[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගාථා රත්නයක අප්‍රකට තොරතුරු

ගාථා රත්නයක අප්‍රකට තොරතුරු

සෑම බෞද්ධ පාසලක ම පාහේ දවස අවසානයේ දී සිසු සිසුවියන් විසින් සජ්ඣායනය කරනු ලබන තිසරණ සරණ යාමේ ගාථා තුනෙහි අර්ථය හා ඊට පසුබිම් වී ඇති ඡත්ත මානවක කතා පුවත එය ගායනා කරන බොහෝ සිසු සිසුවියන් නො දන්නවා විය හැක.

ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමේ කටයුතු නිමා කළ ඡත්ත මානවක ගුරු පඬුරු වශයෙන් කහවනු දහසක් ද ඇතැති ව මවු පිය නිවසේ සිට ගුරු ගෙදර කරා ගමන් අරඹයි.

අද දිනයේ කවරකු වෙත සෙත සැලසිය හැකි දැයි අවලෝකනයේ යෙදෙන බුදු හිමියන් දකින්නේ පෙර භවයක දී සිදු කරන ලද අකුසල කර්මයක් විපාක වශයෙන් ඡත්ත මානවක මෙදින සොරුන් අතින් ඝාතනයට ලක්වන බවත් එය නො වැළැක්විය හැකි නමුත්, ඔහු සුගතිගාමි කළ හැකි බවත් දිවැසින් දුටු සේක.

මහා කාරුණික තථාගතයන් වහන්සේ අතරමඟ රුක් සෙවණක දී ඡත්ත මානවක තිසරණයේ පිහිටුවා මෙම ගාථා රත්නය උගන්වයි. එය කටපාඩම් කරමින් තෙරුවන් ගැන මෙනෙහි කරමින් යන හෙතෙම සොරුන් විසින් එල්ල කරන ලද හී සැරයක් වැද මිය යාමෙන් අනතුරුව දෙව්ලොව උපත ලබයි.

යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනී භගවා කතකිච්චෝ
පාරගතෝ බලවිරියසමංගි
තං සුගතං සරණත්ථමුපේමි

භාෂනයෙහි යෙදෙන මනුෂ්‍යන් අතර උතුම් වූ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ කළ යුතු සියල්ල සිදු කොට සසරින් එතෙර වූ සේක. බලයෙන් හා වීර්යයෙන් පරිපූර්ණ වූ උන්වහන්සේ සරණ යමි.

රාග විරාග මනේජමසෝකං
ධම්ම ම සංඛත මප්පටිකූලං
මධුරමි මං පගුණං සුචිභත්තං
ධම්මමි මං සරණත්ථමුපේමි

රාගය දුරු කරන, ශෝකය පහ කරන, කම්පාව නැති කරන නිවන් මඟට යොමු කරන පවිත්‍ර වූ, මිහිරි වූ, මහත් වූ ගුණ සහිත, මනාව බෙදා දෙන ලද උතුම් වූ ධර්ම රත්නය සරණ යමි.

යත්ථ ච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසු පුරිස යුගේසු
අට්ඨච පුග්ගල ධම්මදසාසේ
සංඝමි මං සරණත්ථමුපේමි

පවිත්‍ර වූ යුගල වශයෙන් හතරක් වූ මහා සංඝයා වහන්සේ විෂයයෙහි යමක් පුදන ලද ද, එය මහත්ඵල මහානිසංස වේ. එකී අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය සරණ යමි.

නිවන් අවබෝධයට

ගිහි කල සිය වැඩිමහල් සොහොයුරා වූ මහාපන්ථක මහරහතන් වහන්සේ හමුවේ පැවිදි වූ චුල්ල පන්ථක හිමියන්ට හාරමාසයක් තිස්සේ හතරපද ගාථාවක් පාඩම් කර ගැනීමට නොහැකි වූ නමුත් තථාගතයන් වහන්සේ විසින් ලබා දුන් උපදෙසට අනුව “රජෝ හරණං, රජෝ හරණං” යනුවෙන් පවසමින් සුදු රෙදිකඩක් පිරිමැදීමෙන් අනිත්‍ය ලක්ෂණය මත විදසුන් වඩා සුළු කාලයක් තුළ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකිවීම පිළිබඳ කතා පුවත බෞද්ධයන් අතර ජනපි‍්‍රය වූවකි.

පසුදින ජීවක වෙදැදුරු නිවසේ දී පැවැති බුදුරදුන් ප්‍රමුඛ පන්සියයක් රහතන් වහන්සේ සහභාගි වූ දානයට වැඩම වීමට කලින් සිය සෘද්ධි ප්‍රාතිහාර්ය බලයෙන් තමා වැනිම රහතන් වහන්සේ දහසක් මවා දැක්වීමේ ආශ්චර්යය ද බොහෝ අසා ඇත. උන්වහන්සේට වන පොත් කර ගැනීමට නොහැකි වූ ඒ අරුම පුදුම ගාථාව හා එහි අර්ථය පහත දැක්වෙන අයුරු වේ.

“පදුමං යථා කොකනදං සුගත්ධං
පාතො සියා චුල්ලම වීත ගන්ධං
අංගීරසං පස්ස විරෝචමානං
තපත්තමා දිච්ච විචන්ත ලික්ඛේ”

අරුනළු සමඟ පිබිදී දසත සුව ඳ විහිදුවමින් බබළන (හිමාල අඩවියේ වූ) කෝකනද නම් වූ පුෂ්පයක් බඳු වූ ද, විශ්වය පුරා ආලෝකය විහිදුවමින් අන්තරීක්ෂයෙන් නැඟෙන සූර්යයා පරයන අංගී රස තථාගතයන් වහන්සේ වෙත නෙත් යොමු කරන්න.

මෙම ගාථාව පන්ථක හිමිවරුන් වැඩ සිටි ස්ථානයට හිමිදිරියේ දර්ශනය වන සිය ගන්ධ කුටියෙන් පිටතට වඩින තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙත පිදෙන පූජෝපහාරයක් වශයෙන් පද බැඳුමක් බව පෙනී යයි.

සිල්වතුන් පිදීම

ධර්ම දේශනාවක් පවත්වන ස්වාමීන් වහන්සේ එය අවසානයේ දී ශ්‍රාවකයින්ට ආශිර්වාද කිරීම වස් “අභිවාදන සීලිස්ස නිච්චං වුද්ධා පචායිනෝ, චත්තාරෝ ධම්මා වඩ්ඪන්තී ආයු වණ්ණෝ සුඛං බලං” යන ගාථාව දේශනා කරති. එහි අදහස “සිල්වතුන්ට වඳින, වැඩිහිටියන්ට පුදන තැනැත්තන්ගේ ආයුෂ, වර්ණය, සැපය හා බලය යන ගුණයන් හතරක් වැඩෙන බව“ යි. එම අවස්ථාවේ දී ශ්‍රාවකයින් විසින් පහත සඳහන් ගාථාව මඟින් උන්වහන්සේ වන්දනා කිරීම යහපත් සම්ප්‍රදායානුකූල චාරිත්‍රයකි.

“සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං

පස්සිතුං වන්දිතුං චරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියා

සද්ධා ශීල දයා වාසං

බුද්ධ පුත්තං නමාමහං

“සිල්වත් වූ ද, ගුණවත් වූ ද, අනුත්තර පින් කෙතක් බඳු වූ ද, ඉතා දුර්ලභ වශයෙන් මා විසින් ලබන ලද දැකීමට ද, වැඳීමට ද සුදුසු උතුම් වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේට මම නමස්කාර කරමි” යන්න යි.

සෙත් පැතීම

ධම්ම පදයේ සහස්ස වග්ගයේ දස වැනියට එන “අභිවාදන සීලිස්ස” නම් වූ ගාථාව බුදු හිමියන් විසින් දේශනා කිරීමට හේතු වූ සිද්ධිය පහත සඳහන් පරිදි වේ.

බ්‍රාහ්මණ යුවලක් අලුත උපන් දරුවා සමඟ බුදුහිමියන් හමුවට ගොස් වන්දනා කිරීමේ දී “බොහෝ ආයු විඳුව“ (දීඝායුකො හොථ) යනුවෙන් ඔවුන් දෙදෙනාට ආශිර්වාද කරන අතර දරුවා ලවා වැන්ද වූ කල නිහඬව සිටි බැවින් ඊට හේතු විමසූ විට වෙසවුණු රජු විසින් අවුරුද්ධ නම් යකකුට සතියක කාලයක් තුළ දරුවා බිල්ලක් වශයෙන් ගැනීමට අවසර දී ඇති බවත්, එබැවින් බිළිඳාගේ ආයුෂ සතියකට සීමා වන බවත් පවසා ඇත. මෙය වැළැක්වීම සඳහා උන්වහන්සේගේ උපදෙස් පරිදි මහා සංඝරත්නය ලවා නො කඩවා සතියක් මුළුල්ලේ දරුවා සමීපයේ තබා පිරිත් දේශනා කරවන ලද අතර, අවසන් අවස්ථාවට බුදු හිමියන් ද වැඩම කොට ඇත. ඒ අනුව බිලි ගැනීමේ වරය පහව ගිය අතර, පිරිත් දේශනාව අවසානයේ දී දරුවා ලවා බුදු හිමියන් වැන්දවූ කල උන්වහන්සේ “දීඝායුකො හොථ” යනුවෙන් ආශිර්වාද කොට යථෝක්ත ගාථාව දේශනා කළ සේක. ආයු වඩ්ඪන නම් වූ එම කුමරු අවුරුදු 120ක් ආයු වැළඳීය.

උඳුවප් අව අටවක

දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අ.භා 02.04 අව අටවක ලබා 12 සිකුරාදා අ.භා 03.03න් ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]