සම්බුද්ධ දේශනාවට අනුකූලව ම ධර්මය දේශනා කිරීම
භික්‍ෂුවගේ කාර්යභාරය යි
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
බුත්තල
ඤාණාධාර හිමි
බුදුරජාණන් වහන්සේ ලොව පහළ වනුයේ ම පරාර්ථකාමීත්වය මුල් කරගෙන ය. නිවන් අවබෝධයට
තරම් මහා පුණ්‍ය මහිමයකින් පිරි සුමේධ තාපසයාණෝ බුද්ධත්වය ප්‍රාර්ථනා කරන ලද්දේ ද ඒ
මහා පරහිතකාමී ගුණයෙනි.
දානාදී සමත්‍රිංශත් පාරමී ධර්ම පූරණයෙන් සිය ගුණ - නුවණ උපරිම තලයට දියුණු කළ
එතුමාණෝ මේ තුන් ලොවට ම මහෝත්තම වූ හ. මෙසේ ලොවුතුරා සම්බුද්ධත්වයට පත් බුදුරජාණන්
වහන්සේ ධර්ම රාජ්‍යයක් ගොඩනැං වූ හ. ධර්ම රාජ වූ උන්වහන්සේ මොහඳුරෙහි ගිලී සිටිය
අයගේ නැණ - නුවණ පාදා දෙනු පිණිස ධර්මය නම් වූ අමා පැනින් පන්සාළිස් වසක් සෙත
සැලසූයේ මහා කරුණා ගුණයෙනි.
තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කරන ලද මුල, මැද, අග යහපත් වූ,
අර්‍ථ ව්‍යඤ්ජන සහිත, සෑම අතින් ම පරිපූර්ණ වූ, සුගත විනය ලොව පැවතීම දෙව්
මිනිසුන්ට හිත සුව පිණිස පවතින බව බුදුරදුන් සුගත විනය සූත්‍රය තුළ පෙන්වා දී තිබේ.
එසේ ම සද්ධර්මයේ පැවැත්ම උදෙසා ධර්මය විවෘත ව තිබිය යුතු බව පෙන්වා දේ.
තථාගතප්පවේදිතො භික්ඛවේ,
ධම්ම විනයො විවටො විරොචති;
නො පටිච්ඡන්නො
මහණෙනි, තථාගත දේශිත ධර්මය හා විනය විවෘත වූ කල බබළයි, වැසුණු කල නොබබළ යි. ඒ අනුව
ධර්මය විවෘත වීමට, ප්‍රකට වීමට ඇති එක ම ක්‍රමය නම් ධර්මය දේශනා කිරීම යි. දහම්
අසන්නට නොලැබීමෙන් සත්වයා පිරිහේ.
බුදුරජාණන් වහන්සේ ලොවුතුරා බුද්ධත්වයට පත්ව, සත් සතිය ගත කිරීමෙන් අනතුරුව ලොව
බලා,
කිච්ඡෙන මේ අධිගතං -
හලංදානි පකාසිතුං
කාම සොක පරෙහෙති -
නායං ධම්මො සුසම්බුධො.
“මා විසින් දුක සේ අවබෝධ කරගත් මේ ධර්මය දෙසීමෙන් ඵලක් නැත. කාමයෙන් හා ශෝකයෙන්
වෙළී සිටින ජනයාට මෙය අවබෝධ කර ගැනීම පහසු නැතැයි” දහම් දෙසීමට මන්දෝත්සාහී වූ සේක,
එවිට සැණෙකින් එහි පැමිණි සහම්පතී බ්‍රහ්මයා,
“දෙසෙතු භන්තෙ, භගවා ධම්මං දෙසෙතු සුගතො ධම්මං, සන්ති සත්තා අප්පරජක්ඛ
ජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො”
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! රාගා දී කෙලෙස් රජස් අල්ප වූ
සත්වයෝ වෙති. ඔවුහු දහම් නො ඇසීම නිසා පිරිහෙති. දහම් වටහා ගැනීමට සමත්හු ලොව
සිටිති යි දහම් දෙසීමට ඇරයුම් කර සිටි බව මහාවග්ග පාලියෙහි සඳහන් වේ.
එහෙත් මාරයා බුදුරදුන්ට පිරිනිවන් පානා ලෙස ඇරයුම් කරන ලද්දේ ඉහත කී
බ්‍රහ්මාරාධනාවටත් පෙර, උන් වහන්සේ අජපාල නුගරුක මුල පස්වැනි සතිය ගත කරන සමයේ ය.
එහිදී බුදුරදුන්ගේ පිළිතුර වූයේ,
“පාපී මාරය, මාගේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා, ශ්‍රාවක, ශ්‍රාවිකාවරු
ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, කෙලෙසුන්ගෙන් මිදී, බහුශ්‍රැත ව, ධර්‍මධර ව,
ධර්‍මානුකූල ව පිළිවෙතෙහි යෙදී, අන්‍යොන්‍ය සුහද සාමීචි ප්‍රතිපදාවෙන් යුතු ව
ධර්‍මානුකූල ව පිළිපදින අතර; ස්වකීය ආචාර්යවාදය හෙවත් තථාගත ධර්මය ඉගෙන දෙසන තුරු,
පණවන - පිහිටුවන - විවරණය කරන - බෙදා දක්වන තුරු, උඩුකුරු කර දක්වන තුරු; ලොව පහළවන
වැරැදි මතවාද සාධක සහිත ව මැනවින් ඛණ්ඩනය කොට, නොමඟ ගිය පිරිස් සුමගට ගනිමින් දහම්
දෙසන්නට සමත් වන තුරු - මම පිරිනිවන් නොපාමි.” යනුවෙන් මහා පරිනිබ්බාණ සූත්‍රය තුළ
සඳහන් වේ.
මෙම ප්‍රකාශයේ ඇති සුවිශේෂත්වය නම්; මෙහිදී උන් වහන්සේ වදාරන්නේ තමන් වහන්සේ දහම්
දෙසා සත්වයන් සසරින් මුදවන තුරු හෝ ශාසනය පිහිටුවන තුරු හෝ පිරිනිවන් නො පාමියි
කියා නොවේ. සිවු පිරිස ම හික්මෙන තුරු, සිවු පිරිස ම ධර්මය ඉගෙන ගන්නා තුරු, සිවු
පිරිස ම පරවාද මථනයෙහි සමත් වනතුරු, සිවු පිරිස ම සත්වයන් සුමගට ගනිමින් දහම්
දෙසන්නට සමත් වන තුරු පිරිනිවන් නොපාන බව ය. උන්වහන්සේ ශ්‍රාවකයන් වෙත පවරා ඇති
වගකීමේ බරපතළකම කොතරම් ද, ශ්‍රාවකයන් වෙත තැබූ විශ්වාසය කෙබඳු දැයි මෙයින් මැනවින්
පැහැදිලි ය. ධර්මය දේශනා නොකිරීම නිසා ධර්මය අතුරුදහන් වන්නේ ය.
ධර්මය සහමුලින් ම සුන්වන, අතුරුදහන් වීමට බලපාන හේතු පහළොවක් අංගුත්තර නිකායේ පඤ්චක
නිපාතයේ සද්ධම්ම සම්මෝස සූත්‍ර තුනක දී සහ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සුගත
විනය සූත්‍රයේ දී වදාරා තිබේ. ඒ අතර ධර්මය දේශනා නොකිරීම ද එකකි. එම කාරණා අතුරින්
ධර්මය සම්බන්ධ විශේෂ කාරණා එකොළහක් පහත දැක්වේ.
භික්ෂූන් වහන්සේ හරිහැටි ධර්මය නොඅසත් නම්, හරිහැටියට ධර්මය ප්‍රගුණ නොකරත් නම්,
හරිහැටි ධර්මය ධාරණය කර නොගනිත් නම්, ධාරණය කරගත් ධර්මවල අර්ථ පරික්‍ෂා නොකරත් නම්,
ධර්මයත්, අර්ථයත් හරිහැටි දැනගෙන ධර්මානුකූල ව නොපිළි පදින්නේ නම් සද්ධර්මය
සහමුලින් ම සුන්වී අතුරුදහන් ව යන්නේ ය. (පඨම සද්ධම්ම සම්මොස සූත්‍රය) ඉගෙන ප්‍රගුණ
කළ ධර්මය සවිස්තර ව අනුන්ට නොදෙසත් නම්, ඉගෙන ප්‍රගුණ කළ ධර්මය සවිස්තර ව අනුන්ට
පාඩම් නොකරවත් නම්, ඉගෙන ප්‍රගුණ කළ ධර්මය සවිස්තර ව සජ්ඣායනා නොකරත් නම්, ඉගෙන
ප්‍රගුණ කළ ධර්මය සිතින් මෙනෙහි නොකරත් නම්, සිතින් නොවිමසත්
නම්, සිතින් නොබලත් නම් සද්ධර්මය සහමුලින් ම සුන්ව අතුරුදහන් ව යන්නේ ය. (දුතිය
සද්ධම්ම සම්මෝස සූත්‍රය) සූත්‍රාන්ත ධර්ම පද (උච්චාරණ) වරදවා ව්‍යඤ්ජන (පදාර්ථ -
වාක්‍යාර්ථ) වරදවා ගැනීම නිසා සූත්‍රාර්ථ වරදවා ගනිත් නම් සද්ධර්මය සහමුලින් ම
සුන්ව අතුරුදහන් ව යන්නේ ය.
බහුශ්‍රැත, නිකාය ග්‍රන්ථ හසල වූ ධර්මධර, විනයධර, මාතිකාධර භික්‍ෂූන් වහන්සේ ඒ
සූත්‍රාන්ත ධර්ම මනාකොට අනුන්ට පාඩම් නොකරවත් නම්, නූගන්වත් නම්, උන් වහන්සේගේ
ඇවෑමෙන් ඒ සූත්‍රාන්ත ධර්ම මුල් සුන් වී පිළිසරණ නැති ව යන්නේ ය.
එයින් ධර්මය සහමුලින් ම අතුරුදහන් ව යන්නේ ය. (තෘතිය සද්ධම්ම සමොස සූත්‍රය)
මේ අනුව ධර්මය දේශනා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව පැහැදිලි ය. ඒ සඳහා පළමු ව ධර්මය
ඉගෙනීම, ප්‍රගුණ කිරීම, වනපොත් කිරීම හා අර්‍ථ විමසීම අනිවාර්ය කටයුත්තක් වන බව ද
පැහැදිලි ය.
ධර්මය ඉගෙනීමේ අවශ්‍යතාව
කෙනකු පැවිදි බව ලබන්නේ සසර දුකින් මිදෙනු පිණිස ය. ඒ සඳහා අනුගමනය කරන පිළිවෙත්
දෙකක් බුදු සසුනේ සඳහන් වේ.
ග්‍රන්ථ ධූරය - වයසින් හා බුද්ධියෙන් ඉගෙනීමට සුදුසුකම් ඇති භික්‍ෂූන් වහන්සේ ධර්මය
හදාරා ප්‍රගුණ කළ යුතු ය.
එය අනුන්ට දෙසමින් උගන්වමින් අනුන්ගේ යහපත ද සිදුකරන අතර, තමන්ගේ විමුක්තිය ද
සිදුකර ගත යුතු ය. එය ඉතා විශිෂ්ට පිළිවෙත බව බුදුරජාණන් වහන්සේ අං.නිකායාගත
ධම්මඤ්ඤූ සූත්‍රය තුළ පෙන්වා දී තිබේ.
විදර්ශනා ධුරය - ග්‍රන්ථ ධුරය පිරීමේ ශක්තිය නැති භික්‍ෂූන් වහන්සේ එක එල්ලේම බණ
භාවනාවේ යෙදෙමින් තම විමුක්තිය සිද්ධ කරගනී.
සද්ධර්මය සංරක්‍ෂණය කිරීමක් වශයෙන් ද ධර්මය ඉගෙනීම අවශ්‍ය වේ. ධර්මය ඉගෙනීම
නොකිරීමෙන් සද්ධර්මය අතුරුදහන් වීමට හේතුවක් වන බව දුතිය සද්ධම්ම සම්මොස සූත්‍රයේ
සඳහන් වේ.
සිවු පිරිස ම ධර්මය ඉගෙන දේශනා කරනු ඇත යන්න බුදුරදුන්ගේ අපේක්‍ෂාව වූ බව බුදු වී
පස්වන සතියේ මාරයා අමතා කළ ප්‍රකාශයේ දී “සකං ආචාරියකං උග්ගහෙත්වා” (තමන්ගේ ආචාර්ය
වාදය ඉගෙන) යනුවෙන් කළ සඳහනින් ප්‍රකට වේ.
පූර්වෝක්ත සූත්‍රාගත කරුණු ඇසුරෙන් පෙන්වා දෙනු ලැබූයේ භික්‍ෂුවගේ කාර්ය ධර්මය
දේශනා කිරීම බවයි. ප්‍රථම රහත් හැට නම ධර්ම ප්‍රචාරයේ යෙදවීමේ පටන් එය දක්නට ලැබේ.
“ධර්ම දූත මෙහෙවර, ධර්ම දූතයන් වහන්සේ” වැනි වචන තුළින් මනාව ප්‍රකට වනුයේ භික්‍ෂුව
යනු බුදුරදුන්ගේ දූතයන් බවත්, එම දූතයා විසින් දහම් පණිවිඩය ගෙන යෑම සිදු කළ යුතු
බවත් ය. මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණ වනුයේ, දූතයා විසින් රජුගේ පණිවුඩය එලෙස ම
ගෙන යා යුතු බවයි.
ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ පණිවුඩය නම් වූ ධර්මය සිය අභිමතය පරිදි නොව, බුද්ධ
දේශනාවට අනුකූලව ම ප්‍රකාශ කළ යුතු බවයි. මිහිඳු මහරහතන් වහන්සේ, දේවානම්පියතිස්ස
රජුට තමන් වහන්සේ ඇතුළු පිරිස හඳුන්වා දුන් පාඨය මෙයට කදිම නිදසුනකි. එසේ ම මෙම
දහම් දේශනා කිරීම, කියා දීම, ඉගැන්වීම සිව් පිරිසේ ම කටයුත්තක් බව ය. |