[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නා රජු දමනය කළ කඤ්චන දේවිය

නා රජු දමනය කළ කඤ්චන දේවිය

අතීතයේ දඹදිව දේවපුත්‍ර නමින් මහනුවරක් තිබුණා. ඒ නුවර, ප්‍රාසාද, මහසිටුමැදුරු, පානීය ජලය, කෑම බීම, ජනතාවට අවශ්‍ය නිවාස ආදි හැම පහසුකමක් ම පිරිලා තිබුණා. නුවරවාසීන් හැමෝම සතුටින් බුදුන්, දහම් හා සඟ සරණ ගිහින් සතුටින් ජීවත් වුණා.

මේ නුවර තිබුණා අතීතයේ සිට පවත්වාගෙන යන පෙරහරක්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව. රජවරුන්ගේ අනුග්‍රහය යටතේ මාලිගාවක තැන්පත් කරලා තියෙන පාත්‍රා ධාතුව වසරකට වරක් මහජන ප්‍රදර්ශනයට ගෙන පෙරහරක් පවත්වමින් පුද පූජා පවත්වනවා. ඒ පෙරහර හරිම අලංකාර විදිහට තමයි පවත්වන්නේ.

මුලින්ම කරන්නේ පාත්‍රා ධාතුව වැඩම කරවන රථය සත්රුවනින් අලංකාර කරන එක. ඊට පස්සේ ඒ රථය මැද රත්රන්වලින් උණ ගහක් හදලා ඒ මත පාත්‍රා ධාතුව වඩා හිදුවා, සුදු අශ්වයන් හතර දෙනෙක් යොදවා, පරිවාර රථ යොදවා, පාර දෙපැත්තම ධජ පතාකවලින් සරසවා, මඟ දෙපස පුන්කලස් තියා, රන්පහන් වැට සකසා, රත්රන් සහ රිදී තොරණ ඉදි කර, දේවපුත්‍ර නගරය දිව්‍ය පුරයක් වගේ සරසලා මේ පෙරහර වීථිවල සංචාරය කරනවා.

ඊට පස්සේ පාත්‍රා ධාතුවහන්සේ වඩා හිඳුවන්න සකස් කරපු මණ්ඩපයට වැඩමවලා තැන්පත් කර පුද පූජා පවත්වනවා. මේ පූජා චාරිත්‍රය වසරකට වරක් පවත්වනවා වගේම එය දවස් හතක් අඛණ්ඩ ව නො නවත්වා පවත්වනවා. රටේ රජතුමා ඒ සියල්ල අධීක්ෂණය කරනවා. හත්වැනි දවසේ රාත්‍රියේ සිදු කරන්නේ ධර්මධර තෙරුන් වහන්සේ නමක් වඩමවාගෙන ඇවිත් ධර්ම දේශාවක් පවත්වන එක.

මේ ධර්ම දේශනාව එළිවෙනකම් පවත්වනවා හරියට ලංකාවේ අතීතයේ තිබුණු අරියවංස දේශනාව වගේ.

මේ කියන්න යන කථාව සිද්ධ වෙන්නේ මේ ධර්ම දේශනාව පවත්වන වේලාවේ. පාත්‍රමහා පූජා පෙරහරට වගේම මේ ධර්ම දේශනාවටත් සම්බන්ධ වන ජනකාය ඉතා විශාල යි. වේලාසනින් ම ධර්ම මණ්ඩපය වෙත එන ජනතාව පැදුරු හෝ රෙදි හෝ බිම අතුරලා ඉදගෙන බලන් ඉන්නවා ධර්ම දේශනාව ආරම්භ වෙනකම්. ධර්ම දේශනාවට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය පමණක් නෙවෙයි සම්බන්ධ වෙන්නේ. අන්‍ය වේශවලින් දෙවියන්, නාගයන්, යක්ෂයන්, සිද්ධ විද්‍යාධරයන් ආදීන් ද සම්බන්ධ වෙනවා.

මේ නගරයේ කටයුතුවල යෙදුණු රූපශ්‍රීයෙන් බබළන එක් කන්‍යා ස්ත්‍රියක් ද බණ අහන්න පැමිණියා. ඇයට පැවරුණු කටයුතු නිමා කර එන කොට ධර්ම දේශනාව පවත්වන තැන ඉඩ සම්පූර්ණයෙන් ම ඇහිරිලා තිබුණා. ඇය පිරිස කෙළවර ම ඉදගෙන බණ අහන්න පටන් ගත්තා. ඒ වගේම ඒ අසල ම නාගලෝකයෙන්, දිව්‍ය ලෝක ආදියෙන් පැමිණි අයත් මිනිස් වේශය මවාගෙන බණ අහනවා. මේ පිරිස අතරේ හිටියා නාග ලෝකයෙන් ආපු දිව්‍ය නාගරාජයෙක්. ඔහු අර සුරූපී කන්‍යා මනුෂ්‍ය ස්ත්‍රීය දැකලා ඇය කෙරෙහි පිළිබඳ සිතක් හට ගත්තා. ඇයගේ හිත දිනා ගැනීමට කටයුතු කළා.

තරුණිය සියල්ල ප්‍රතික්ෂේප කළා. නැවත නැවතත් ඉල්ලීම් කළත් ඇයගෙන් පිළිතුරක් නම් ගන්න පුළුවන් වුණේ නෑ. මේ නිසා තරුණ නාග රාජයාට බොහොම තදින් කෙන්ති ගියා. විෂ දුමක් යවලා ඇය මරලා දමන්න තීරණය කළා. ඒ විදිහට ම විෂ දුමක් ඇය වෙතට යැව්වා. තරුණිය තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කරමිනුයි හිටියේ. මේ නිසා ම විෂ දුම ඇයට ප්‍රතිචාර දැක් වූයේ නෑ. ඒ ආශ්චර්ය දෙස බලන් හිටිය මේ නාග රාජයාට තව තවත් කේන්ති ගියා. ක්ෂණයෙන් ම ක්‍රියාත්මක වුණ මේ නාගරාජයා නාග වේශය මවාගෙන ඇයව වෙළා ගත්තා. ඔහු හිතුවා දරණ වැලෙන් වෙළා ගත්තවිට බියට පත්ව කැමැත්ත දෙයි කියලා. ඒත් තරුණිය කිසිදු බියකට පත් වුණේ නෑ. තම සිත ධර්මය කෙරෙහි ම අරමුණු කර ගත්තා. නාගයා දරණවැල තදින් ශරීරය පුරාම වෙළාගෙන පෙණය ඇයගේ හිස උඩින් තබා ගත්තා. ඒත් ඇය බියට පත් වුණේ නෑ. මේ සිදුවීම් මාලාව අවසන් වෙන කොට ධර්ම දේශනාවත් අවසන් වුණා. බණ අහපු පිරිස නැගිටලා නැවතත් යන්න පිටත් වෙන කොට තමයි හැමෝම මේ පුදුම සහගත දේ දැක්කේ. ඇතැමෙක් බියට පත් වෙලා දුවන්න පටන් ගත්තා. තවත් පිරිසක් තරුණිය බේරා ගන්න උත්සාහ ගත්තා. තවත් සමහරෙක් නාගයා මරන්න සූදානම් වුණා. මේ හැම එකකට ම ඉඩ නො දුන් ඇය පැමිණි පිරිස අමතා මෙහෙම කියන්න පටන් ගත්තා.

“ඔබ හැම දෙනාම මේ නාග රාජයාගෙන් මා මුදවා ගන්න උත්සාහ ගන්න එපා.මම බුද්ධ රත්නය, ධර්ම රත්නය සහ සංඝ රත්නය සරණ ගිය කෙනෙක්. මගේ මේ වයස දක්වා මම කුමරි බඹසර ආරක්ෂා කළ කෙනෙක්. මම ධර්මය ශ්‍රවණය කරන කෙනෙක් වගේම ඒවා පිළිපදින කෙනෙක්. ඊයේ රාත්‍රියේ ධර්ම දේශනාව ආරම්භ වුණ තැන් පටන් අවසන් වන තෙක් මම බණ පදයක් පදයක් පාසා අවබෝධ කර ගත්තා. අකුරක් අකුරක් පාසා බණ ඇහුවා ඒ සත්‍යානුභාවයෙනුත්,

මේ නාගරාජයා පළමුව මා වෙත විෂ දුමක් නිකුත් කළා, අනතුරුව මාගේ ශරීරය දරණ වැලෙන් වෙළාගෙන මා පීඩාවට පත් කළා. ඒ හැම අවස්ථාවක ම මම කෝප ගත්තේ නෑ. මම බියට පත් වුණේ නෑ. මම අන් අයගේ ධර්ම ශ්‍රවණයට බාධා කළේ නෑ. ඒ සත්‍යානුභාවයෙනුත්, නාගරාජයා මා මුදවත්වා. මම ධර්මය ශ්‍රවණය කළේ තෙරුවන් කෙරෙහි ආදරයෙන් හා භක්තියකින්. ඒ සත්‍යානුභාවයෙනුත් මේ නාගරාජයා දරණ වැලෙන් මා මුදවත්වා‘යි සත්‍යක්‍රියා කළා.

ඒත් සමඟ ම නාග රාජයා තමන්ගේ කේන්තිය පහ කර දමලා, සියනාග පෙණය සියක් පෙණ බවට පත් කරලා ඒ මත තරුණිය හිඳුවලා අනෙක් නාග මෙනවියන් සමඟ නාග ලෝකයේ ඉහළම පූජාව වන ‘උදක පූජාව‘ ඇය වෙනුවෙන් පවත්වා තරුණියට ගෞරව දැක්වූවා.

මේ සිදුවීම දුටු පිරිස තම තමන් පැළඳගෙන සිටිය හා අත තිබුණු දේ තරුණියට පූජා පිණිස පරිත්‍යාග කළා. ඇය මහත් ධනයක් හිමි තැනැත්තියක් බවට පත් වුණා.

අනතුරුව තෙරුවන් කෙරෙහි අපමණ ශ්‍රද්ධාවකින් ආයු කෙළවර මිය ගිහින් මේ දේවපුත්‍ර නුවර දේවපුත්‍ර මහරජුට දාව අගමෙහෙසිය කුස ඉපිද මහත් වූ ධන සම්පත් මෙන් ම කීර්ති ප්‍රශංසා සහිත ව ඇය මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගත් බවත්, ඇය උපන් අවස්ථාවෙහි සත්රුවන් රාජ්‍යයට පහළ වුණ බවත්, ඒ නිසා ම ඇයට කඤ්චනදේවි නාමය ලැබුණු බවත්, තරුණ වියට පවත් වුණු ඇය පියරජුගේ රාජ්‍යයට ඇති ඇල්ම පසෙක තබා පැවිදි වෙස් ගෙන සිවුපිළිසිඹියාපත් උතුම් අර්හත්භාවය ලබා පිරිනිවන් පෑ බවත් සඳහන්වන අගනා කථා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.

පින්වත්නි, කඤ්චන දේවිය දුගී බවින් නිදහස් ව, සැපසම්පත් ආඪ්‍ය රාජ කුලයෙහි ඉපිද, ඒ කෙරෙහි ඇල්ම ද අත්හැර දමා පැවිදි බව ලබා සියලු දුකින් නිදහස් උතුම් අර්හත් භාවය ලබා ගැනීම ආදී කාරණා සියල්ලට ම ඇයට පිහිට වුණේ අචල ශ්‍රද්ධාවෙන් සිත පිහිටුවාගෙන ධර්මය ශ්‍රවණය කිරීම යි. ඒ නිසා ඕනෑම ගැටලුවක දී, ඕනෑම සිත් පීඩාවක දී නො වෙනස් ව අප සමීපයෙන් හැමදාම ඉන්න එකම මිතුරා වෙන්නේ ධර්මය යි. ඒ නිසා හැම මොහොතකම ධර්මය ඔබේ හොඳම යහළුවා කර ගන්න. ඒ ධර්මය නමැති යහළුවා අප විපතකට හෝ දුකකට හෝ පත් වූ මොහොතක අප අතහැර යන්නේ නෑ. අපට වංචා කරන්නේ නෑ. හැම මොහොතක ම අපට පිහිට වෙනවා. හොඳම පාර අපට පෙන්වනවා.

දුරුතු පුර අටවක

දෙසැම්බර් 27 සෙනසුරාදා
අ.භා 01.07 පුර අටවක ලබා
28 ඉරිදා පූ.භා 11.57න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]