නුවණින් විමසීම පුරුද්දක්
කර ගන්න
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එක් ආත්ම භවයක ඉපදුණා ලස්සන තිත් මුවෙක් වෙලා. මේ
තිත්මුවා පිරිසකට නායකයෙක්. ජීවත් වුණේ දඹදිව බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජතුමාගේ
රාජ්‍ය කාලයේ.
මේ කාලයේ හිටියා. වැදි තරුණයෙක්. ඔහු උදේම කැලෑවට යනවා. සතෙක් හමුවුණොත් ඌ දඩයම් කර
ගෙන ගෙදර එනවා. දවසක් මෙහෙම කැලෑවට යනකොට ඇත්දෙමට ගහක ගෙඩි ඉදිලා ගහ යට හැම තැන ම
වැටිලා තියෙනවා දැක්කා. හරිම සන්තෝෂයෙන් ගහ යටට ම ගිහින් බැලුවා මේ ඇත්දෙමට කන්න
සත්තු ඇවිත්ද කියලා.
තිත්මුවන්ගේ බවට විශ්වාස කරන්න පුළුවන් විදිහේ අඩි සලකුණු දැක්කා. ඉතින් හෙල්ලත්
අරගෙන ගහ උඩට වෙලා කොළ අතුවලට මුවහවෙලා බල බලා හිටියා මුව රංචුව එනතුරු.
තිත් මුව රජුත් සෝදිසි කර කර ගහ යටට යනවා. ඇත්දෙමට ගෙඩි රාත්‍රිය පුරාම බිමට වැටිලා
ඇති වෙන්න. කුස ගින්න කොතරම් තිබුණත් ඉක්මන් වුණේ නෑ. අත්දෙමට ගහට ටිකක් ඈතින් ඇවිද
ඇවිද වට පිට සෝදිසි කර කර හිටියා. මෙහෙම ඉන්නකොට වැදි තරුණයාට හරිම කේන්තියි.
ගහ යටට එන්නේ ම නෑ. තිත්මුවා ළඟට ගෙඩි කිහිපයක් කඩලා දමන්න ඕන’ එතකොට හරි එයිනේ
කියලා හිතලා ගහෙන් වැටෙනවා වගේ තිත්මුවා ඉදිරියට හෙමින් හෙමින් පෙරළිලා යන විදිහට
ඇත් දෙමට ගෙඩි කඩලා දැම්මා. ඒ ගෙඩි පෙරළි පෙරළී තිත්මුවාගේ ඉදිරියට ම ඇවිත් නතර
වෙනවා. මේ ප්‍රඥාවන්ත මුවා ඒවා දිහා බලපු ගමන් ම තීරණය කළා ගහ උඩ දඩයම් කරන්නෙක්
ඉන්නවා කියලා. වැද්දා කොළ අතුවලට මුවහ වෙලා ඉන්නවා දැක්කා. ඒත් දැකපු බවක් ඇඟවූයේ
නෑ. බය වෙලා දිව්වේත් නෑ. කර ගහ දිහාවට හැරිලා ගහට කථා කරලා මෙහෙම කියනවා,
‘මගේ යහළුවේ, අද විතරක් ඇයි මගෙ ළඟට ම ගෙඩි එවන්නේ. මට ඒතරම් ආදරයක් මොකද මේ.
වෙනදාට ඔයා කරන්නේ ඉඳුණු ගෙඩි ඔයාගේ පා මුල බිමට ම වට්ට ගන්න එකනේ. ගසට උරුම වූ ඒ
ලෝක ස්වභාවය දැන් ඔබ නැති කර ගත්තා ද? නැති නම් අමතක වුණාද? මෙහෙම ඉතින් තමන්ට උරුම
වෙලා තියෙන ලෝක ස්වභාවය නැති කර දමලා වෙනස් වෙනවා නම් මට ඔබ ව විශ්වාස කරන්න බෑ. මම
වෙනත් ගහක් වෙත යනවා‘යි ගහට කථා කරලා කියන්නාක් මෙන් වැද්දාට ඇහෙන විදිහට කියලා
එතැනින් යන්න පිටත් වුණා.
ඒ වචන කියලා තිත්මුවා හැරෙනවාත් එක්ක ම ගහ උඩ හිටිය වැදි තරුණයා අතේ තිබුණ මුවහත්
හෙල්ලෙන් තිත්මුවාට ඉලක්ක කරලා දමලා ගැහුවා. හෙල්ල තිත්මුවාගේ ඇගේ ගෑවී නො ගෑවී
ඉවතට ගියා. මුවා දිහා බලලා වැද්දා කියනවා
‘හොඳයි, මගේ ඉලක්කය වැරදුණා. කමක් නෑ අදට ගැලවුණා කියලා හිතාගනින්, ආයෙත් මගෙන්
ගැලවීමක් නෑ‘යි කියලා කිව්වා.
ඒක අහගෙන හිටිය තිත්මුව රජු කියනවා ‘එම්බල පුරුෂය, මා වෙත එල්ල කළ ඉලක්කය වැරැදී
ගියත්, නුඹට එල්ල වුණු ඉලක්කය නුඹට ම දැන් වැදිලා තියෙන්නේ. මේ ජීවිතයෙන් පස්සේ
නුඹට මහා නිරයන් අටේත්, ඔසුපත් නිරයන් දාසයේත් විඳින්නට තියෙන දුක් ඔක්කොම දැන්
නුඹට ඉලක්කගත වෙලා ඉවරයි. ඒවා විඳින්න සූදානම් වෙන්න‘යි කියලා තිත්මුවා එතැනින් පැන
දිව්වා‘යි සඳහන් වන රසවත් කථා පුවතක් ‘කුරුංගමිග ජාතකය‘ නමින් ජාතක පොතේ
විසිඑක්වැනි ජාතකය විදිහට සඳහන් වෙනවා.
පින්වතුනි, තිරිසන් යෝනියේ ඉපදිලා වුණත් බෝසතාණන් වහන්සේ තමන්ගේ නුවණ මෙහෙයවා,
තමනුත්, තමන්ගේ පිරිසත් බේරා ගත්තා.
ජීවිතයට විවිධ මිනිසුන් ඇසුරට හමු වෙනවා. ඔවුන් යම්කිසි උදව්වක් කරලා තම යටි අරමුණු
ඉටු කර ගන්නට කටයුතු කරන අවස්ථා හමු වෙනවා. ඒ නිසා මිතුරු වෙසින් ආවත්, සතුරු
වෙසින් ආවත්, නිතර ම විමසිලිමත් ව, බුද්ධියෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා.
එහෙම නැති වුණොත් තමනුත්, තමන්ගේ සමීපතමයනුත්, තම වස්තු සම්පත් ආදියත් නො සිතූ
අයුරින් විනාශ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පූරණය කළ ප්‍රඥා පාරමිතාව පූරණය
කරනවා‘යි හිතලා නිතර ම නුවණින් විමසා බලලා කටයුතු කරන්න ඕනෑ. එවිට එය ඔබගේත්, ඔබගේ
සමීපතමයන්ගේත්, සමාජයේත්, රටේත්, සමස්ත ලෝක වාසීන්ගේත් යහපත පිණිස හේතු වෙනවා.
පරලොව ජීවිතයට ද යහපතක් ගෙන දෙනවා. |