[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දරුවාට හය හතර කියා දෙන්න

දරුවාට හය හතර කියා දෙන්න

බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණසමුදාය ගැන සිතන මොහොතක පවා අපේ සිතට දැනෙන සැනසීම අනන්ත යි. බුදුගුණ අනන්ත යි.

බුදුවරයකු විසින් ම කල්පයක් වැනි ගිණිය නො හැකි කාල පුරාවකට තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ ගැන වර්ණනා කරන්නට පටන් ගත්තොත් කල්පය ගෙවී ගියත් තවත් වර්ණනා කළ යුතු බුදු ගුණ එහෙම පිටින් ම ඉතිරි ව තිබෙනවා කියන එක යි සම්බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ.

ඒ අනන්ත බුදුගුණ සමුදාය කොටස් වශයෙන් නවයකට බෙදා තිබෙන බව අප කවුරුත් දන්නා පැහැදිලි කාරණයක්. ඉතින් ඒ නව අරහාදි බුදුගුණ අතර පළමු වැනි බුදු ගුණය වන්නේ අරහං යන බුදු ගුණය යි. මේ අරහං බුදුගුණයේ අර්ථය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාගතයේ ලෞකික මෙන් ම, ලෝකෝත්තර ප්‍රාර්ථනා මුදුන් පමුණුවා ගැනීම පිණිස සැදැහැති ජනතාව විසින් කරනු ලබන සියලු පූජාවන් පිළිගැනීමට සුදුසු වෙනවා කියන කරුණයි.

එදා ඇසතු බෝ රුක් මුල දී උන්වහන්සේ ලබා ගත්තේ සම්මා සම්බුද්ධරාජ මහා පදවිය යි.

එදා දීපංකර නම් බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි නියත විවරණ ලත් තැන් පටන් එදා මෙදාතුර අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් දාන, ශීලාදි දසපාරමිතා තිස් ආකාරයකින් සම්පූර්ණ කරල යි මේ බුදුපදවිය ලබන්නේ.

එහි පළමුවෙන් කියැවෙන්නේ දාන පාරමිතාව යි. උන්වහන්සේ මේ මහපොළොව කම්පා කරමින් ඇස්, ඉස්, මස්, ලේ, අඹුදරුවන් දන් දී තම යි එම පාරමිතාව සපුරා ගත්තේ. මූලික වශයෙන් දීමේ ආනිසංසය වන්නේ තමන් වෙත සම්පත් නොකඩවා ගලා ඒම යි. එය සනාතනික සත්‍යයක්. ඉතින් මේ වාගේ දස පාරමිතා සමත්‍රිංශත් ආකාරයෙන් සම්පුර්ණ කරලයි උන්වහන්සේ සම්බුදු පදවිය ලබන්නේ. දඹදෙණි රාජ්‍ය කාලයේ වැඩ විසූ බුද්ධපුත්‍ර නම් හිමිපාණන් වහන්සේ විසින් ‘අරහං’ කියන බුදු ගුණය පැහැදිලි කරන්නට පූජාවලිය නම් මහා බණපොත ලියලා තිබෙනවා. ඒත් බුදුගුණ ලියා අවසන් කරලා රචනා කරන්නට බැහැ.

බොදු පිළිවෙත් අනුව ජීවිතය පවත්වා ගෙන යන්නට උත්සාහවත් වන අපිත් මේ සමාජයේ ජීවත් වනවිට විවිධ පදවි තනතුරු ලබනවා. එවැනි පදවි තනතුරු ලබනවිට අප එවැනි තනතුරුවලට සුදුසුකම් සම්පූර්ණ කරලා තිබීම අත්‍යවශ්‍ය යි.

මේ පදවි අතර මව් පදවිය, පිය පදවිය, ගුරු පදවිය, දරු පදවිය, මුණුපුරු පදවිය, වෙද පදවිය, මැති පදවිය, ඇමති පදවිය, මහඇමති පදවිය, අගමැති පදවිය, ජනපති පදවිය, සභාපති පදවිය, භාණ්ඩාගාරික පදවිය, ලේකම් පදවිය, නායක පදවිය, අනුනායක පදවිය, මහානායක පදවිය ආදි වශයෙන් කෙළවරක් නැති පදවි ලබන පිරිස් සිටිනවා. මේ පදවි තනතුරු ලබන විට ඉතා වැදගත් වන්නේ ඊට අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ වී තිබිම යි.

සුදුසුකම් කියා පෙන්විය හැක්කේ කොළ කෑල්ලක මුද්‍රණය කර තිබෙන සුදුසුකම්වලට වඩා එහා ගිය ඒ ඒ පදවි දරන්නා හෝ දරන්නි ඊට අවශ්‍ය ආකාරයෙන් මූලික ව සුදුසුකම් සපුරා තිබෙනවා ද කියන එක පමණක් ම නොව ඒ අයගේ ජීවන පැවැත්ම තුළින් කෙතෙක් දුරට එම පදවියට සුදුසු ද යන්න ප්‍රකට වෙනවා ද කියන කාරණය යි වැදගත් වන්නේ..

දරුවා එහෙම නැති නම් දූපුතුන් කියන මේ තනතුර දරන්නට නම් ඒ අය තම මවුපියන් පිළිබඳ ක්‍රියා කළ යුතු පිළිවෙළක් බුදුරජාණන් වහන්සේ සිඟාල සුත්‍රයේ දී පෙන්වා දී තිබෙනවා. එහි දක්වා ඇති ආකාරයට දරුවන් තම මවුපියන් මහලු බවට පත් වූ විට මවුපියන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගෙන ඔවුන් පෝෂණය කළ යුතු වෙනවා. ඔවුන්ට අවශ්‍ය කටයුතු සියල්ල විමසා බලා ඉටු කළ යුතු වෙනවා. තම කුල වංශයට අපකීර්තියක් නො වන අයුරින් ක්‍රියා කළ යුතු ය. ඒ මවුපියන් මිය පරලොව ගිය විට ඔවුන්ගේ ගුණය අමතක නො කර ඔවුන්ට පරලොව පිහිට පිණිස පින් පමුණුවමින් පින්කම් කළ යුතු යි.

දැන් මේ කියන ආකාරයෙන් දරුවෙක්, පුතෙක්, දුවෙක් වශයෙන් පුද්ගලයා සම්බන්ධ ව සිතන විට ඔවුන් ඒ දරූ තනතුර ලැබීමට අදාළ සුදුසුකම්වලට අදාළ ක්‍රියාකාරකම් කරමින් කටයුතු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පහදා දී තිබෙනවා. මව් පදවිය හෝ පිය පදවිය හෝ දැරීමට නම්, ඒ උතුම් පදවිය දැරීමට ඔවුන් ද සුදුසුකම් සපුරා ගත යුතු වෙනවා.

සැබෑ මව් හා පිය පදවි අරුත් ගන්වමින් මෙලොවට දරුවන් බිහි කරන මවුපියන් විසින් හයහතර නො දන්නා මේ මොළකැටි දරුවන්ට හොඳ නරක මුල සිට ම පෙන්වා දෙමින් එම දරුවන් දුසිරිතෙන් මුදවාලීම ඉටු විය යුතු පළමු කාර්යය බවට පත් වෙනවා.

එහෙම නම් දරුවන්ට ඇසුරු නිසුරු කළ යුතු කල්‍යාණ මිත්‍රයන් හඳුන්වා දෙමින් දරුවන් එවැනි අයගේ ඇසුරට පත් කළ යුත්තේ මවුපියන් විසින්. ඒ අනුව සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඇති කිරීමෙන් දරුවා යහපත් සිරිත් විරිත් ඉගෙන මවුපියන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට සැලකීම, ගමේ පන්සල, ගමේ සමිති සමාගම් ආදිය ගැන සැලකිලිමත් වී සාර්ථක පුරවැසි දිවි පෙවෙතක් උදා කර ගන්නවා. මෙයට තමා කියන්නේ මවුපියන් සැබෑ මාතෘත්වය, පිතෘත්වයට පත් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්නවා කියලා.

ශිෂ්‍ය ජීවිතය කියන්නේ ශිෂ්‍ය භාවය, ශිෂ්‍ය තනතුරට අදාළ සුදුසුකම් සපුරා ගැනීම යි. එහෙම නම් ශිෂ්‍යයා අලුයම අවදි වී දවසේ කටයුතු ආරම්භ කළ යුතු වෙනවා. ගුරුවරුන් කෙරෙහි භක්තිමත් ව ඇප උපස්ථාන කළ යුතු වෙනවා. ගුරුවරුන්ට දැක්ක පමණින් අසුනෙන් නැඟී සිට ගරු කළ යුතු වෙනවා. උගන්වන පාඩම් මැනවින් ප්‍රගුණ කළ යුතු වෙනවා. ගුරුවරුන්ගේ වතාවත් ඉටු කරමින් උගත් ශිල්ප ශාස්ත්‍ර පිළිගෙන ජීවිතය ගොඩනඟා ගත යුතු වෙනවා. මේ තමා බුදු දහමට අනුව ශිෂ්‍ය භාවයේ, ශිෂ්‍ය තනතුරේ ලක්ෂණ.

එතකොට තමා ගුරුවරුන් විසින් ශිෂ්‍යයා මැනවින් හික්මවා, මැනවින් උගන්වා, තමන් දත් ශිල්පශාස්ත්‍ර අඩුවක් නැති ව කියා දී මිතුරන්ට, ප්‍රභූවරුන්ට තම සිසු දරුවන් හඳුන්වා දී ඔවුන් හැම අතින් ම ආරක්ෂා කරන්නේ මේ ආකාරයෙන් ම සමාජයේ ජීවත් වන ඒ ඒ කොටස් විසින් අන්‍යෝන්‍ය ව තම වගකීම් යුතුකම් සපුරාලන විට ඒ උදවිය එම තනතුරුවලට සුදුසුකම් ලබනවා.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]