[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිකෙලෙස් සිත් දරා වැඩ සිටි උතුම් රහතන් වහන්සේ

නිකෙලෙස් සිත් දරා වැඩ සිටි උතුම් රහතන් වහන්සේ

ඉතාමත් ම කලාතුරකින් පහළ වූ ගෞතම බුදු සසුන තුළ අප්‍රමාදී බවේ පිහිටා බලවත් ශ්‍රද්ධාවෙනුත්, දැඩි අධිෂ්ඨානයෙනුත්, මනා සිහිනුවණිනුත්, නො පසුබස්නා වීර්යයෙනුත් යුක්ත ව දහමේ හැසිරී අමෘතය නම් වූ ඒ සුන්දර නිවන සාක්ෂාත් කොට කෙලෙස් සහිත සිත් ඇති ලෝ සතුන් අතරේ නිකෙලෙස් සිත් දරාගෙන වැඩ සිටි ඒ උතුම් රහතන් වහන්සේට පළමුව ද, දෙවනුව ද, තෙවනුව ද මාගේ නමස්කාරය වේවා.

ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල මූලයන්ගෙන් හටගත් අනේකප්‍රකාර අකුසලයන්ගෙන් සිත කිලිටි වීමෙන් සත්ත්වයෝ කිලිටි වී යති. එනිසා ම පරක් තෙරක් නො පෙනෙන සසර කතරින් එතෙර වීමට ඔවුන් හට නො හැකි ය. එනමුත් සියලු අකුසල් දුරුකොට සිත පිරිසුදු කර ගත් විට ඒ හේතුවෙන් ම සත්වයෝ පිවිතුරු භාවයට පත් වේ. අකුසල් දුරු කිරීමෙන් පිවිතුරු ජීවිත උපදවා ගත් නුවණැත්තෝ ඝෝර වූ සසර කතරින් නිදහස් වී සදාතනික සැප උදා කර ගනිති.

සදාතනික සැපය වූ ඒ අමා මහ නිවන අවබෝධ කොට පාරිශුද්ධ ජීවිත උපදවා ගත් ඒ අසිරිමත් මනුෂ්‍ය රත්නයන් රහතන් වහන්සේ ලෙස හඳින්වේ. එබඳු රහතන් වහන්සේ ගැන අසන්නට ලැබීම පවා සැබැවින් ම වාසනාවකි. මේ ලෝකයට ඒ උතුම් රහතන් වහන්සේ බිහි වන්නේ බුද්ධ ශාසනයක පමණි. ඒ මක් නිසා ද යත්, සසර දුකින් නිදහස් කරවන ඒ අමා නිවන් සුවය කරා යන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්තේ බුද්ධ ශාසනයක් තුළ ම පමණක් වන හෙයිනි.

සියලු සංස්කාරයන් සංසිඳී ගිය, කෙලෙස් සහිත සියලු කර්මයන් ක්ෂය වී ගිය, තණ්හාව ක්ෂය වී ගිය, දුක නිරුද්ධ වූ අමා මහ නිවන් සැපය මේ ලෝකයේ ඇති ශාන්ත වූත්, ප්‍රණීත වූත් උතුම් ම සැපය යි. වෙසක් සඳ කැණින් නැහැවෙමින් නේරංජා නදිය ගලා බසිද්දී, නදී තෙර ඇසතු රුක් සෙවණේ නේරංජාවට මුහුණලා වැඩ සිටි සිද්ධාර්ථ ගෞතම අප මහා බෝසතාණෝ වසවර්තී මාර බලය පරදා ස්වයංභූ ඤාණයෙන් සාක්ෂාත් කොට වදාළේ ඒ අමෘත පදය වූ අමා මහ නිවන් සැපය යි. ඒ මේ යුගයේ ලොව පළමු රහතන් වහන්සේගේ පහළ වීමයි.

කෙලෙස් සහිත ලෝ සතුන් අතරේ සති අටක් පුරා ම එක ම නිකෙලෙස් උත්තමයා ලෙස වැඩ සිටියේ ඒ අපගේ ශාස්තෘන් වහන්සේ ම ය. බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, දෙව් මිනිසුන් හට අනුකම්පා පිණිස පහළ වන ලොව ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසිනි අමා නිවන ලෝකයට බෙදා දෙන්නේ.

සම්බුද්ධත්වයෙන් සති අටකට පසු බරණැස් නුවරට වැඩම කළ අපගේ ගෞතම සම්බුදු රජාණෝ මුවන්ට අභය දුන් ඉසිපතන වනයේ දී තුන් ලොව ම ඒකාලෝක කරවමින් කුරවීක නාදයෙන් ඒ අමෘත බෙරය වයන්නට විය. අනතුරුව දෙසන ලද අනාත්ම ලක්ඛණ සූත්‍ර දේශනාව අසා කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම හා අස්සජී යන මහා පිනැත්තෝ අමා නිවන් සාක්ෂාත් කොට රහතන් වහන්සේ බවට පත් වූ සේක. එවිට ලෝකයේ ම රහතන් වහන්සේ වැඩ සිටියේ සයනමක් පමණි.

බරණැස් නුවර දී ම යස නම් වූ සිටු පුත්‍රයාත්, ඔහුගේ මිතුරන් පනස් හතර දෙනාත් සම්බුදු රජුන්ගේ ළය මඬලින් පැනනැඟුණු, සිරි මුව මඬලින් අසන්නට ලැබුණු ඒ නෛර්යානික දහම අවබෝධ කර ගත්තෝ ය. මේ අයුරින් ලෝකයේ සම්බුදු රදුන් හැරුණුකොට රහතන් වහන්සේ හැටනමක් බිහි වූ සේක. ඒ රහතන් වහන්සේගේ ජීවිත අතිශයින් ම පිවිතුරු ය. නිර්මල ය. අකම්පිත ය.

තම පුත්‍රයන් බඳු රහතන් වහන්සේ හැටනම අමතා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිත සුව පිණිස, දෙව් මිනිසුන්ගේ සැපය පිණිස මේ ධර්මය ප්‍රකාශ කරමින් චාරිකාවේ හැසිරෙන්න. නුවණැත්තෝ මේ දහම අවබෝධ කරනවා. මෙය නෑසුණොත් ඔවුන් පිරිහී යාවි. දෙදෙනකු එක මඟ නොගොස් සියලු දෙනාම මේ ධර්මය බෙදා දෙන්න.”

මේ අයුරින් කෙලෙස් බරිත වූ සත්ත්වයන් අතරේ නිකෙලෙස් මුනිවරයන් සැරිසරා වැඩම කිරීම ආරම්භ වූයේ ය. එදා පටන් ඇරැඹි අරහත් පරපුරේ නිකෙලෙස් භාවය ලැබූ නුවණැති උතුමන්ගේ ප්‍රමාණය මෙතෙකැයි කෙලෙසක නම් කිව හැකි ද?

හඬට නො සැලෙන සිංහයකු සේ රහතන් වහන්සේ අකම්පිත ය. දැලෙහි නො බැඳෙන සුළඟක් සේ කිසිවක නො බැඳෙන සේක. දියෙහි නො තැවරෙන නෙලුමක් සේ කිසිවකට නො ඇලෙන සේක. මඩ නොමැති විලක කැලඹීමක් නැත්තේ යම් සේ ද ඒ රහතන් වහන්සේ ද කිසිවකට නො කැලඹෙන සේක. ඉදිකටු තුඩ මත නොරඳන අබ ඇටයක් සේ ඒ රහතුන්ගේ ජීවිතයෙහි අසනා, දකිනා කිසිවක් නො රඳනා සේක.

ඇත්තෙන් ම සාමාන්‍ය ලෝකයාට සිතා ගැනීමට නො හැකි තරම් රහතන් වහන්සේගේ ජීවිත පැවැත්ම අද්භූත ය. ආශ්චර්යවත් ය. විස්මිත ය. එනමුදු අතිශයින් ම සැහැල්ලු වූ, සරල වූ නිදහසේ හැසිරෙන දිවියකි රහතන් වහන්සේට ඇත්තේ. මෙබඳු අසිරිමත් වූ රහතන් වහන්සේ නමක් ගමක හෝ නියම්ගමක හෝ වනාන්තරයක හෝ නිම්නයක හෝ කඳු ගැටයක හෝ යම් තැනක වැඩ සිටිත් නම් ඒ තැන පවා ලස්සන වේ.

“දක්ෂ රියැදුරෙක් රියෙහි බැඳි අශ්වයන් මැනැවින් හික්මවන්නා සේ රහතන් වහන්සේ තම ඉඳුරන් දමනය කරගෙනයි ඉන්නේ. ඒ නිසා ම පිරිපුන් සන්සිඳීමකිනුයි වාසය කරන්නේ. මානය දුරු කළ අකම්පිත සිත් ඇති ඒ රහතන් වහන්සේ දැකීම දෙවියන්ට පවා ඉතාමත් පි‍්‍රය වේ” යැයි දේවාතිදේව වූ බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

පාත්‍රයට යමෙක් පුදනා දෙයකින් ජීවිත යාත්‍රාව ගෙන යෑමයි රහතුන්ගේ සිරිත වන්නේ. සුවඳටවත්, පැහැයටවත්, ලස්සනටවත් හානි නො කොට මලෙන් රොන් රැගෙන පියාඹා යන බඹරකු සේ දන්පැන් පූජා කරන දායකයාට පින් රැස් කර දීම පිණිස ය රහතන් වහන්සේ නිවෙසක් නිවෙසක් පාසා පාත්‍රය රැගෙන පිඬු සිඟා වැඩම කළේ. උන්වහන්සේට සුළු දානයක් පූජා කොට දෙව්ලොව උපන් පින්වන්ත මිනිසුන් මෙපමණ යැයි කිව නො හැකි ය. එපමණක් ද නොව රහතන් වහන්සේට ඉතා පි‍්‍රය කළ දෙවි දේවතාවෝ උන්වහන්සේට දනක් පුදා පින් රැස් කිරීමට ඇඟිලි ගනිමින් බලා සිටියහ. ඒ රහතන් වහන්සේගේ ගුණ කඳ, රහතන් වහන්සේ විඳි සැපය දෙවිවරුන් හොඳින් දැන සිටි හෙයිනි.

නන්දන වනය තව්තිසා වැසි දෙවියන්ගේ රමණීය උද්‍යානය යි. මෙම උද්‍යානයේ තාවතිංස දෙවි දේවතාවෝ කෙළි සෙල්ලම් කරමින් සතුටින් කල් ගත කරති. දිනක් තම අප්සරාවන් පිරිවරාගෙන නන්දන උයනේ රුක් සෙවණක දිව්‍ය පුත්‍රයෙක් සතුටු වෙමින් සිටියේ ය. පස්කම් සැපයෙන් තෘප්තිමත් වූ ඒ දිව්‍ය පුත්‍රයාට ඉබේට ම මෙන්, තව්තිසාවැසි දෙවියන්ගේ මේ නන්දන උයන නුදුටු කෙනෙක් ඇත්තෙන් ම සැපය කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ” යි කියැවිණි.

මෙය ඇසුණේ රහතන් වහන්සේගේ ජීවිතය ගැන පැහැදී සිටි දිව්‍ය පුත්‍රයකුට ය. එවිට ඒ දිව්‍ය පුත්‍රයා පළමු දිව්‍ය පුත්‍රයාට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

“අනේ අනේ මෝඩයෝ, ඔහේ රහතන් වහන්සේගේ වචන අහලා නෑ නෙව. සියලු සංස්කාර ධර්මයෝ හට ගැනීමත්, නැසී යෑමත් ස්වභාව කොටගෙනයි තියෙන්නේ. ඔය ස්වභාවය සන්සිඳී යෑමටයි සැපය කියා කියන්නේ. මේ ලෝ සතුන් අතරේ ඒ සැපය ස්පර්ශ කළේ රහතන් වහන්සේ පමණි.

යමෙක් අධිෂ්ඨානශීලී මනසකින් පිළිවෙතෙහි යෙදී බුදු සසුන මත පිහිටා සියලු කෙලෙස් බැහැර කොට දැමුවේ ද ඒ උතුමන් අවබෝධ කළ ඒ නිවන් සැපය සිතු සිතු අයුරින් වළඳති. මෙය බුදුරදුන්ගේ ශ්‍රාවකයන් තුළ පවතින සත්‍ය ගුණයකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා යනුවෙන් ධර්ම ස්වාමී වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ රහතන් වහන්සේ ගැන වදාළ සේක.

මේ ලෝකයේ පමණ කළ නො හැකි ගුණස්කන්ධයක් දැරූයේ අමා නිවන් දුටු අරහත් උතුමාණන් වහන්සේ ම ය. උපසීව නමැත්තකුට බුදුරජාණන් වහන්සේ එය මෙසේ තෝරා දුන් සේක.

“පින්වත් උපසීව, නිවන අවබෝධ කළ රහතන් වහන්සේ මැනීමට මිම්මක් නැත. යමකුට මැනිය හැකි යම් මිනුම් දණ්ඩක් වේ ද, රහතන් වහන්සේට ඒ මිනුම් දණ්ඩ නැත. සියලු කෙලෙසුන් සන්සිඳී ගිය විට සියලු වාදයන් ද අහෝසි වී යයි. මේ නිසාම ය පමණ කළ නො හැකි ගුණ දැරූ රහතන් වහන්සේ ලොව අග්‍ර භාවයට පත් වන්නේ. මේ ලෝකයේ යම්තාක් සත්ත්ව වාසස්ථාන වෙත් ද භවාග්‍රයෝ යම්තාක් වෙත් ද ඒ සියල්ලට ම ඉහළින් ලෝකයේ අග්‍ර වන්නේ රහතන් වහන්සේ ය. ශ්‍රේෂ්ඨ වන්නේ රහතන් වහන්සේම ය.”

මේ ලෝකයේ සියලු සත්ත්වයෝ වයසට යෑම, ලෙඩ වීම, මරණයට පත් වීම, සෝක, වැළපීම කායික මානසික දුක්ඛ දෝමනස්සයන් විඳිමින් ඉන් නිදහස් වීමක් නොමැති ව වාසය කරති. එනිසා ම මේ දුක් විඳින අතරේ ම ඔවුන් පතන්නේ මෙබඳු දුක් නැති යළි උපතකි. එනමුදු යළි යළි උපත යනු යළි යළිත් දුකට ම පත්වීම බව රහතන් වහන්සේ මනාව පසක් කර ගත් දෙයකි. මේ ලෝකයේ රහතන් වහන්සේ නමක් බිහි වන්නේ යළි යළි ඉපදීම නැති කිරීමෙනි. සියලු රහතන් වහන්සේට තමන් ලැබූ අවබෝධය ගැන මෙබඳු වැටහීමකි ඇති වන්නේ.

“ඉපදීම ක්ෂය වී ගියේ ය. උතුම් බඹසර ජීවිතයක් ගතකොට අවසන් කරන ලදී. නිවන පිණිස කළ යුතු සියල්ල සම්පූර්ණ කරන ලදි. යළි නිවන පිණිස කළ යුතු කිසිවක් නැත්තේ ම ය.”

ඇතැම් රහතන් වහන්සේ තම සුවිශේෂී ජීවිත පරිවර්තනය ගැන කරන පී‍්‍රති වාක්‍යයන් ලෙස ද මෙසේ ප්‍රකාශ කළ අවස්ථා තිබේ.

රහතන් වහන්සේගේ ජීවිත හරිම පුදුමාකාර ය. ඇසින් නො දැකිය යුතු දේ ඉදිරියේ ඇස් ඇතත් අන්ධයකු සේ ය උන්වහන්සේ හැසිරෙන්නේ, නෑසිය යුතු දේ ඉදිරියේ බිහිරකු සේ ය. අනර්ථවත් කතා බහ ඇති තැනක දී ගොළුවකු සේ ය. මහා නුවණැති වුව ද හැසිරෙන්නේ කිසිවක් නො දන්නකු සේ ය. එතරම් ම නිහතමානී බවක්, එතරම් ම සන්සිඳී ගිය බවක්, එතරම් ම නිවහල් බවක්, එතරම් ම නිර්භීත බවක් අරහත් මුනිවරුන්ගේ දිවිය තුළ මිස අන් කවරකුගේ දකින්නට හැකිද? ඒ රහතන් වහන්සේගේ ජීවිතය සාමාන්‍ය කෙනකුට සිතා ගැනීමට පවා නො හැකි ය. කය සැරසීමෙහි නො යෙදෙන, පිඬු සිඟා ජීවත් වන, රුක් සෙවණක වුව දිවි ගෙවන, බැහැර කළ රෙදි කැබලි එක්කොට සැකසූ සිවුරක් දරන, තම ගුණ කිසි ලෙසකවත් ප්‍රකට නො කරන කෙනකු සාමාන්‍ය සිතකින් කෙසේ නම් හඳුනාගන්න ද? ඒ රහතන් වහන්සේ ජීවමාන වන්නේ ථේර ථේරී ගාථා තුළ ය. උතුම් රහතන් වහන්සේ පිවිතුරු හද මඬලේ හටගත් පරම පිවිතුරු සංකල්පයන් ගාථාවන් වශයෙන් ප්‍රකාශ කළහ. එම උතුම් ගාථාවන් ධර්ම සංගායනාවන් කළ රහතන් වහන්සේ විසින් කුද්දක නිකායේ ථේර ථේරී ගාථා නම් කොටසට ඇතුළත් කළ සේක. අද අපට ඒ රහතන් වහන්සේගේ ගුණය යන්තමින් හෝ තේරුම් ගැනීමට ඒ පරම පිවිතුරු නිකෙලෙස් වදන් උපකාරී වේ.

දහමට දිවි පුදා පිළිවෙත් පුරා ඒ දහම පසක් කරගත් රහතන් වහන්සේ ම ය මතු පරපුරට ඒ දහම දායාද කිරීමට කටයුතු කළේ. මහා කස්සප මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේ පළමුවෙන් නිර්මල දහම සංගායනා කොට රැකගත් සේක. සබ්බකාමී හා යස යන රහතන් වහන්සේ ප්‍රමුඛ ව දෙවන වරට ධර්මය සංගායනා කොට ආරක්ෂා කර ගත්තේ ද රහතන් වහන්සේ ම ය. මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේ සිදු කළ තෙවන දහම් සංගීතිය නිසා ය මේ ලක් දෙරණටත් සිරි සදහම් ඔසුව දායාද වුණේ.

දහම් පහුරේ නැඟී ඒ රහතුන් සසර සයුරෙන් එතෙරට ම වැඩම කොට හමාර ය. දහම් පහුර ආරක්ෂා කරමින් ඒ දහම බබුළුවා පහන් සිළ නිවෙන සේ පිරිනිවනට වැඩි ඒ අප්‍රමාණ රහතන් වහන්සේට දොහොත් මුදුනේ තබා අපි ආදරයෙන් වන්දනා කරමු.

දුරුතු පුර අටවක

දෙසැම්බර් 27 සෙනසුරාදා
අ.භා 01.07 පුර අටවක ලබා
28 ඉරිදා පූ.භා 11.57න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]