[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

භික්‍ෂූත්වය ඔපවත් කළ පිරිවෙන් අධ්‍යාපනය

භික්‍ෂූත්වය ඔපවත් කළ පිරිවෙන් අධ්‍යාපනය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ‍රටේ කථිකාවතක් ඇති වී තිබේ. ඒ පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳයි. එහෙත් ජාතික අධ්‍යාපනයේ මහගෙදර වන පිරිවෙන තුළ සිදුවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජය දැනුම්වත් වී තිබේ ද? යන්න ප්‍රශ්නයකි.

මේ වන විට පිරිවෙන් අධ්‍යාපනය යනු කුමක් ද? පසල් අධ්‍යාපනය හා සමගාමී ව ක්‍රියාත්මක වන්නක් ද? පිරිවෙන් අධ්‍යාපනය යනු ඊට වෙනස් අධ්‍යාපනයක් ද? පිරිවෙන් අධ්‍යාපනය භික්ෂූන් වහන්සේට පමණක් සීමාවූවක් ද යනාදී කරුණු පිළිබඳ සමාජයේ බොහෝ දෙනා තුළ තිබෙන ප්‍රශ්න සමුදායකි.

භික්ෂු අධ්‍යාපනය මූලික කර ගත් පිරිවෙන් අධ්‍යාපනය වර්ෂ 2250කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියයි. බුදුරජාණන් වහන්සේ දවස ආරම්භ වූ භික්ෂු අධ්‍යාපනය ක්‍රි.පු. 06 වැනි සියවස තරම් ඈතට දිව යයි. ශ්‍රී ලාංකේය පිරිවෙන් අධ්‍යාපන ඉතිහාසය මිහිඳු මහරහතන් වහන්සේ දවස දක්වා ගමන් කරයි. මෙහි ආරම්භය සනිටුහන් වන්නේ අනුරාධපුර කාලප්පසාද පිරිවෙනෙනි. ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වූ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අතීතයේ සිට මෙරට සිංහල බෞද්ධ ජන ජීවිතය කෙරෙහි දැඩි ලෙස බලපා ඇත.

පිරිවෙන භික්ෂු අධ්‍යාපනය අරමුණු කර ගත්තක් වුව ද එහි ගිහි දරුවන්ට ද ඉගෙනීමේ අවස්ථාව ලබා දී ඇත. පාසල් අධ්‍යාපනය ලෙසින් මිෂනාරී අධ්‍යාපනය ආරම්භ වීමට පෙර ලක්දිව සියලු දෙනා අධ්‍යාපනය ලැබුවේ පිරිවෙන මූලික කර ගෙන වීම බොහෝ දෙනාට අද අමතක වී ඇත.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන ආයතන 825 ක් ක්‍රියාත්මක වේ. ඒ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (පිරිවෙන්) දක්වා අධ්‍යාපනය ලබා දෙන මූලික පිරිවෙන් හා කාන්තාවන්ට හා සීලමාතාවන්ට අධ්‍යාපනය ලබා දෙන සීලමාතා ආයතන, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා ප්‍රාචීන අධ්‍යාපනය ලබා දෙන මහා පිරිවෙන් මෙන් ම ගිහි පැවිදි සැමදෙනාට ම පාසල් විෂය නිර්දේශ මෙන් ම පිරිවෙන් විෂය නිර්දේශය උගන්වන පිරිවෙන් විද්‍යායතන ද ඇත. එම විද්‍යායතන පිරිවෙන් පාසල් මෙන් නොව උපාධියක් ලබා ගැනීම දක්වා ම අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ඇත.

මුල් කාලයේ දී පිරිවෙන් අධ්‍යාපනය බුදුරජාණන් වහන්සේගේ ධර්මය පදනම් කොට ගෙන ආරම්භ වූ බව පෙනේ. භික්ෂූ සංඝයාගේ ජීවන රටාව සංවිධානය කිරීම උදෙසා දෙසන ලද ධර්මය සුරක්ෂිත බව, ව්‍යාප්තිය හා පරමාදර්ශ ගොඩනැඟීමේ අරමුණෙන් පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ වී ඇත. එය පර්යාප්ති, පටිපත්ති, පටිවේද යන ත්‍රිවිධ ශාසනයේ පැවැත්ම අරමුණු කොටගෙන සකස් වූවකි. එහෙත් මේ වන විට ලෞකික විෂයයන් ද ඇතුළත් වූ විෂය නිර්දේශයක් පිරිවෙන තුළ ක්‍රියාත්මක වේ.

අනුරාධපුර යුගයේ පැවැතියේ මහා විහාරය, අභයගිරිය සහ ජේතවන විහාරයයි. මුලින් ම මහා විහාරය ආරම්භ වූ අතර, පසුව අභයගිරියත්, ඉන්පසුව ජේතවන විහාරයත් ආරම්භ වෙයි. මහා විහාරය ලෝකෝත්තර මාර්ගය පදනම් කර ගෙන අධ්‍යාපනය ලබා දුන් අතර, අභයගිරිය ලෞකික විෂයයන් ද සිය විෂය නිර්දේශයට ඇතුළත් කර ගෙන ගිහි පැවිදි සියලු දෙනාට අධ්‍යාපනය ලබා දීමට ක්‍රියා කළේ ය. එදා ශ්‍රී ලාංකිකයන් පමණක් නොව විදේශීය ශිෂයන් ද අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් ලෙස මෙම අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක විය. ලෝකයට අභියෝග කිරීමට තරම් මේ පිරිවෙන් අධ්‍යාපනය කෝට්ටේ යුගය වන විට දියුණුවට පත්විය.

සව්සත කෙළ පැමිණී
ගුරුවන් දෙරණ සපැමිණි
පිරිසිදු සිල් ගිහිණි
සියල් ලෝ වියතුන්ට සිළුමිණි

යනුවෙන් මූළු ලෝකයේ ම උගතුන්ට සිළුමිණක් යැයි කීමට තරම් දක්ෂ ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය තොටගමුවේ ශ්‍රී විජයබා පරිවේණාධිපති තොටගමුවේ ශ්‍රී රාහුල නාහිමියන් වැනි උගතුන් කෝට්ටේ යුගයේ පිරිවෙන් තුළින් බිහිවීම මෙයට කදිම සාක්ෂියකි.

කෝට්‌ටේ යුගයේ පැවැති ක්‍රමානුකූල පිරිවෙන් අධ්‍යාපන පටිපාටිය අනුව ගිහි පැවිදි දෙපක්‍ෂයට ම අධ්‍යාපනය ලබා දුන් ආයතන විය. මෙම ආයතනවල සිංහල, පාලි, සංස්‌කාත. ප්‍රාකෘත, දෙමළ වැනි භාෂා මෙන් ම කාව්‍ය, නාටක. ඡ්‍යොතිශාස්‌ත්‍රය වැනි ලෞකික විෂයයන් ද ඉගැන්වූහ.

‍විදේශීය ආක්‍රමණ හමුවේ ශ්‍රී ලාංකේය අධ්‍යාපනය පිරිහී ගිය අතර, එය නැවත ආරම්භ කිරීමේ ගෞරවය හිමි වන්නේ පිණ්ඩපාතික වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමිපාණන් වහන්සේට ය. උන්වහන්සේ ආරම්භ කළ භික්ෂු ආධ්‍යාපනය පසුව 1873 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපණන් වහන්සේ ආරම්භ කළ විද්‍යෝදය මහා පිරිවෙණ හා වර්ෂ 1875 දී රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමිපාණන් වහන්සේ ආරම්භ කළ විද්‍යාලංකාර පිරිවෙනත් මුල් කර ගෙන ලංකාවේ ගම් නියම් ගම් සිසාරා පිරිවෙන් ව්‍යාප්ත විය.

දැනට පිරිවෙන තුළ සිංහල, පාලි, සංස්කෘත, ත්‍රිපිටකධර්මය, ගණිතය, ඉංග්‍රිසි යන විෂයයන් 06 අනිවාර්ය විෂයයන් ලෙස උගන්වන අතර ඉතිහාසය, දෙමළ, සාමාන්‍ය විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, භූගෝල විද්‍යාව, හින්දි වැනි අතිරේක විෂයයන් ද ඉගැන්වේ. මෙම විෂය නිර්දේශ කාලානූරූපී ව නවීන තාක්ෂණික විෂයයන් ද ඇතුළත් කොට වෙනස් විය යුතු බව සැමදෙනා ම පිළිගන්නා කරුණකි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ යෝජනාව වූයේ ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනය මහානායක හිමිපාණන් වහන්සේගේ ද උපදෙස් ඇති ව අවශ්‍ය පරිදි සකසා ගැනීම වඩා උචිත බවයි. ඒ සඳහා රජයෙන් අවශ්‍ය සහාය ලබාදීමට ද එකගත්තවය පළ කළා ය. ඒ අනුව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ, රාජකීය පණ්ඩිත, ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේ, අධ්‍යාපන ලේකම්, අතිරේක ලේකම් මෙන් ම අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ හා මහත්වරු එක් ව මේ වන විට පිරිවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් උදෙසා කටයුතු සිදුකරමින් සිටිති.

මෙහි දී තෛ‍්‍රනිකායික මහානායක හා අනුනායක ස්මාමීන්ද්‍රයන් වහන්සේගේ, විද්වත් ස්වාමීන් වහන්සේගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කෘත්‍යාධිකාරී හිමිවරු, පරිවේණාධිපති හිමිවරු මෙන් ම පිරිවෙන් ආචාර්යවරුන්ගෙන් ද, පිරිවෙන් අධ්‍යාපනයට ආශිර්වාද කරන අභිවෘද්ධිය පතන ගිහිපැවිදි විද්වතුන්ගේ ද අදහස් විමසමින් අනාගත ලෝකයට ගැලපෙන ධර්මධර විනයධර භික්ෂුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මොනවාද යන්න පිළිබඳ ව කෙටුම්පතක් සකස් කරමින් සිටී.

නවීන තාක්ෂණයෙන් පෝෂිත, දෙස් විදෙස්හි ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කිරීමට හැකි, දුකින් පෙළෙන සත්ත්වයන්ගේ සිත් සුවපත් කළ හැකි, සුපේෂල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේ නමක් ලෝකයට දායාද කිරීම පෙරදැරි කරගත් නව පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අපේක්ෂිත අර්ථය සාධනය කර ගැනීමට මේ අවස්ථාවේ සහයෝගය දීම අපි සැමගේ වගකීමක් ලෙස සලකමු.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]