පල්ලේකන්දේ
රතනසාර මහ නා හිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ
අභිනව මහා නායක ධුරයට පත්වෙති
වලස්මුල්ල පල්ලේකන්දේ උඩහේනේ දී උපත ලැබූ වෙල්හේනගේ රත්නසූරිය කුල දරුවාගේ මවුපියන්
වූයේ වෙල්හේනගේ ගුණදාස හා එම්.ඩී. ගිමාරහාමී යන දෙදෙනාය.
මෙම කුලදරුවා උපත ලැබුයේ 1953 ජනවාරි මස 07 වැනි දා ය. වලස්මුල්ල උතුරු
කණුමුල්දෙණිය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රත්නසූරිය දරුවා 1968 මැයි 10
වන දින පද්දපිටියේ ගුණරතන, පද්දපිටියේ වජිරඥාන යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන්
රතනසාර නමින් පැවිදි බිමට පත්විය.
පැවිදි බිමට පත්වීමෙන් පසු ඕපනායක අභයරාජ පිරිවෙනෙන් හා කොළඹ මරදානේ ශ්‍රී ලංකා
විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ. 1972 ජූලි මස 20 වන දින වලස්මුල්ල විජයසිරිපුර ශ්‍රී
පුෂ්පාරාම බද්ධ සීමා මාලකයේ දී අමරපුර ශ්‍රී වජිරවංශ මහා නිකායේ විංශද්වර්ගික කාරක
මහා සංඝ සභාව වෙතින් උපසපන් බව ලබා ගත්හ.
උසස් අධ්‍යාපනය සඳහා 1974 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර, එම වර්ෂයේ දී ම
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවේ ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයට
(ලුමුම්බා) ප්‍රවිශ්ට වී උසස් අධ්‍යාපනයේ නිරත වූහ. ඉතා දක්ෂ ලෙස අධ්‍යාපනය ලැබූ
පල්ලෙකන්දේ හාමුදුරුවෝ එහිදි ආචාර්ය උපාධිය හිමිකර ගත්හ.
රුසියාවේ දී අධ්‍යාපනය ලැබූ කාලය තුළ ගුරු සිසු දෙපක්ෂයේ ම ප්‍රසාදය දිනාගත්
පල්ලෙකන්දේ රතනසාර තරුණ හිමියෝ ඇලෙක්සැන්ඩර් සිරිගේවිච් පුෂ්කින් මහතා රුසියන්
භාෂාව ඉගැන්වීම හා ප්‍රචාරය වෙනුවෙන් කැපවූවන් සඳහා පිහිටුවන ලද රුසියාවේ උසස් ම
සම්මානය ලෙස සැලකෙන පුෂ්කින් සම්මානයෙන් සම්මානිත වූහ. 1967-77 කාලය තුළ ජනතා
මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් පදවිය හෙබවූ අතර 1977 දී කියුබාවේ
පැවැත්වූ තරුණ සම්මේලනයට ද සහභාගී වූහ. ගතවූ කාල පරාසය තුළ රුසියාවේ වෛද්‍ය සභාවේ
සම්මානය 2006 දී ශ්‍රී ලංකා රුසියන් මිත්‍රත්ව සංකේතය හා රුසියාවේ ගෞරවනීය ආගන්තුක
පුරවැසියාවීම 2007 දී රුසියාවේ තුමෙන් ප්‍රදේශයේ සාම්ප්‍රදායික වෛද්‍ය සභාව මඟින්
පිරිනමන ශ්‍රී ලංකා රුසියන් මිත්‍රත්ව සම්මානය ආදී සම්මාන රැසක් හිමි කර ගත් එකම
බෞද්ධ භික්ෂූන් වහන්සේ බවට පත්වීමේ භාග්‍යය උදා විය.
1975 සිට ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් වශයෙන් ද 1994 දී
අන්තර් ආගමික සාම පදනමේ ආරම්භක ලේකම් හා ඉන්පසු එහි විවිධ තනතුරු ද ජාතික සාම
මණ්ඩලයේ සම සභාපති ලෙස ද, ජාතික සම්පත් සුරැකීමේ භික්ෂු සංවිධානයේ සභාපති ඇතුළු
සාමය හා පරිසරය වෙනුවෙන් කැපවූ සංවිධාන හා ආයතන රැසක තනතුරු හොබවති.
ශ්‍රී ලංකා රුසියන් මිත්‍රත්වය දියුණු තියුණු කිරීම සඳහා රුසියාවට ජය ශ්‍රී මහා
බෝධි ශාඛාවක් වැඩම කරවීම, රුසියන් ජාතිකයන් පැවිදි උපසම්පදා කිරීම හා වරින්වර ශ්‍රී
ලංකාවේ සුප්‍රසිද්ධ භික්ෂූන් ලවා භාවනා ක්‍රම ඉගැන්වීම, රුසියාවේ හා බුරුමයේ බෞද්ධ
මධ්‍යස්ථාන ආරම්භ කිරීම, ශ්‍රී ලාංකික භික්ෂූන්ට රුසියාවේ අධ්‍යාපනික ශිෂ්‍යත්ව
පිරිනැමීම, රුසියානු සංචාරකයන්ට ශ්‍රී ලාංකික බෞද්ධ උරුමයන් පිළිබඳ ස්ථාන
හඳුන්වාදීම හා මාර්ගෝපදේශන සැපයීම ආදිය ප්‍රශංසා කටයුතු ක්‍රියාමාර්ග අතර කිහිපයක්
පමණි.
ශ්‍රී ලංකා අමරපුර වජිරවංශ පාර්ශ්වයේ කාරක සභික ධුරයට පළමුවෙන් ද, 1992 සිට එහි මහ
ලේකම් ධුරයට පත්වීමෙන් ද නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කොට ඇත. ඒ
නිසාම විශ්ව සාහිත්‍ය භාෂා විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී වජිරවංශාලංකාර යන ගෞරව නාමය
තම පාර්ශ්වයෙන් ද සද්ධම්මාභිවෘද්ධි පෝතක පණ්ඩිත යන ගෞරව නාමය බුරුමයේ (මියන්මාර්)
මණ්ඩලේ නුවර සංඝ සභාවෙන් ද පිරිනමන ලදහ.
තමන් වහන්සේ විහාරාධිපතීත්වයෙන් පැවති විහාරස්ථාන වැඩිදියුණු කිරීමටත්, තම
ශිෂ්‍යයන් 35 දෙනකු පෝෂණය කිරීමටත් තම පෞද්ගලික ධනය හා රුසියානු පරිත්‍යාගශීලීන්ගේ
ධනය කෝටි ගණනක් වැය කොට ඇත. තම පාර්ශ්වයේ හා පාර්ශ්වයේ නොවන විහාරස්ථානවල
අභිවෘද්ධිය වෙනුවෙන් වැය කළ ධනය ද ඒ හා සමාන ය. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්
වහන්සේ වටා ඉදි කෙරුණු රන් වැට සඳහා ලක්ෂ 25ක් හා එහි ආගන්තුක භික්ෂු නේවාසිකාගාරය
සඳහා ලක්ෂ 25ක් ආධාර කිරීම ද ඉහත කී කටයුතු අතර සුවිශේෂී ය. පොදුවේ ගත් කල රුසියන්
සංචාරකයන් මඟින් තම මවුබිමට සපයා දෙන සම්පත් වසරකට කෝටි ගණනකි.
සාමය හා සහජීවනය වෙනුවෙන් තායිලන්තය, ඉන්දියාව, නේපාලය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය,
හොංකොං, එංගලන්තය, අමෙරිකාව, කියුබාව ආදී විදේශීය රටවලට වැඩම කොට ඇත.
මිදලන කනිෂ්ඨ විද්‍යාලය, ශ්‍රී වජිරඥාන විදර්ශනා භාවනා මධ්‍යස්ථානය ආදී පොදු
ස්ථානවලට ආධාර උපකාර කළා පමණක් නොව, දුකේදී විපතේ දී පෞද්ගලික ව පිහිටු වූ
පුද්ගලයන්ගේ සංඛ්‍යාව අපමණ ය.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී ධුරය වසර පහක් දැරූ උන්වහන්සේ එම
කාලය තුළ වැල්ලවත්තේ පිහිටි නිකාය මූලස්ථානය ඉදිකරවීම, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය
සමඟ සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම, ඉන්දීය බෞද්ධ සමිති සමාගම්වල සභාපති ධුරය දැරීම
වැනි සුවිශාල ශාසනික මෙහෙවරක නිරත වූහ. රුසියාවේ පුෂ්කින් භාෂා විශ්වවිද්‍යාලයෙන්
රුසියන් භාෂාව පිළිබඳ ව සම්මානිත මහාචාර්ය ධුරයෙන් ද, පල්ලේකන්දේ රතනසාර නාහිමියන්ට
රත්නපුර ගොඩකවෙල වැල්කෙනියාය ශ්‍රී සුමනාරාමයේ දී ශ්‍රී ලංකා අමරපුර නිකායේ වජිරවංශ
පාර්ශ්වයේ මහානායක ධුරය පිරිනමා ඇත. අතිගරු මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර මහා නායක
මාහිමිපාණන් වහන්සේට තව තවත් ලෝක ශාසනික අභිවෘද්ධිය සාදාලන්නට තෙරුවන් බෙලෙන්
ශක්තිය ධෛර්යය ලැබේවා.
ශාස්ත්‍රපති පණ්ඩිත
ගලගම ධම්මරංසි හිමි |