[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුවපත් මනසක් සුවබර දිවියක් - 38 කොටස: පීඩාකාරි සිතිවිලි පාලනයට විස්මිත ඖෂධයක්

සුවපත් මනසක් සුවබර දිවියක් - 38 කොටස:

පීඩාකාරි සිතිවිලි පාලනයට විස්මිත ඖෂධයක්

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in plain English  (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

ගැඹුරු සමාධිය ඇතිවන්නේ සුවිශේෂී තත්ත්වයක් යටතේ පමණකි. භාවනා ශාලා හා ආරණ්‍ය ගොඩනැඟීමට බෞද්ධ ශ්‍රාවකයෝ බොහෝ වෙහෙස මහන්සි වෙති. ඔවුන්ගේ පරමාර්ථය මෙම නිපුණතාව පුරුදු කිරීමට අවශ්‍ය භෞතික පරිසරය නිර්මාණය කිරීමයි.

ශබ්ද හා බාධා නැති වාතාවරණයක් ගොඩනැඟීමයි. කෙසේ වෙතත් බාධාවලින් තොර මානසික වටපිටාව ද ඒ හා සමානව ම වැදගත් වෙයි. පංචි නීවරණ (බාධාවන්) සේ අප හඳුන්වන මානසික ස්වභාවයන් සමාධිය වැඩීමට අකුල් හෙලයි. ඒවා නම් ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආශාව, මානසික අලස බව, නොසන්සුන්තාව හා දෙගිඩියාවයි. 12 වන පරිච්ඡේදයේ දී අප මේවා විස්තර සහිත ව සාකච්ඡා කොට ඇත.

ආරණ්‍යයක තිබෙන පාලනය කළ පරිසරය චිත්තවේගී ශබ්ද අවම මට්ටමක පවත්වා ගනියි. විරුද්ධ ලිංගිකයින්හට එකට ජීවත්වීමට මෙහිදී ඉඩ නො ලැබෙයි. මෙය ලිංගික ආශාවන් ඉපදීමේ ඉඩකඩ අවම කරයි. තමන්ට අයිති බඩු බාහිරාදිය ගෙන ඒමට අවසර නො දෙන බැවින් අයිතිය පිළිබඳ සන්ඩුසරුවල් හෝ ගිජු බවට හා ලෝභයට ඇති අවස්ථාව අඩුයි. සමාධියට තිබෙන තවත් බාධාවක් පිළිබඳ සඳහන් කළ යුතු ව ඇත. ගැඹුරු සමාධියෙහි ඇලී සිටින ඔබට අනෙකුත් එතරම් වැදගත් නො වන කරුණු පිළිබඳ අමතක වීමට ඉඩ ඇත. ඒවා නම් ඔබගේ සිරුර, ඔබගේ අනන්‍යතාව හා ඔබ අවට තිබෙන සියලු දේ වෙයි. මෙහිදී ද ආරණ්‍යය ඉතාමත් පහසු ස්ථානයක් වෙයි. මූලික අවශ්‍යතා හා ඔබගේ භෞතික ආරක්ෂාව පිළිබඳ සොයා බැලීමට මෙම පරිසරයේ කිසිවකු නිතරම සිටීම ඉතා යහපත් දෙයකි. මෙවන් සහතික කිරීම් නොමැති විට ඉතා ගැඹුරු සමාධියකට ළඟාවීමට යමෙකු තරමක අදිමදිකමක් දක්වයි.

අනෙක් අතට, සිහිය මේ සියලු දුර්වලකම්වලින් තොර වෙයි. සිහිය භෞතික හෝ වෙනත් ආකාරයක හෝ පරිසරය මත රඳා නො පවතියි. එය ශුද්ධ දැනීමේ ස්වභාවය යි. එමනිසා මතුවන ඕනෑම තත්ත්වයක් දැකීමට එයට නිදහස තිබේ. සිහියට සීමා පැනවිය නොහැක. සෑම මොහොතක ම හා සෑම තත්ත්වයක ම තරමක් දුරට හෝ එය පවතියි. සිහියට ස්ථිර, කේන්ද්‍රගත වූ වස්තුවක් නැත. එය වෙනස්වීම නිරීක්ෂණය කරයි. එමනිසා එයට අවධානය යොමුකළ යුතු වස්තූන් අසීමිත සංඛ්‍යාවක් ඇත. මනස හරහා යන සෑම දෙයක් දෙස බලා සිටින එය ඒවා වර්ග නොකරයි. භාවනා අරමුණ දෙස බලන අවධානයෙන් ම බාධාවන් හා අකුල් හෙලීම් දෙස ද බලයි. ශුද්ධ සිහිය පවතින අවස්ථාවේ දී මනස තුළ සිදුවන සෑම වෙනස්වීමක් සමඟ ම ඔබගේ අවධානය ද ගලා යයි. එක දෙයකින් තවත් දෙයකට, තවත් දෙයකට, තවත් දෙයකට මාරුවෙයි. නිරතුරුව ම මාරුවෙමින් යයි.

සිහිය බලෙන් ඇති කළ නොහැක. අධිෂ්ඨාන ශක්තියට, මෙහිදී කිසිවක් කළ නොහැක. ඇත්ත වශයෙන් ම එය දියුණුවට බාධාවක් පමණි. සිහිය වැඩීම වෙහෙස මහන්සි වී කළ නොහැක. එය වැඩෙන්නේ අත්හැරීම තුළින් මෙන්ම මොහොත තුළ පහසුවෙන් ජීවත් වීම හා ඔබ අත්දකින සියලු දේ සමඟ සුහද බවක් ඇතිකර ගැනීම මඟින් ය. සිහිය එය විසින්ම වර්ධනය වන බව අපි මින් අදහස් නො කරමු. ශක්තිය එයට අවශ්‍යයි. උත්සාහය ද ඕනෑ වේ. නමුත් මෙම උත්සාහය, බලය යෙදීමට වඩා වෙනස් ය. සිහිය වර්ධනය වන්නේ මෘදු උත්සාහයක් තුළිනි. භාවනා යෝගියා සිදුවෙමින් පවතින සෑම දෙයක් පිළිබඳ ව අවදියෙන් සිටීමට තමාට ම කාරුණික ව කරන මතක් කිරීම තුළින් සිහිය වැඩෙයි. අඛණ්ඩ උත්සාහය හා මෘදු ස්පර්ශය සිහිය වැඩීමේ රහස් වෙයි. මෘදු ලෙස තමාව අවදිමත් භාවයට නිරතුරුව ඇද ගැනීම මඟින් සිහිය වර්ධනය කර ගනියි.

ආත්මාර්ථකාමී ලෙස සිහිය පාවිච්චි කිරීම ද කළ නොහැක. එය මමත්වයෙන් තොර සෝදිසියකි. පිරිසුදු සිහිය ඇතිවිට “මම” යන්නක් නො පවතියි. එසේම ඔබ ගැන නියම අවබෝධය ලබා දෙන්නේ ද සිහියයි. ඔබගේ ආශාවලින් හා ද්වේශයෙන් පිටට පැමිණ නියම ස්වරූපය දැක ගැනීමට එය ඔබට ඉඩ සලසයි. සිහිය පවත්වා ගැනීමේ දී ඔබගේ යථා ස්වරූපය දැක ගැනීමට ඔබට හැකි වෙයි. ඔබගේ ආත්මාර්ථකාමී හැසිරීම ඔබට දක්නට ලැබේ. ඔබගේ අතෘප්තිකර බව ඔබ දැක ගනියි. එම අතෘප්තිකර බව ඉපදෙන ආකාරය ද ඔබට දකින්නට ලැබෙයි. ඔබ අන් අයට රිදවන ආකාරය ඔබ දකියි. ඔබ සාමාන්‍යයෙන් ඔබටම පවසන මුසා තට්ටුව පසාරු කරගෙන යන විට එහි ඇති දේ ඔබ දකියි. සිහිය ප්‍රඥාවට මඟ පාදයි.

සිහිය කිසිවක් දිනා ගැනීමට උත්සාහ නො කරයි. එය හුදෙක්ම දේ දකිනවා පමණකි. එමනිසා ආශාව හා ද්වේශය එහි නැත. තරගකාරී බව හා යමක් දිනා ගැනීමට වෙහෙස දැරීමක් එහි නැත. සිහියට අරමුණක් නැත. දැනටමත් තිබෙන දේ දකිනවා පමණකි.

සිහිය, සමාධියට වඩා පුළුල් හා විශාල ක්‍රියාවකි. සිහිය සෑම දෙයක් ම වටලා ගනියි. සමාධිය සීමිත හෝ තනි වූ සාධකයකි. එක වස්තුවක් කෙරෙහි යොමුවන එය අනෙක් සෑම දෙයක් ම බැහැර කරයි. සිහිය අසීමිතව සියලු දේ ඇතුළු කර ගනියි. අවධානයේ කේන්ද්‍රයෙන් පිටතට එන එය සිදුවෙන සෑම වෙනස්වීමක් දෙස ම පුළුල් පරාසයක් තුළ දකියි.

ඔබ ගලක් දෙස අවධානය යොමු කරන විට සමාධිය දකින්නේ ගල පමණකි. සිහිය මෙම ක්‍රියාවලියෙන් පිටත රැඳෙමින් ගල ද, සමාධිය ගල කෙරෙහි අවධානය යොමුකර සිටින සැටි ද, එම අවධානයේ ප්‍රබලත්වය ද, සමාධියේ අවධානය ගලෙන් ගිලිහෙන මොහොතෙහි ම ඒ බාධාවන් පැමිණ ඇති බව දැනගන්නේ මෙන්ම නැවත ගල වෙත අවධානය යොමුකරන්නේ ද සිහිය යි.

ඉතා ගැඹුරට විහිදෙන ක්‍රියාවක් බැවින් සිහිය දියුණු කිරීම වඩාත් දුෂ්කර ය. සමාධිය ලේසර් කිරණයක් මෙන් හුදෙක් ම මනස එක්තැන් කිරීමයි. එයට මනසේ ගැඹුරට කිඳා බැස එහි ඇති දේ ආලෝකවත් කිරීමට බලය තිබේ. නමුත් දකින දෙය වටහා ගැනීමට එයට නොහැකි ය. සිහියට ආත්මාර්ථකාමීත්වයේ යාන්ත්‍රණය විමර්ශනය කර එහි ඇති දේ තේරුම් ගත හැකි ය. දුක නොහොත් අතෘප්තිමත් බවේ අභිරහස හා අපහසු බවේ යාන්ත්‍රණය පසාරු කරගෙන සිහිය ගමන් කරයි. සිහිය ඔබ නිදහස් කරයි.

දුරුතු පුර අටවක

දෙසැම්බර් 27 සෙනසුරාදා
අ.භා 01.07 පුර අටවක ලබා
28 ඉරිදා පූ.භා 11.57න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]