[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සමෝධානිත පුරවැසියකු බිහි කරන්නට

සමෝධානිත පුරවැසියකු බිහි කරන්නට

මහමෙව්නාවේ සමාධි බුදු පිළිමය නෙළන්නේ රළු කළු ගලකිනි. ගලෙහි වූ රළු බව සමාධි පිළිමයෙහි දක්නට නැත. බුදුරජාණන් වහන්සේගේ විශ්ව මෛත්‍රිය, මහා කරුණාව, මහා ප්‍රඥාව වැනි උදාර බුදුගුණ එහි පිළිබිඹුව පවතියි. මෙවන් බුදු රුවක් නෙළූ ශිල්පියා තුළ ශිල්පීය ඥානය, විද්‍යාත්මක දැනුම, බුදුගුණ හා බුදුබණ පිළිබඳ දැනුම හා ඉවසීම, කරුණාව, දයාව වැනි ආධ්‍යාත්මික ගුණයන් ද තිබිය යුතු වේ.

මෙවන් සමෝධානිත පුද්ගලයකු බිහි කරන්නට නම් වඩාත් උසස් අධ්‍යාපනයක් තිබිය යුතු වේ. එසේ නම් අපගේ පැරැණි අධ්‍යාපනය තුළ මෙ උසස් භාවය දක්නට ලැබුණි.

දැනුම කේන්ද්‍ර කරගත් වර්තමාන අධ්‍යාපනය තුළ මෙවන් සමෝධානිත පුරවැසියන් බිහි නොකරයි. අතීත අධ්‍යාපනය අර්ථ, ධර්ම, කාම, මොක්ෂ යන පදනමින් යුක්ත විය. අධ්‍යාපනය තුළින් තම ආර්ථිකය දියුණු කර ගැනීම, එය ධර්ම මාර්ගය තුළින් ඉටු කිරීම, පුද්ගලයකු වශයෙන් කම් සැප විඳීම, හා මොක්ෂ මාර්ගයට අවශ්‍ය දෑ උපයා සපයා ගැනීම ඒ තුළින් සිදුවිය. පෞරාණික බොදුනු ඉගෙනුම් ක්‍රමය ක්‍රමවත් පදනමක් මත පියවර කිහිපයකින් ගොඩනැඟී ඇත. එහි මූලික පියවර සතර පහත දැක්වේ. අධ්‍යයන (ඉගෙනීම) ධාරණ (උගත් දේ ධාරණය කර ගැනීම) පරිචය (අභ්‍යාසය)​පරිපුච්ඡා (විමංසනය) මෙම ක්‍රමවේද තුළින් පැරැණි අධ්‍යාපන ක්‍රමය තුළින් සමෝධානිත පුරවැසියෙක් බිහි විය.

වර්ථමාන අධ්‍යාපනයේ මූලික අවධානය අධික ලෙස දැනුම හා වෘත්තීය කුසලතා සංවර්ධනය කෙරෙහි යොමුවීම තුළින් සිසුන් තුළ විභාග කේන්ද්‍රීය තරගකාරීත්වයක් ඇති වී ඇති අතර, ඔවුන්ගේ අභ්‍යන්තර සැනසීම, ජීවිතයේ අරමුණ, සදාචාරය සහ අන් අය සමඟ සහජීවනයෙන් ජීවත්වීමේ හැකියාව වැනි ආධ්‍යාත්මික පැතිකඩයන් මඟ හැරී යයි.

ආධ්‍යාත්මික යහපැවැත්ම යනු ආගමික ඇදහිලිවලට පමණක් සීමා වූවක් නොව, එය පුද්ගලයාගේ සමස්ත යහපැවැත්මේ (Overall Wellness) තීරණාත්මක සාධකයකි.ජීවිතයේ අරුත සහ අරමුණ (Meaning and Purpose in Life)  ආධ්‍යාත්මික යහපැවැත්ම මඟින් ජීවිතයට ගැඹුරු අරුතක් සහ පැහැදිලි අරමුණක් ලබා දේ. මෙය සිසුන් තුළ ආත්ම විශ්වාසය සහ ඉදිරි ගමනට ශක්තිය ඇති කරයි. අභ්‍යන්තර සාමය සහ සමඟිය (Inner Peace and Harmony)  ආධ්‍යාත්මික වටිනාකම් තුළින් ඔවුන්ට ආතතිය, කාංසාව සහ ජීවිතයේ අභියෝග කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය ලැබේ. සදාචාරය සහ වටිනාකම් (Ethics and Values) පුද්ගලයන්ගේ යහපත් ගුණධර්ම සහ සදාචාරය පෝෂණය කිරීමෙන්, නීති ගරුක, විනය ගරුක සහ සමාජයට වග කිවයුතු පුරවැසියකු බිහි කළ හැකි ය. සමාජ සම්බන්ධතා  (Interpersonal Relationships) අන් අය කෙරෙහි කරුණාව, දයාව, සහයෝගය සහ සහජීවනය වැනි ගුණාංග වර්ධනය වීම තුළින් සමාජයේ සාමය සහ සංහිඳීයාව ඇති වේ. අතීත බෞද්ධ අධ්‍යාපනය තුළ මේ තත්ත්වය මැනවින් ප්‍රකට විය. අතීත ගුරුවරයා දිසාපාමොක් විය. විමුක්තිය සඳහා මඟ පෙන්වන්නා ය. ලෞකික හා පාර ලෞකික විමුක්තිය, ලොකෝත්තර විමුක්තිය ය ඔහු පෙන්වා දෙයි. සිඟාලෝවාද සූත්‍රය තුළ තිබෙන ශික්ෂණ ක්‍රමවේදය ඒ සඳහා මහෝපකාරි වෙයි. වරදින් මුදවීම, යහපතෙහි යෙදවීම, ගුරු මුෂ්ටිය නොතකා සියලු ශිල්ප ලබාදීම, මිතුරන්ට හඳුන්වා දීම, උවදුරුවලින් ආරක්ෂා කිරීම ගුරුවරයාගේ කාර්යභාරය වේ. මේ ක්‍රමවේදය තුළින් බෞද්ධ ගුරුවරයා සමෝධානිත පුරවැසියකු බිහි කරයි.

වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ දැනටමත් ආගමික අධ්‍යාපනය විෂයයක් ලෙස පවතියි. එහෙත්,

ආධ්‍යාත්මික යහපැවැත්ම යනු ඊට වඩා පුළුල් සංකල්පයකි. විභාග කේන්ද්‍රීය බව ශ්‍රේණි සහ ලකුණු පසුපස යන අධ්‍යාපන රටාව තුළ ආගමික විෂය පවා විභාගයට සීමා වී, ප්‍රායෝගික ආධ්‍යාත්මික පුහුණුව මඟහැරී යයි. සම්පූර්ණ පුද්ගල සංවර්ධනය නොසලකා හැරීම දැනුම (Cognitive), ආකල්ප (Attitude)  සහ කුසලතා (skil)  යන කුළුණු තුනෙන් ආකල්පමය සහ ආධ්‍යාත්මික පැතිකඩ කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම. ප්‍රායෝගික පුහුණුවේ හිඟය භාවනා, සිහිය පුහුණු කිරීම (Mindfulness), ස්වයං-අවබෝධය (Self-reflection) වැනි ක්‍රියාකාරකම් විෂය මාලාවට ඵලදායී ව සම්බන්ධ කර නො තිබීම. මෙම හිඩැස පිරවීමට කළ හැකි දේ අධ්‍යාත්මික යහපැවැත්ම සහිත පුරවැසියකු බිහි කිරීම, සඳහා පහත සඳහන් සංකල්ප සහ ක්‍රමවේද වර්තමාන අධ්‍යාපනයට එක් කළ හැකි ය. සම්පූර්ණ පුද්ගල සංවර්ධනය ඉලක්ක කිරීම, විෂය නිර්දේශ දැනුම, කුසලතා, ආකල්ප සහ ආධ්‍යාත්මික ගුණාංග යන හතර ම සමතුලිත ව සංවර්ධනය වන ලෙස ප්‍රතිසංස්කරණය කිරීම.

ආගමිකත්වයෙන් තොර, ආධ්‍යාත්මික පුහුණුව සියලු ආගම්වලට පොදු වූ සහ විද්‍යාත්මක පදනමක් සහිත සිහිය (Mindfulness)  පුහුණුව, භාවනා සහ ස්වයං-අවබෝධය සඳහා පාසල් කාලසටහන තුළ නිශ්චිත ඉඩක් වෙන් කිරීම.

ගුරු පුහුණුව (Teacher Development)  ගුරුවරුන් විසින්ම ආධ්‍යාත්මික යහපැවැත්ම අත්පත් කර ගැනීම සහ එය පන්ති කාමරයේ දී සිසුන්ට ඵලදායී ව ඉගැන්වීම සඳහා පුහුණු කිරීම.

වටිනාකම් පාදක ඉගෙනුම (Value-based Learning)  විෂය මාලාවේ සෑම විෂයක් තුළින් ම සදාචාරය, වගකීම, පරිත්‍යාගය සහ අන්‍යොන්‍ය අවබෝධය වැනි මානව ගුණාංග ප්‍රායෝගිකව ඉස්මතු කිරීමට අවස්ථාව සැලසීම.

සාමකාමී පාසල් පරිසරය (Peaceful School Climate) පාසල තුළ විනය පද්ධතිය තරගයෙන් තොර, සමාව දීම සහ සහයෝගීතාව දිරිමත් කරන ස්ථානයක් බවට පත් කිරීම, මෙමඟින්, තාක්ෂණයෙන් සහ දැනුමෙන් පරිපූර්ණ වූ, සදාචාරයෙන් හා අභ්‍යන්තර සැනසීමෙන් යුත් පරම්පරාවක් බිහිකර ගැනීමට හැකි වනු ඇත.

බෞද්ධ අධ්‍යාපනය සීල, සමාධි, ප්‍රඥා යන අංගවලින් යුක්ත වෙයි. සීලය යනු විනය යි. ශික්ෂණය යි. අධ්‍යාපනයේ මූලික අංගය විය යුත්තේ විනය ගරුක භාවයයි. මේ විනය ගරුක බව ගොඩනැඟෙන්නේ සීලය තුළිනි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ සීලයට අවස්ථාවක් නැත. අප රට තුළ ගත් විට පාසලට දරුවා ඇතුළත් කර ගැනීමේ සිට ම විනයගරුක භාවයක් නැත. බොරු කියමින්, ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් පාසලට දරුවන් ඇතුලු කරයි. ඉන්පසුව ද හැම විටම ආත්මාර්ථකාමි වෙයි. විභාගවල දී කෙසේ හෝ විභාගය සමත් වීමේ අදිටනින් විභාග වංචාවල නිරත වෙයි. මේ සඳහා දරුවා, මව්පියන් පමණක් නොව ගුරුවරයා ද පෙළඹ ඇත. බෞද්ධ විමුක්ති මාර්ගය වු සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, ආදියෙන් පූරණය කරනුයේ සීලයයි.

සමාධිය බුද්ධි වර්ධනයේ සාධකයකි. එහෙත් චිත්ත සමාධිය ගොඩනඟන ක්‍රමවේද වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ නැත. දැනුම් පාදක අධ්‍යාපනයක් නිසා නිරන්තරයෙන් විෂය කරුණු පිරවීම සිදු කරයි. චිත්ත සමාධියෙන් තොර නිසා නිර්මාණශීලි බවක් දක්නට නොලැබෙයි. අලුතින් යමක් නොසිතයි. නොකරයි. උගත්තු සිටිති. එහෙත් ප්‍රායෝගික ලෝකය තුළ ඔවුන් සියල්ලෙන් අසමත් ය. සංවේදි බවින් තොර ය. සහකම්පනයෙන් යුක්ත නො වෙයි. ප්‍රායෝගික ලෝකය තුළ ක්‍රියාත්මක විය හැකි දැනුම,චිත්ත සමාධිය ගොඩනඟන භාවනා ක්‍රම අපගේ අධ්‍යාපන ක්‍රමය තුළ දක්නට නැත. එහෙත් දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය තුළ භාවනාව සඳහා ප්‍රමුඛතාවක් ලබා දී ඇත. අපේ ආනාපාන සති භාවනාව ඔවුහු අනුගමනය කරති. ප්‍රඥාව වර්ධනය, සම්මා වායාමය හා යහපත් සතිය හා සමාධිය තිබිය යුතුයි.

ප්‍රඥාව යනු උගත්කම නොවෙයි. බුද්ධිමත් බවයි. විමර්ශනශිලි බවයි. යමක් දෙස විචාරශීලී ව බැලීමයි. කළ යුතුනොකළ යුතු, යහපත් අයහපත් ආදී වශයෙන් දැකීමයි. පවතින අධ්‍යාපනය තුළ උගතුන් බිහි කරයි. බුද්ධිමතුන් බිහි කරන්නේ නැත. රටට අවශ්‍ය වන්නේ උගතුන් නොව ප්‍රඥාවන්තයින් ය. මේ කියන ලක්ෂණයන්ගෙන් පූර්ණත්වයට පත් වූ මිනිසා සමෝධානිත පුරවැසියකු වෙයි.

අනාධිමත් කාලයක් මුළුල්ලේ ජාතිය අවදි කළ, ජාතියට අභිමානය එක් කළ මිනිසෙක් තැනූ බෞද්ධ අධ්‍යාපනය වර්තමානය තුළ ද ලබා දෙන්නේ නම් දුප්පත් බව පිටු දැකීම, පොහොසත් ව තිරසර සංවර්ධනයක් ලැබීම, නව තාක්ෂණික දැනුමත් සමඟ ගුණවත් බවින් යුතු ව සමමෝධානිත පුරවැසියකු බිහි කළ හැකි ය.

උඳුවප් අව අටවක

දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අ.භා 02.04 අව අටවක ලබා 12 සිකුරාදා අ.භා 03.03න් ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]