|
දුරුතු පුර
අටවක පෝ දා 2025-12-27
මිනිස්කම
කුණු දුහුවිලිවලින් අපවිත්‍ර වන ගත සෝදා
පිරිසුදු නොකළේ නම් ඒ සිරුර දුර්ගන්ධවත් ය. අප්‍රසන්න ය. එවැනි
පුද්ගල ඇසුර පමණක් නොව ඔවුන් දැකීම පවා අන්‍යයෝ පිළිකුල් කරති.
එහෙයින් ම මඟ හැර යති. එපමණක් ද නොවේ. අපිරිසුදු බව රෝග
පීඩාදිය ළං කර ගැනීමකි.
ගතෙහි පිරිසුදු බව තමන්ට සේ ම අන්‍යයන් ට ද
දර්ශනය වේ. කිළිකුණු නිසාවන දුර්ගන්ධය යම් හෙයකින් තමන්ට
නොදැනුන ද අනුන්ට දැනේ. මේ තත්ත්වය කෙනකුගේ පෞරුෂත්වය
සම්පූර්ණයෙන් ම බිඳ දමයි. ආත්මාභිමානයය නැති කරයි.
අවමානයට, පිළිකුලට ලක්වෙන්නට නොකැමැති වීම
සාමාන්‍ය මිනිස් ස්වභාවය යි. පවිත්‍රතාව පිළිබඳ කවර ආකල්පයක්,
කවර වටිනාකමක් තමන් තුළ තිබුණ ද සමාජය ඉදිරියේ ලජ්ජාවන්නට වේ ය
යන අදහස ද ගතේ පිරිසුදුකම රැක ගන්නට යම් කෙනෙක් පොළඹවයි. මේ
නිසා ගෘහය තුළ මොනතරම් අපිරිසුදුකමින් කල් ගෙවුවද මඟට බසින්නේ
ඊට හාත්පසින් වෙනස් පුද්ගලයකු ලෙස ය. මේ සමාජය තුළ අපට
දැනෙන්නට, පෙනෙන්නට තිබෙන දේ ය.
පුද්ගලයකු වෙතින් මෙසේ බාහිරට දර්ශනය නොවන
අපවිත්‍ර බවක් ද වේ. ඒ පුද්ගලයාට පමණක් නොව අනුන්ට ද එහි බලපෑම
ඉමහත්ය. එවැන්නන් ඇසුර මඟහැර යන්නට ඇතැම්විට නොහැකි වන්නේ ඒ
අපවිත්‍රබව පිටතට නොපෙනීම නිසා ම හඳුනාගන්නට අපහසුවීම නිසා ය.
ඒ අන්කිසිවක් නොව සිත පුරා ඔඩුදුවන කිලිටි බවයි. එහි දුර්ගන්ධය
නහසයට නොදැනුණ ද සිදුවන හානිය බරපතළ ය.
සිත අපිරිසුදු කරන සාධක අපමණ ය. ලෝභ, ද්වේෂ,
මෝහා දී කෙලෙස් සිතිවිලි නිසා උපදින ඊර්ෂ්‍යාව, වෛරය, මානය,
අහංකාරය, කුහකබව, අනුන්ගේ සැප සතුට නොකැමැති වීම ආදි අපමණ
දුර්ගුණ ඊට අයත් ය. පුහුණු නොකරන ලද සිතක් ඇති පුද්ගලයා තුළ
ක්‍රියාත්මක වන මේ සිතිවිලි තමනුත් නොදැනීම තමන්ගේ සිත
අපවිත්‍ර කරයි. මේ රෝගකාරක විෂබීජ පළමුව තමන් රෝගියෙක් බවට
පමුණුවයි. ඒවා අනුන් වෙත මුදා හැරෙන්නේ ඇතැම් විට ප්‍රතිකාර කළ
නොහැකි තරමට ප්‍රබලත්වයට පත්වෙමිනි. එහි හානිය මිණිය නොහැකි ය.
සැබෑ පෞරුෂත්වයක් ඇති පුද්ගලයා තුළ මේ රෝග
කාරකවලට මතු වන්නට ඉඩ නොදේ. ඊට එරෙහිව ඔහු සිත පුරුදු පුහුණු
කරයි. ඒ සඳහා ඖෂධයක් ලෙස පරිහරණය කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා
කොට වදාළ අමා ධර්මය යි. නිරාගාමිකයකුට, මිථ්‍යා දෘෂ්ඨිකයකුට ඒ
තැනට එන්නට නොහැකි ය. එවැන්නෝ ධර්මය විශ්වාස නොකිරීම නිසාය.
මිනිසුන් ලෙස ඉපදුණු අපි සියලු දෙනා සැප
කැමැත්තෝ වෙමු. එය ධනය, බලය, නිලය ආදී භෞතික සාධක ඉක්මවා ගිය
සුවයකි.
එනම් මානසික සැපයයි. ඒ තැන අත්පත් කර ගන්නට
නම් පෙරකී ඊර්ෂ්‍යාව, වෛරය, මාන්නය ආදී අනේක රෝග කාරක විනාශ කළ
යුතුය. සැපය, සුවය අත්පත් කර ගන්නේ එවැනි සිත් ඇත්තෙකි.
කරණීය මෙත්ත සූත්‍රයේ ‘නචඛුද්ධං සමාචරෙ
කිංචියෙන විඤ්ඤුපරේ උපවදෙය්‍යුං’ ලෙස සඳහන් වේ. කිසිවකු
නොසන්සුන් බවට පත්වන ලෙස කටයුතු නොකිරීම සැපයට පත්වූ සිතක
පවතින අපූර්ව හැඟීමක් වන බව එහි අර්ථයයි. එවැනි පුද්ගලයෝ අනුන්
නොරිදවති. අපහසුතාවට, විපතට පත් නොකරති. තමන්ගේ ධනය, බලය, නිලය
හැකියාව ප්‍රයෝජනයට ගනිමින් අනුන්ට වළ නොකපති. තවත් ලෙසකින්
කියනවා නම් අනුන්ට ගින්දර නොදෙති. අනුන් වෙත දිගු කරන ගිනිහුල
ටිකෙන් ටික දැවි දැවී තමන් වෙත සමීපවන බව ඔවුහු දනිති.
අප උත්සාහ කළ යුතු අකුසල සිතිවිලි නිසා තමන්
නොදැවී, අනුන් ද නොදැවීමට ය. තමන් සුවපත් වී අනුන්ට ද ඒ සුවය
මුදා හරින්නට ය. එය සැබෑ මනුෂ්‍යත්වය යි. සැබෑ පෞරුෂත්වය යි. |