[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සොබා දහමේ දරුණු ප්‍රතිචාර අයහපත් මිනිස් ක්‍රියාකාරකම්වලටයි

සොබා දහමේ දරුණු ප්‍රතිචාර අයහපත් මිනිස් ක්‍රියාකාරකම්වලටයි

මේ දිනවල ගංවතුරින් වගේම නාය යෑම්වලින් අපේ රටේ ජනතාව බොහොම පීඩාවට පත්වෙලා ඉන්නවා. හරියට කෑම ටිකක්, බොන්න වතුර ටිකක් වගේම අදින්න ඇදුමක් නෑ.

ජීවත්වූ නිවහනත් කැඩී බිඳී ගිහින්. මුළු ජීවිත කාලයේ ම හරිහම්බ කරපු දේ පොළවට සමතලා වෙලා. ඇති හැකි අය වගේම කරුණාවන්ත හැමෝම අසරණ වුණ අයට උදව් කරනවා. බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙලා ගුණ ධර්ම දියුණු කර ගත්ත ජනතාවක් ඉන්න රටක් විදිහට අපි හැමෝම අනෙකාගේ දුකේ දී දුකට පත්වෙනවා. ඇතැම් කෙනෙක් තමන්ගේ ඉඩකඩම් පරිත්‍යාග කරනවා. සමහර කෙනෙක් වැඩියෙන් තිබෙන ගෙය පරිත්‍යාග කරනවා. රටේ අනෙක් හැමෝම වගේ නැගිටින්න පුළුවන් වෙනකම් පීඩාවට පත් ජනතාවට පිහිට වෙන්න ඕන කියලා කෑම බීම සකසලා දෙනවා. ඇඳුම් පැළඳුම් දෙනවා. ඇතැමෙක් විපතට පත් ඉගෙන ගන්න

ළමයින් වෙනුවෙන් අවශ්‍ය පොත් පත් ඇතුළු පාසල් උපකරණ අරං දෙනවා.

මේ හැම දෙයකට ම භික්ෂූන් වහන්සේ වගේම වෙනත් ආගමික් නායකයින්, රජයේ නිලධාරීන්, පෞද්ගලික හා රජයේ ආයතන ප්‍රධානීන් ඇතුළු සමාජ ක්‍රියාකාරී හැමෝම නායකත්වය ගෙන කටයුතු කරනවා.

අපේ රටේ මිනිසුන්ගේ කාරුණික ගුණය, එකිනෙකාට උදව්කිරීම, රටේ සුන්දරත්වය ආදී බොහෝ කටයුතු දිහා අවධානයෙන් හිටිය අසල්වාසී රටවල් බොහෝ ප්‍රමාණයක් වගේම ලෝකයේ විවිධ රටවලින් ආධාර ගෙන ඇවිත් උදව් කරනවා. බෙහෙත් ද්‍රව්‍ය, කැඩී බිඳී ගිය පාලම් සකස් කරන්න අවශ්‍ය ද්‍රව්‍ය, වියළි ආහාර වර්ග ඇතුළු ජනතාවට අවශ්‍ය කරන හැම දෙයක් ම වගේ පරිත්‍යාග කර තිබෙනවා දකිනවා. ඒ විතරක් නෙවෙයි ඒ ඒ රටවලින් පැමිණි හමුදා නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් ඇතුළු පිරිස තමන්ගේ ශ්‍රමයෙන් ද දායකත්වය ලබා දෙනවා. අපේම මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන, කරුණා ගුණය පිරුණු හැමෝම එකතු වෙලා ගංවතුරින් යටවුණු පාසල්, රෝහල්, කාර්යාල ඇතුළු පොදු ස්ථාන පිරිසුදු කිරීම් කටයුතු කරවා. ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍රත්, පිරිසුදු කිරීම් ද්‍රව්‍යත් අරගෙන ගිහින් තමන්ම උයාගෙන කෑම බීම සපයාගෙන ඒ පිරිසුදු කිරීම් කටයුතු සිදු කරනවා. තවත් සමහරු ඒ පළාත්වලට ගිහින් කැඩිලා බිදිලා ගියපු නිවාසවල වහල සකස් කරලා, බිත්ති තීන්ත අලේප කරලා නිවස ලස්සන කර නැවත සකසලා දෙනවා. තවත් සමහරු මඩවතුරවලින් පිරී තියෙන ළිං සුද්ධ පවිත්‍ර කර සකසලා දෙනවා. තවත් සමහරු තමන්ගේ වාහන ඒ වෙනුවෙන් ම යොදවලා. සමහරු තමන්ගේ වාහනයෙන් තමන් ම සේවය ලබා දෙන්න ඇපකැපවෙලා ඉන්නවා. මේ හැම කෙනාම මේ කරන්නේ කීර්තියවත්, වරප්‍රසාදවත් බලා ගෙන නෙවෙයි. ඒ අයගේ හදවත්වල කරුණා ගුණය පිහිටා තියෙන නිසා. වෙසක් එකට, පොසොන් එකට හන්දියක් හන්දියක් ගානේ දන් දෙන, හැම පෝයකට ම පන්සලකට ගොඩවෙලා සිල් සමාදන් වන, පොසොන් එකට ලංකාවෙන් භාගයක් ම අනුරාධපුර පුද බිම පිරී ඉතිරී යන කරුණා ගුණය තියෙන, තමන් අතට ගත්ත බත් පත පවා අනෙකාගේ කුසගින්න වෙනුවෙන් පරිත්‍යාග කරන ජනතාවක් ඉන්න රටක අපි හැමෝම ජීවත් වෙන එක ගැන සතුටට කාරණයක් වගේම ආඩම්බරයට කාරණයක්.

මේ ගුණධර්ම අද ඊයේ ඇතිවුණු ඒවා නම් නෙවෙයි. අවුරුදු දහස් ගණනක් බුදුදහමින් පෝෂණය වුණු සංස්කෘතියකින් ඇතිවුණු ඒවා විදිහට අපි කවුරුත් පිළිගන්න ඕන. ජාති භේදයක්, කුලභේදයක්, ආගම් භේදයක් නැතිව හැමෝම හැම දෙනාට ම උදව් කරනවා. සැලකිලි කරනවා. මේ පුංචි රට තව තවත් ලස්සන වෙන්නේ මේ නිසා ම තමයි. සුනාමි ව්‍යසනයේ දී ත්, කොවිඩ් වසංගත තත්ත්වයේ දීත්,

විවිධ අවස්ථාවල ඇති වුණු ආපදා තත්ත්වවල දී ත්, මේ ආපදා තත්ත්වයේ දී ත් තමන්ගේ ජීවිතය පවා නොතකා ජනතාවට නො පැකිලව උදව් කරමින් කටයුතුවල නිරත වෙනවා. ඒ අය බුදුදහමේ විදිහට ‘බෝධිසත්වරු’ කියලා හඳුන්වන්න පුළුවන්.

මේ හැම කෙනෙක් ම බුදුවෙන්න තරම් පෙරුම් පුරන අය විදිහටයි සලකන්න වෙන්නේ. ඒ අය ළඟ වෙන කිසිදු ලාභ අපේක්ෂාවක් හෝ කීර්ති ප්‍රශංසා ලබා ගැනීමක් ඇත්තේ නෑ. මේ අතර සමහර කෙනෙක් කල දුටු කල වල ඉහගන්නා වගේ කටයුතුවල නිරත වන පුවත් සමාජයෙන් අහන්න, දකින්න ලැබෙනවා. මේ ලස්සන රටේ මේ වගේ උතුම් ගුණ දහම්වලින් පිරුණු මිනිසුන් අතර එවැනි අය ජීවත් වීම කනගාටුවට කරුණක්. ඒ අයත් මේ විදිහට අනෙකා ගැන හිතනවා නම් අපේ ගෙවල්වලට දොරගුළු අවශ්‍ය වෙන්නේ නෑ. ගෙවල්වලට කැමරා සවි කරන්නවත්, වෙනත් ආරක්ෂණ විධි ක්‍රියාත්මක කරන්නවත් අවශ්‍ය වෙන්නේ නෑ. මෙවැනි අයත් හොඳ මාර්ගයකට අරගෙන අපි අපේ රට තවත් ලස්සන කරගමු. පන්සිල් සුරකින, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා, සිව් ගුණ පිරුණු, අටලෝ දහමින් කම්පා නොවන ජනතාවක් අදටත් ඉන්නවා වගේම මතු පරපුරත් මේ ගුණවලින් පිරුණු අය බවට පත් කර ගමු. මේ ආපදා තත්ත්වයේ දී හැම අයුරකින් ම උදව් කළ හැමෝටම කිසිදු අඩු වැඩි බවක් නැතිව හැමෝම එකිනෙකාට ස්තූති කිරීම වැදගත් වෙනවා. පුංචි දෙයකින් හෝ යමෙක් උදව්වක් හෝ උපකාරයක් හෝ කරලා තියෙනවා නම් ඒ දේ මුව පුරා අගය කරන්න ඕන. ඒ අයට ස්තූති කරන්න ඕන. ඒ අය තමන්ට පුළුවන් උපරිමයෙන් ම ඒ දේ කළ බව නිතර සිහි කරන්න ඕන.

උදව් කිරීම් ගැන හෝ පරිත්‍යාග කිරීම් ගැන හෝ අඩු වැඩියෙන් කතා කරන්න එපා. දාන චේතනාවක් හෝ උදව් කිරීමේ චේතනාවක් හෝ මිනිස් සිතේ පහළ වෙන්නේ එකම ස්වභාවයෙන්. ඒ නිසා එවැනි කටයුතුවලින් වැළකිලා අනෙකා අගය කරන්න. පසු නො බසින වීර්යයෙන් යුතු ව තව තවත් ආපදාවට පත් අපේම ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරලා පෙරටත් වඩා ලස්සන ජීවිතයක් වගේම, ලස්සන රටක්, ලස්සන ගමක් හදලා දෙන්න ඇපකැප වෙමු. වචනයකින් හෝ ආපදාවට පත් අයට උදව් කරනවා නම් ඒ අය හැමෝට ම ස්තූතිවන්ත වෙමු. එය අප හැමගේම යුතුකමක් වෙනවා.

අපි කරන හැම පින්කමක දී ම ආපදාවෙන් මිය ගිය අය සිහිපත් කරලා පින් දෙනවා වගේම, පීඩාවට පත් රෝගීන් වෙනුවෙත් සෙත් ප්‍රාර්ථනා කරමු. එය අපටත්, ඔවුන්ටත් යහපතක් පිණිස ම හේතු වෙනවා. විශේෂයෙන් ම පරිසරයට ප්‍රමුඛත්වය දෙමින්, පරිසරය ආරක්ෂා කර ගනිමින්, මිනිස් ක්‍රියාකාරකම් කිරීමට වගබලා ගත යුතු වෙනවා. එසේ නොවුණහොත් ස්වභාව ධර්මය දක්වන ප්‍රතිචාර මෙයට වඩා දරුණු වෙන්න පුළුවන් බව නම් අමතක නො කළ යුතු යි.

උඳුවප් අව අටවක

දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අ.භා 02.04 අව අටවක ලබා 12 සිකුරාදා අ.භා 03.03න් ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]