[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කරුණා ගඟුලේ මෙත් දිය දහරේ සැනසී නමදිමු සිරිපා පද්මේ

කරුණා ගඟුලේ මෙත් දිය දහරේ සැනසී නමදිමු සිරිපා පද්මේ

සිරිපා වඳින්නට පළමු වරට යන්නෝ කිරිකෝඩු ය.

බැලූ බැල්මට ඉතා සුළු පිරිසකට රැස් විය හැකි කුඩා මළුවේ ඉඩ ප්‍රමාණය කො තරම් ජනතාව රැස් වුව ද පිරී ඉතිරී නො යන බවටත්, තදබදයක් ඇති නො වන බවටත් විශ්වාසයක් ඇත.

කොපමණ බර වූවත් බඩු බාහිරාදිය ගෙන යන ඔලගුව හැඳින්වෙන්නේ “සැහැල්ලුවේ” යන ප්‍රතිවිරුද්ධ තේරුමක් ඇති වචනයකිනි. ‘යනවා, එනවා’ වෙනුවට ‘කරුණා කරනවා’ යන වචන භාවිත කරන නිසාදෝ කොතරම් දරදඬු සිතක වුව ද ගලා යන ගඟුලක් සේ කරුණාව, මෛත්‍රිය පිරී ඉතිරී යයි.

සිරිපා ගමනේ දී සීත ගඟුල ද වැදගත් ස්ථානයකි. බැතිමතුන් සිසිල් දිය නා සුදු පිරුවට හැඳ පේවෙන්නේ මෙහි දී ය. අසීමිත සිසිලස දනවන ගඟුලැල්ල, කායික විඩා නිවන අමා වතුරක් මෙනි.

තවත් ස්ථානයකි, ඉඳිකටුපාන. බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ සිටිමින් බුදු සිවුර මැසූවේ යැයි විශ්වාසයක් පවතී. ඒ අවස්ථාවේ මාරයා සුවිශාල වර්ෂාවක් වැස්ස වුව ද, මහා බුද්ධ තේජසින් උන්වහන්සේ වැඩ සිටි ස්ථානයට වැසි දිය බිඳකුදු නො වැටුණි. මේ පුවත සිහි කර ඉදිකටුවක් අමුණා නූල් ඇද යාම විශේෂයෙන් සිදු කළ යුත්තේ කිරිකෝඩු බව කියැවේ.

භගවා ලෙන ගැන පුරාවෘත්ත රාශියකි. දිවාගුහාව ලෙස ද මෙයට ව්‍යවහාර වේ. සිරීපාදයට වැඩි ගමනේ දී බුදුරජාණන් වහන්සේ දහවල් කල වැඩ සිටි තැන මෙය යැයි විශ්වාස කෙරේ. නිශ්ශංකමල්ල රජතුමා සිරිපා වැඳ එන අතරතුර මෙම ස්ථානයේ රැඳී සිටි බවට ද මතයකි. මේ රජතුමා විසින් කළ ශිලා ලේඛනයක් වර්තමානයේ භගවා ලෙන යැයි විශ්වාස කරන ස්ථානයේ පිහිටා ඇත. එතුමා සිරිපා වන්දනාවේ ගිය අයුරු දැක්වෙන සෙල් ලිපි අටක් ද එහි ඇත.

ශ්‍රී පාද වන්දනාවේ එන බැතිමතුන්ට හමුවන තවත් ස්ථානයකි හැරමිටිපාන. මේ ස්ථානයේ දී බුදුරජාණන් වහන්සේ හැරමිටියක් වාරු කර ගෙන වැඩම කළ බවට පිළිගැනීමක් ද ඇත. උපද්‍රවයක් නැති ව ශ්‍රී පාදස්ථානය වන්දනා කර ගැනීම සඳහා හැරමිටියක් බාර වීම අරමුණු කර ගෙන දෙවියන්ට බාරයක් වීම මෙහි දී කෙරේ.

මහගිරිදඹය ද මෙම මාර්ගයේ ඉතාම දුෂ්කර කොටසකි. ‘දඹේ’ යන්න “උස් වූ කඳු මුදුන’ යන අරුත දෙයි. ශ්‍රී පාද වන්දනාවේ දී ධර්මරාජගල ද තවත් විශේෂ ස්ථානයකි. ‘ධර්මරාජ’ නම් තාපසයකු බුදුබව පතා කළේ යැයි විශ්වාස කරන, සිරිපා වන්දනාව පහසු කරනු පිණිස ගලින් ම කපා ඇති පඩි පෙළකි මෙහි ඇත්තේ. වන්දනාකරුවෝ පඩි ගණන් කරන නමුත් ස්ථිර ගණනක් සැමට නො ලැබෙන බව කියති.

ලිහිණි හෙළ තවත් වැදගත් ස්ථානයකි. තම දරුවා සමඟ ප්‍රපාතයට වැටුණු ලිහින් අක්කා සිහි කිරීමට මේ නම යෙදී ඇතැයි කියති. ඇය දේව ආත්මයක් ලබා ඇතැයි ද කවුරුන් හෝ ඇයට අඬ ගැසුවහොත් ඊට ඇය පිළිතුරු දෙන බව ද විශ්වාස කරති. එහෙත් කතා කරන හඬ දෝංකාර දෙමින් ආපසු ඇසේ. එවැනි මහා ප්‍රපාතයක් ඇති දෝරුවක් සහිත පිහිටීමක් ඇති ස්ථානයකි ලිහිනි හෙළ.

මෙම වන්දනාවේ දී හමුවන තවත් ස්ථානයකි. ‘ආඬියා මළතැන්න’. සීතාවක රාජසිංහ රජ සමයෙහි ප්‍රධාන ශිව භක්තිකයකු (ආ¼ඩි) මළ නිසා මෙම ස්ථානය ආඬියා මළතැන්න නමින් හැඳින්වෙයි.

“ඇහැළ කණුව“ විශේෂිත තැනකි. ගමනේ පහසුව ඇති කරනු පිණිස පැවති ශක්තිමත් කණුවක් නිසා, මෙ නම සැදුනයි පැවසේ. එතැන තිබෙන ගල් කනුවෙහි ඇතැම් වන්දනාකරුවෝ හුණු ගාති. සිරිපා වන්දනාවේ දී මුණ ගැසෙන හුළං කපොල්ල නම් තැනක් ඇත. ඉතා තදින් හුළං හමන බැවින් ඒ නම යොදා ඇත.

උදේ සූර්ය උදාවත් සමඟ සිරිපා කඳුවැටියේ සෙවණැල්ල බටහිර අහසේ දර්ශනය වී ඇති මනරම් දර්ශනය ප්‍රාතිහාර්යයක් ම බඳු ය. සිරිපා මළුවට පැමිණි සැදැහැති ජනයා නොයෙකුත් පුද සිරිත් කරමින් වන්දනාමාන කරනු දැක ගත හැකි ය. ශ්‍රීපාද පද්මය මත සුදු රෙද්දක් එළා සුවඳ ගල්වා, ඒ මත නළල තබා වැඳීම විශේෂත්වයකි. සෙනඟ බහුල අවස්ථාවල ඒ සඳහා අවකාශය ලබා ගැනීම දුෂ්කර වේ. ඇතැමෙක් නඩේ ප්‍රමාණයට දිගු සුදු රෙද්දක් ඇද දිගහැර වියන ලෙස අල්ලා මළුව ප්‍රදක්ෂිණා කර පසුව පද්මය මත එලා වඳිති. සියල්ලෝ ම තමා පැමිණි වාර ගණනට අනුව ඝණ්ටාව නාද කරති. වන්දනාව අවසානයේ සුමන සමන් දේවාලයට ගොස් පින් පෙත් දී භාර හාර පූජා පවත්වා ආශිර්වාද ලබා ගනිති. දොළොස් මහේ පහනට දැමීම සඳහා ඖෂධ වර්ග ගෙන යන අතර, ඇතැම් සැදැහැතියෝ ඒවා පහනට දමා එයින් තෙල් බිංදු කිහිපයක් ගෙන ඒමට ද පුරුදුව සිටිති. මේ තෙල්වල රෝගාබාධ සුව කිරීමේ ගුණයක් පවතින බවට විශ්වාසයක් ඇත.

මෙම පූජනීය ස්ථානයේ තිබෙන හාස්කම් පිළිබඳ ව ද ජනයා තුළ ඇත්තේ තදබල විශ්වාසයකි. ක්‍රි.ව. 1347 දී අරාබි ජාතික ඉබන් බතුතා නම් දේශාටකයා මේ පිළිබඳ වාර්තාවක් සපයා ඇත. අරාබි ජාතික ඉමාමි අබු තිස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ ශ්‍රී පාදස්ථානයට ගියේ ය. අතරමඟ දී බඩගිනි වැඩි වී අලි පැටවකු මරා මස් කෑහ. මෙයට ඉමාමි අබු තදින් ම විරුද්ධ විය. අලි මස් අනුභව කර ඔවුහු රාත්‍රී නිදා ගත්හ. නමුත් ඔවුන්ට එසේ නිදා ගත නො හැකි විය. රාත්‍රී එහි පැමිණි අලි රංචුවක් ඉමාමි අබු හැර අන් සියල්ලෝ ම මරා දැමූහ. අනතුරුව ඉමාමි අබු සොඬවැලින් ගෙන පිට උඩ තබා ගෙන ගොස් තයිසෝරන් නම් බට ලී බහුල ගම්මානයකට ඇරලූ බව වාර්තාවෙහි සඳහන් වේ.

සිරිපා අඩවියේ අලි ඇතුනට හානි කිරීම ද දැඩි දඬුවම් ලැබෙන වරදක් ලෙස සැලකේ. 2003 වසරේ දී රත්නපුර ප්‍රදේශයට බලපෑ විශාල ජල ගැල්ම සිරිපා අඩවියේ විසූ කුරු ඇතෙක් මරා දැමීම නිසා ඇති වූවකැ’යි විශ්වාස කෙරේ. අද දක්වා ම එකී ප්‍රදේශ වැසි අධික කාලවල ජලගැලීම්වලට භාජනය වන්නේ පුදුමාකාර ලෙසිනි. සිරිපා අඩවියේ වැඩ වෙසෙමින් ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය රැක බලා ගන්නා සුමන සමන් දෙවිඳුගේ වාහනය ද සුදු ඇත් රජෙකි.

අතීතයේ සුමන සමන් දේවාලයේ දේව පූජාව තැන්පත් කර ඇත්තේ කෙසෙල් කොළවල ය. ඒ සඳහා සමන් දේවාලයේ බත් දෙන රාළට කෙසෙල් කොළ සපයා ගැනීමට සිදුවන අතර, සමහර විටක ඔහුට එය කරදරයක් ලෙස දැණුනි. දිනක් “දෙවියන්ට කන්න පිඟානක් වත් නැතැ”යි කියමින් කෙසෙල් කොළ සෙවීමට ගිය ඔහු අතරමං විය. අන්තිමේ දී ඔහු නතර වූයේ ශ්‍රී පාද කඳු පාමුල තිබූ ගල් ගුහාවක ය. එහි අපමණ රන් රිදිවලින් කළ පිඟන් පිරී තිබූ අතර ඉන් දෙකක් ගත් බත්දෙන රාළ හැරී බලන විට සිටියේ සමන් දේවාලය අභියස ය. අදත් දේව පූජාව තබන්නේ එම භාජනවල ය.

සිරිපා වන්දනාවේ යන විට කට වරද්දා නො ගන්නා ලෙසට කාරණා දන්නා වැඩිහිටියෝ අවවාද කරති. එසේ කට වැරැද්දක් කළහොත් දඬුවම් ලැබෙන බව විශ්වාස කරති. අවාරයේ ශ්‍රීපාද ස්ථානයේ සිටින මුරකරු පවසන පරිදි වන්දනාකරුවන් කිසිවකු නොමැති අවස්ථාවල විටින් විට මනෝරම්‍ය ආලෝකධාරා, මල් සුවඳ, ඝණ්ටා හඬ, තුන්සරණේ හඬ ආදි විවිධ ආශ්චර්යයන්ගෙන් ඒ පෙදෙස ම පිරී යයි. එලෙස අවාරයේ සිරිපා වන්දනා කරන්නේ දෙවිවරු බව පිළිගැනේ.

හිමයේ නපුරු සතුන් සිටිය ද කිසිවකුට හිරිහැරයක් නො වන බව ද පැවසේ. යම් යම් අද්භූතජනක දේ සිදුවන බව පැවසීම තුළ ඇත්තේ අධර්මයට, දුරාචාරයට ප්‍රතිවිරුද්ධ ව ක්‍රියාත්මක වන බලවේග තවමත් ස්වභාව ධර්මය තුළ පවතින බව ය. මෙම පූජනීය ස්ථාන ගෞරවයෙන් රැක ගැනීම මෙන් ම ආචාර ධර්ම සුරැකීම ද අප සැමගේ පරම වගකීමකි.

නෙක ආශ්චර්යයන්ගෙන් පිරීගත් සිරිපා හිමයේ මුදුනත අප ශාස්තෘන් වහන්සේගේ සක් ලකුණින් සුසැදි සිරිපද කමල පිහිටා ඇති බව දන්නා බොදුනුවෝ සුපහන් ශ්‍රද්ධාවෙන් ම යුතු ව වාරයේ සිරිපා වන්දනාවට පැමිණෙති. එසේ සැදැහැ සිත් උපදවා පැමිණෙන බුද්ධ ශ්‍රාවකයන් පුලුන් රොදක් මෙන් සිරිපා මළුවට ගෙන ගොස් වන්දනාමානයට ඉඩ සලසා දී පුලුන් රොදක් සේ ම පහළට බසින්නට ආශීර්වාද සලසන්නේ සුමන සමන් දෙවි රජුන් ය.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]