ගිනිගෙන දැවෙන සත නිවාලනමෙත් සිත
ලස්සන රූපයක් තියෙන කෙනෙක් දැක්කොත් අපි කියනවා, “එයා දිහා එක පාරක් බලලා මදි. තව
පාරක් හැරිලා බලන්න හිතෙනවා” කියලා. එහෙම කෙනෙක් ඇසුරු කරනකොට, රූපය ලස්සන වුණාට
හිත ලස්සන නැත්නම් ඒ කෙනාව ආයේ දකින්නවත් කැමැත්තක් ඇතිවෙන්නේ නෑ.
නමුත් රූපය කෙසේ වෙතත් ලස්සන හිතක් තියෙන කෙනෙක් කියලා දැනුණොත් අපිට ඒ කෙනා නැවත
නැවත ඇසුරු කරන්න හිතෙනවා. දන්නෙම නැතුව අපි තුළ මිත්‍රත්වයක් ගොඩනැඟෙනවා.
තරහෙන්, ද්වේෂයෙන් දැවෙන කෙනෙක් මුණගැහෙන්න අපි කැමැති නෑ. හැබැයි දුටු පමණින් මුළු
හදවතින් ම හිනාවෙලා සිනහවකින් සංග්‍රහ කරන අය අපිට පි‍්‍රයයි. අන් අයට අපි ගැනත්
එහෙම තමයි. ද්වේෂය නමැති සතුරා අප සමඟ මිතුරු වූ විට අපිට අපි ගැන තියෙන කල්පනාව
අඩුයි. අන් අයගේ ප්‍රතිචාරත් අප ව මඟහැර යයි.
දැවෙන සිතක් නැතුව නිවෙන සිතක් ඇති කර ගන්න, ද්වේෂය නමැති අති භයානක රෝගයට තුන් ලොව
උතුම් ශල්‍ය වෛද්‍යවරයාණන් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අතිශය ප්‍රණීත
ඖෂධයක් අපිට තිළිණ කළා. හැබැයි ඒ ඖෂධය මතක් වෙන වෙලාවට ගන්න ඕන එකක් නොවෙයි. හිටගෙන
ඉද්දිත්, හිඳගෙන ඉද්දිත්, ඇවිදින වෙලාවෙත්, නො නිදා සිටිද්දිත් භාවිතයට ගන්න ඕන. ඒ
තමයි, සිත් ගිනි නිවන මෙත් සිත. මේ හැම මොහොතක ම සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ
මෙත් සිත පවත්වන්න පුළුවන් නම් ඒ කෙනා හරියට මනුලොව ඉන්න බ්‍රහ්මරාජයෙක් වගේ.
යම් කෙනෙක් පාපී අකුසල්වලින් නිදහස් වූ සිතින් හැම දිශාවට ම මෙත්තා, කරුණා, මුදිතා,
උපෙක්ඛා නම් වූ සතරබ්‍රහ්ම විහරණය පතුරවමින් වාසය කරනවා නම්, එනම් මෛත්‍රී සහගත
සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරනවා. ඒ වගේ ම දෙවැනි, තුන්වැනි දිශාවට, දස
දිශාවට, හැම තැනට ම , හැම ලොවකට ම, විපුල වූ, ප්‍රමාණ රහිත වූ, අවෛරී වූ, පීඩා රහිත
වූ මෙත් සිත ( ඒ අයුරින් ම මුදිතාව, කරුණාව සහ උපේක්ෂාව) පතුරුවාගෙන වාසය කරනකොට
බුදුරජාණන් වහන්සේ
පෙන්වා දුන්නා ඔහු මෙන්න මේ වගෙයි කියලා. සීතල වතුර තියෙන,
පෑදුණු වතුර තියෙන, මිහිරි වතුර තියෙන, මඩ නැති ඉවුරක් තියෙන ලස්සන පොකුණක්
තියෙනවා. කොයි දිශාවෙන් වුවත් හොඳට ම පිපාසෙන්, ක්ලාන්තය වූ කෙනෙක් ඇවිදින් ඒ
පොකුණේ වතුර බීපුවහම පිපාසෙ නැතිවෙලා යනවා වාගේ, පෑවිල්ලෙන් ඇති වූ පීඩාව නැතිවෙලා
යනවා වාගේ, සතර බඹ විහරණයෙන් යුතු කෙනා ලොව ම සුවපත් කරනවා.
දෙමවුපියන්ට කියනවා බ්‍රහ්මයින් වගේ කියලා. ඒකට හේතුව, බඹලොව සිටින බ්‍රහ්මයින්
මෙත් කරුණා ආදි විහරණයන්ගෙන්ම යි නිතර වාසය කරන්නේ. මවුපියන් තම දරුවන් ගැනත් ඒ
විහරණය නිතැතින්, නිරායාසයෙන් ම පවත්වනවා. අපිට මුණගැහෙන සමහර පුද්ගලයන් ගොඩක්
සතුටින් ජීවිත ගත කරනවා වගේ පෙනුනත් ඒ අයත් සමඟ කතා කරන විට තේරෙනවා ඔවුන්ගේ ජීවිත
දුකින් පිරිලා බව. මහමඟ ගමන් බිමන් යන කී දෙනෙක් නම් පීඩිත සිත්වලින් කටයුතු කරනව
ද? ඒ හැමෝම ගැන අපිට හිතන්න පුළුවන් නම්, ‘සැමට සැපත ඇති සුවපත් සිත් ඇති වේවා!’
කියලා, ඒ අපේ මෙත් සිත. මේ මොහොතේ අපි යම් සැනසීමකින් හිටියත් රෝහල්වල ගිලන් ඇඳන්
මත කී දෙනෙක් මාරාන්තික වේදනා සමඟ සටන් කරනව ද? සතා සිව්පාවුන් පවා බිය
තැතිගැනීම්වලින් ජීවත් වෙන මේ මොහොතෙත් ‘සියලු සත්වයෝ සුවපත් වේවා’ කියලා හිතන්න
පුළුවන් නම්, ඒ තමයි මෙත් සිත.
එකම එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් තම දිවි දෙවෙනි කොට දරුවා ආදරයෙන් රැකබලා ගන්නවා
වාගේ, සියලු සත්වයන්ට එක සේ සෙනෙහසක්, කරුණාවක්, මිතුරු බවක් ඇති ලස්සන හිතක්
පවත්වන්න පුළුවන් නම්, ඒ කෙනාට හතුරෝ නැති නිසා බිය, තැතිගැනීම නැහැ. එය
හිතටත් ඒකාන්ත සැපයක් ම යි. අනන්ත සසරේ මවක්, පියෙක් නොවූ කෙනෙක් නැති නිසා ම එලෙස
සිතා හෝ සියලු සත්වයන්ගේ යහපත කැමැති ව වාසය කරයි නම්, ඒ අපේ මෙත් සිත ගිනිගෙන
දැවෙන සිතත් ගතත් දෙක ම නිවා සිහිල් කරන, සීතල වතුරක් මෙන් වූ මෙත් සිත ඒ සිසිල
අපිට විතරක් නෙවෙයි, වටේ ඉන්න අයටත් දැනෙනවා. හරියට මේ වගේ
දවසක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වනගත කුටියක වාසය කරලා වස් අවසන් වෙලා පිටතට
වඩින විට කිසිවෙක් හඬන ශබ්දයක් මේ ස්වාමින් වහන්සේට අහන්න ලැබුණා. ඒ
වෘක්ෂයක වාසය කළ දෙව්දුවක්. හැඬීමට කරුණු විමසා සිටිද්දී දෙව්දුව කියා සිටියා,
“ඔබ වහන්සේ මෙතැනට වඩින්න කලින් මෙතැන යුද පිටියක් වගේ. මේ අවට අමනුෂ්‍යයෝ බොහොමයක්
සිටිනවා. මොවුන් එකිනෙකා වෛරයෙන් දැවෙනවා. අරගල කරනවා. එහෙත් ඔබ වහන්සේ පැමිණ
මෛත්‍රිය පැතිරවීමට පටන්ගත් විට ඒ ආනුභාවයෙන් මොවුන් සමඟි වුණා. දැන් හැමදෙනා ම
සාමයෙන්, සමඟියෙන්, සංසිඳීමෙන් වාසය කරනවා. මම මේ හඬන්නේ ඔබ වහන්සේ පිටව ගිය විට
යළිත් පෙර තත්ත්වය ම උදා වේවී යන බියෙන්.”
දෙව්දුව කියූ කරුණූු ඇසූ ස්වාමීන් වහන්සේ දිගට ම ඒ වනයේ ම වැඩ වාසය කළා. ඒ පරිසරය
යහපත් ලෙස වෙනස් වුණේ මෙත් සිත නිසා ම යි.
වෛරය, තරහව, ඊර්ෂ්‍යාව තියෙන හිතකට එය ඒකාන්ත දුකක් ම යි, පීඩාවක් ම යි. ඒ
කරුණුවලින් තොර සිත තමයි දුක් පීඩාවලින් තොර වෙන්නේ. ඒ කෙනා සුව සේ ජීවත් වෙනවා.
යම් කෙනෙක් ළඟ දෙපැත්ත කැපෙන කඩුවක් තියෙනවා නම් යම් සතුරෙක් විත් මේ කඩුව
ඇල්ලුවොත් එහි හානිය සිදුවන්නේ එහි අයිතිකරුව ට නොවෙයි, විරුද්ධවාදියාට යි. මෙලෙස
මෙත් සිත නමැති ආරක්ෂක ආයුධය භාවිත කරන කෙනා ඉදිරියට යන යම් මනුෂ්‍යයෙක් වේවා’
අමනුෂ්‍යයෙක් වේවා ඔහු ම යි පීඩාවට පත්වන්නේ.
මෙත්තානිසංස සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.
“මෛත්‍රී චිත්ත විමුක්තිය භාවිත කිරීමෙන්, සේවනය කිරීමෙන්, බහුල ව ප්‍රගුණ
කිරීමෙන්, නැඟ යා හැකි වාහනයක් සේ කිරීමෙන් එකොළොස් ආනිශංසයන් කැමති විය යුත්තේ ය.
සුව සේ නිදයි. සුව සේ අවදිවෙයි. පවිටු සිහින නො දකියි. මිනිසුන්ට පි‍්‍රය වෙයි.
අමනුෂ්‍යයින්ට පි‍්‍රය වෙයි. දෙවියන් විසින් රකියි. වස විස, අවි ආයුධවලින් විපත්
නොවේ. සිත ඉක්මනින් සමාධිමත් වෙයි. මුහුණේ පැහැය ප්‍රසන්න වෙයි. සිහි මුළාව කළුරිය
නො කරයි. මගඵල නො ලැබුවොත් බඹ ලොව උපදී. පින්වත් මහණෙනි, යමෙක් උදෑසන, දහවල, සවස යන
තුන් කාලයෙහි ම බත් හැලි සියය බැගින් දන් දෙයි ද එයින් ලැබෙන පිනට වඩා, යමෙක් උදේ
සවස ගව දෙනකුගේ කිරි දොවන තරම් කාලයක් මෙත් සිත වඩයි ද එයින් ලැබෙන පින මහත්ඵලයි.”
භාග්‍යවතුන් වහන්සේගේ සොඳුරු උපමාවලින් මෙත් සිත ගැන මෙසේ ද වදාළා.
“තාරකාවල තිබෙන දීප්තියත්, ප්‍රභාෂ්වර බවත්, සඳේ තිබෙන ප්‍රභාෂ්වර බවින් දහසයෙන්
පංගුවක් තරම්වත් වටින්නෙ නෑ වගේ, මේ මෛත්‍රි චිත්ත විමුක්තිය අන්‍ය සියලු
පුණ්‍යක්‍රියා පරදවලා බබළනවා.”
සංයුත්ත නිකායේ කුල සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා. කාන්තාවන් පමණක් ඉන්න නිවෙසකින්
හොරුන් පහසුවෙන් ම සොරකම් කරනවා. එහෙත් පිරිමි ඉන්න නිවෙසකින් හොරකම් කිරීම ලේසි නෑ
වගේ, මෙත් සිත බහුල ව වඩන විට කිසිම අමනුෂ්‍ය බලවේගයකට ළං විය නොහැකි බව.
භාග්‍යවතුන් වහන්සේ පෙර ආත්මභාවයක දී සත් වසරක් මෙත් සිත දියුණු කළ පින් බලෙන්
නැසෙන, වැඩෙන කල්ප සතක් පුරාවට ම මනුලොවට නො පැමිණ දෙව්ලොවත්, බඹලොවත් වාසය කළ සේක.
තිස් හය වතාවක් සක් දෙව් පදවිය ද අනේකවාර සක්විති රජ පදවිය ද ලැබු සේක.
මෙලෙසින් යම් කෙනෙක් සිහිනුවණ හොඳින් පිහිටුවා අප්‍රමාණ මෙත් සිත වඩනවා නම් ඔහු
කෙලෙසුන්ගේ නැසීම දකිනවා. ඒ සිතේ සසරට බැඳ තබන බැඳීම් තුනී වෙලා යනවා. එක ම එක
ප්‍රාණියෙක් කෙරෙහිවත් හිත කිලිටි කර ගන්නේ නැත්නම්, මෙත් සිත ම පතුරුවනවා නම් ඒ
නිසා ම ඔහු ධර්මයේ හැසිරෙන්න දක්ෂ කෙනෙක් වන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
අපිත් මෙවන් සොඳුරු මෙත් සිත අත්නොහැර පුරුදු කරමින් ලෝ සත වෙත සැපය, සුවය පතමින්
සුවපත් සිතින් වාසය කරමු. |