|
සුවපත් මනසක්
සුවබර දිවියක් -
36 කොටස:
සිහිය බාධාවන් සඳහා විශේෂ විෂහරණය
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත
Mindfulness in plain English
(සතිමත් බව වැඩීම) කෘතියෙනි.
සිහිය විපස්සනා භාවනාවේ කේන්ද්‍රය වන අතර එය මුළු ක්‍රියාවලියේ ම ප්‍රධානතම අංගය
යි. එය මෙම භාවනාවේ අරමුණ මෙන් ම එයට ළඟාවෙන ක්‍රමය ද වෙයි. සිහිය වෙත ළඟා වන්නේ
සිහිය පවත්වා ගැනීම තුළින් ම ය. සිහිවිකල් නොවීම හෝ අතපසු නොවීම යන තේරුම සහිත
අප්‍රමාද යන පාලි වචනයේ අරුත ද සිහිය යි. තමාගේ හිතේ සිදුවන දේ පිළිබඳ ව නිතරම නො
නවත්වා ම සෝදිසියෙන් සිටින්නා ඉතාමත් යහපත් ප්‍රකෘති සිහිය අත්කර ගනියි.
“සති” යන පාලි වචනයෙහි සිහිකිරීම යන අර්ථය ද ගැබ්ව ඇත. එය අතීත කාරණා හෝ රූප
මතක්වීම නොව පවතින හා නො පවතින දේ පිළිබඳ, වැරැදි හා නිවැරැදි දේ කුමක්ද?, අප කුමක්
කරමුද? හා අප කෙලෙස එය කරමුද? යන්න පිළිබඳව පැහැදිලි, ඍජු, වචනයෙන් තෙර දැනීමයි.
සිහිය, නියමිත වේලාවට, නියමිත අරමුණක් වෙත කාර්යය කිරීමට අවශ්‍ය ශක්තිය නියමිත
ප්‍රමාණය යෙදවීමට භාවනානුයෝගියාට මතක් කිරීමක් කරයි. ශක්තිය මනාව යෙදවූ විට භාවනාවේ
යෙදෙන්නා නිරන්තරයෙන් ම සංහිඳීයාවකින් හා සෝදිසියකින් සිටියි. මෙම තත්ත්වය පවත්වා
ගන්නා තුරු “බාධාවන්” හෝ “මානසික නොරිස්සුම්” යන ස්වභාවයන් පහළ නොවෙයි. එනම්,
තණ්හාව, වෛරය, රාගය හෝ කුසීතකම මතු නොවෙයි.
නමුත් මනුෂ්‍යයින් ලෙස අපි සෑම දෙනා ම වරදෙහි බැඳෙමු. අපි බොහෝ දෙනෙක් නැවත නැවතත්
වැරැදි කරමු. අවංක උත්සාහයක් දැරුව ද සමහර වේලාවල දී භාවනානුයෝගීහු තමන්ගේ සිහිය
ගිලිහී යාමට ඉඩදී සාමාන්‍ය මිනිස් දුර්වලකම් අතර සිරවෙති. එම වෙනස දකින්නේ සිහිය
යි. එයින් ගොඩ ඒමට අවශ්‍ය ශක්තිය යෙදවීමට සිහිය මතක් කරයි. මෙම වැරැදි යළි යළිත්
සිද්ධ වූව ද පුහුණුවත් සමඟ ඒවා සිදුවීමේ වාර ගණන ක්‍රමයෙන් අඩුවනු ඇත.
මෙවන් මානසික කෙලෙස්, සිහිය විසින් ඉවත් කළ විට යහපත් චිත්ත ස්වභාවයන් පහළ වනු ඇත.
වෛරය මෛත්‍රියට ඉඩ සලසයි. ආශාව උපේක්ෂාවෙන් දුරුවෙයි. මෙවන් වෙනස්කම් දකින්නේ ද
සිහිය විසින් ම ය. එය මෙවැනි යහපත් චිත්ත ස්වභාවයන් පවත්වා ගෙන යෑමට, අවශ්‍ය ඉහළ
මානසික තීව්‍රතාවයක් පවත්වා ගැනීමට විපස්සනා භාවනාවේ යෙදෙන්නන්ට සිහි ගන්වයි.
සිහිය, දයාව හා ප්‍රඥාව වර්ධනය කරයි. සිහිය නොමැති ව අපට පූර්ණ පරිණත බවට පැමිණිය
නොහැක.
සුන්දර, මිහිරි අත්දැකීම් සේ දකින දේ බාර ගන්නා හා අවලක්ෂණ, අප්‍රසන්න දේ
ප්‍රතික්ෂේප කරන මානසික යාන්ත්‍රණයක් සිතේ ගැඹුරින් පවතියි. අප මඟහැරීමට පුරුදුවන
චිත්ත ස්වභාවයන් වන වෛරය, ආශාව, ද්වේශය හා ඊර්ෂ්‍යාව මතු කරන්නේ මෙම යාන්ත්‍රණය
විසිනි. අප ඒවා මඟ හැරීමට තීරණය කරනුයේ ඒවා වචනාර්ථයෙන් නපුරු නිසා නොව ඒවායේ තිබෙන
බල කරන සුළු ලක්ෂණ හේතුකොට ගෙන ය. ඒවා මනස මුළුමනින් ම ග්‍රහණය කර, සම්පූර්ණ අවධානය
ම අල්ලා ගන්නා බැවිනි. මේ සිතිවිලි නො නවත්වා කුඩා චක්‍ර මෙන් ගමන්කරන නිසාත්,
පවතින යථාර්ථයෙන් අපව බොහෝවිට වෙන්කරන නිසාත් ය.
සිහිය පවතින විට මෙම බාධාවන්ට නැඟීමට ඉඩක් නැත. මේ මොහොතට දක්වන අවධානය සිහිය
බැවින් බාධාවන් ඇතිකරන මුළා වූ මනසට එය ඍජුව ම විරෝධය දක්වයි. ප්‍රතික්ෂේප කිරීම්,
අල්ලා ගැනීම්, බැඳීම් යන දේ මනස පිරෙනුයේ, භාවනානුයෝගීන් වන අප සිහිය පවත්වා නො ගත්
විට ගැඹුරින් ඇති යාන්ත්‍රණය බලවත්වීම හේතුවෙනි. එවිට ප්‍රතිරෝධය අපගේ දැනීම
අපැහැදිලි කරයි. අප වෛරය, තණ්හාව වැනි සිතිවිලි සමඟ පටලැවී සිටින විට, සිදුවන වෙනස
අපට නො පෙනෙයි. නුපුහුණු පුද්ගලයකු මෙම තත්ත්වය නො කඩවා ගෙන යන අතර, පුහුණු
භාවනානුයෝගියා කඩනමින් සිදුවන දෙය වටහා ගනියි. වෙනස සනිටුහන් කරගන්නේ සිහිය විසිනි.
ලැබූ පුහුණුව මතක් කරන සිහිය අවධානය එක්තැන් කර වියවුල් පලවා හරියි. බාධාවන් පැන නො
නගින්නට සිහිය නොකඩවා පවත්වා ගැනීමට ප්‍රයත්න දරන්නේ ද එය ම ය.
එබැවින්, සිහිය බාධාවන් සඳහා විශේෂ විෂහරණයකි. එය රෝගය වළක්වන මාර්ගය හා ප්‍රතිකාරය
යන දෙකම වෙයි. පූර්ණ වශයෙන් වර්ධනය වූ සිහිය, ලෝකයේ ඇති කිසිවකට බැඳීමක් ඇතිකර නො
ගන්නා, කිසිවක් කෙරෙහි ඇලීමක් නො දක්වන ස්වභාවයකි. මෙය පවත්වා ගත හැකි නම් මිනිස්
දුර්වලතාවලින් ජය ගැනීමට හා බාධාවලින් නිදහස් වීමට වෙනත් උපක්‍රමයක් අනවශ්‍යයි.
සිහිය ගැඹුරු දැනීමයි. මතකයන්ට හා සංකල්පයන්ට යටින් තිබෙන ගැඹුර සිහිය දකියි. මෙවන්
ගැඹුරු නිරීක්ෂණය ව්‍යාකූලතාවයෙන් තොර නිසැක බවක් ඇති කරයි. කිසිදා පසුනොබසින හෝ
හැරීනොයන, නො සැලෙන හා නො වෙනස් වන අවධානයක් ලෙස සිහිය මූලික වශයෙන්ම පෙනී සිටියි.
මෙම නො කැළැල් විමර්ශනාත්මක දැනීම, මානසික බාධාවන් වළක්වනවා පමණක් නොව, ඒවායේ නියම
ක්‍රියාකාරිත්වය පෙන්වා, ඒවා විනාශ කර දමයි. සිහිය, සිතේ තිබෙන ක්ලේශයන් බල රහිත
කරයි. එහි ප්‍රතිඵලයක් වන්නේ නොකිලිටි, ශක්තිමත් හා ජීවිතයේ කම්කටොලුවල දී නො සැලෙන
සිතක් උරුමවීමයි. |