේ ලිපි ගොණුව පරීක්ෂා කරමින් සිටිති. ඒ අතරතුරේ
උසස් වර්ගයේ සුනඛයකු ශාලාව තුළට ආවේ ය. ශරීරයෙන් ද ඌ අනිත් සුනඛයන්ට වඩා විශාල ය.
පෙනුමෙන් ද ප්‍රියජනක ය.
පරිවේනාධිපති හිමියෝ බොහෝම දයාවෙන් උගේ හිස අතගෑවේ ය. අසුනින් නැඟීසිට කබඩයේ වූ
සුනඛ ආහාර ටින් එකක් ගෙන එයින් කොටසක් බිම වූ බඳුනට දැමීය.
“ හ්ම්.. බෲනෝ පුතා කන්න. හා හා කන්න”
සුනඛයා වලිගය වනමින් සතුටින් කෙඳීරිගාමින් බිස්කට් තලු මරයි.
“ මේ බොහෝම උසස් වර්ගෙක බල්ලෙක්. මෙයින් පැටියෙක් හතළිස් දාහක් විතර වෙනවා. මං කොළඹ
මහත්තයෙක් ගාවින් මේ පැටියා අරගත්තේ. දැන් මිනිහා ගජ ඉලංදාරියක්. පේනවනේ.... “
පරිවේනාධිපති හිමියන් තමන්ගේ සුනඛයාගේ වගතුග ආගන්තුක පැවිද්දන් දෙදෙනා ඉදිරියේ
කියාපායි.
නන්ද හාමුදුරුවොත් වැඩිහිටි තෙරුන් වහන්සේ නමක නිසා ‘එහෙමයි’ කියමින් බොහෝම
ගෞරවයෙන් සවන් දෙයි.
සුනඛයා ගැන වගතුග කීම අවසන් වූ පරිවේනාධිපති හිමියන් නැවත වතාවක් සාමණේරයන්ගේ
උප්පැන්න සහතිකය අතට ගත්තේ ය.
“ පොඩිනම, මේ පොඩි එක්කෙනාගේ උප්පැන්නේ තාත්තගේ නමට ඉරක්නෙ තියෙන්නෙ. ඒ මොකද ?
අවජාතක දරුවෙක් ද මේ ?”
නන්ද හිමියන් පත් වූයේ බලවත් අපහසුවකට ය. දමිත සාමණේරයනුත් අපහසුවෙන් බිම බලා
සිටි. මෙසේ ප්‍රශ්නයක් අසතැයි නන්ද තෙරණුවෝ කිසිසේත් ම බලාපොරොත්තු නොවූ හ.
දමිතගේ අම්මා කුඩා කාලයේ දී ඇගේ අම්මා විදෙස්ගත වී තිබේ. තාත්තා බොහෝම බේබදු
කෙනෙකි. රට සිට එවන මුදල් ද වනසමින් ඔහු සිදු කළේ කවුරුන් හෝ සමඟ මත්පැන් බීම ය. ඊට
අමතරව ගෙදර සිටින දූ දරුවන්ට තැලීමත් නො වරදවාම කළේය. පාසල් යන්නටත්, ගෙදර දොරේ වැඩ
කටයුතු කරන්නටත්, උයන්න පිහන්නටත්, රෙදි සෝදන්නටත් ආදී සියල්ල ම බාර වූයේ වැඩිමහල්
දියණිය වූ දමිත හිමියන්ගේ අම්මාට ය.
පාසලේ දහය වසරේ හුන් ඈ මේ අපායෙන් තමා කවදා ගැලවෙන්නේ දැයි කල්පනා කරමින් සිටියා ය.
තාත්තා සමඟ බොන්නට පැමිණෙන අවුරුදු තිස් පහක පමණ තරුණයා තමාට ළෙංගතු යැයි ඇයට
සිතිණි.
තාත්තා සැරවී තමාට බනින විටත් පහරක් ගසන විටත්,
“පව් බන්. ඒ කෙල්ලට වද දෙන්න එපා” යැයි එය වළකන්නේ ද ඔහු ය.
තමාට වඩා වයසින් දෙගුණයකටත් වඩා වැඩි ඔහුට ඇගේ හිත ළං වූයේ තමා ජීවිතයේ විඳී අනේක
දුක් ගැහැට නිසා ම වන්නට ඇත.
මවගේ හව්හරණක් නැති, පියා සිටියද කිසිදු පිහිටක් නැති ඇය කාගෙන් හෝ සෙනෙහස
බලාපොරොත්තු වන්නට විය.
අවසානයේ සිදුවූයේ ඈ පාසල් වියේ දී ම ගැබිනියක් වීම ය. ඊට මාස කිහිපයකට ම පෙර
මිනීමැරුමකට හසුවූ සාමණේරයන්ගේ පියා සිරගෙට නියම වී තිබිණි. අවසානයේ ඔහු විවාහක
අයකු බව ද දැන ගන්නට ලැබිණි.
දමිත සාමණේරයන්ට පියාගෙන් ය කියා ලැබුණේ උප්පැන්නයට ඉරි කැබැල්ලක් ම පමණි.
පාසලේ දී තාත්තා කවුදැයි ඇසූ විට බාප්පාගේ නම නො සඟවා කීවත්, තාත්තකුගේ සෙනෙහස
බාප්පාගෙන් කවදාවත් ම සාමණේරයන්ට නො ලැබුණි.
නන්ද හිමියන්ගෙන් කිසිදු පිළිතුරක් නො ලැබුණෙන් පරිවේනාධිපති හිමිපාණෝ නැවතත් ඒ ගැන
හාරහාර නො ඇසූහ.
“ ඒවායින් නං ඉතින් වැඩක් නැහැ. අම්මගේ වාසගමත් බැලුවහම උන්දැලා කරාවේ අය වගේ.
මුහුදු යන එව්වන්ට මොන චාරයක් ද පොඩි නම. පොඩි කාලෙ දී ම නැටිල්ල අන්තිමට ඉතින් මේක
තමයි ප්‍රතිඵලය.”
හාමුදුරුවෝ පැවසූයේ සාමණේරයන් ව දෑසින් පෙන්වමිනි.
කොහොමින් කොහොම හෝ පිරිවෙනට සාමණේරයන් භාර ගැනීමට පරිවේනාධිපති හිමියෝ එකඟ වූහ.
පන්සලේ සිට පිරිවෙනට බොහෝ දුරක් ඇති බැවින් සාමණේරයන් පිරිවෙනේ නේවාසික ව සිටිය
යුතු විය.
ගුරු ස්වාමීන් වහන්සේත් සමඟ තොරතුරු කතාබස් කර ගෙන නැවත බදාදා දිනයක දී පැමිණ තමා
හමුවන්න යැයි නන්ද හිමියන්ට උපදෙස් ලැබිණි.
- මතු සම්බන්ධයි |