[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දෙව් නර බඹුන් පුද දෙන සිරිපා කමල - වඳිනෙමු අපිත් සිහිකර සම්බුදු සුවඳ

දෙව් නර බඹුන් පුද දෙන සිරිපා කමල - වඳිනෙමු අපිත් සිහි කර සම්බුදු සුවඳ

මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගම් දනව් සිසාරා පා ගමනින් වැඩම කරමින් දම් අමාවෙන් ලෝ සත සුවපත් කොට වදාළ සේක. අටෝරාශියක් මඟුල් ලකුණින් ශෝභමාන වූ ඒ තථාගත ශ්‍රී පාදස්පර්ශයෙන් පොලෝ මහීකාන්තාව පවා උදම් වූවා ය. උත්තම සම්බුද්ධ කාය පරිනිර්වාණයට පත්වී වසර 2569ක් ගතව ඇති වර්තමානයේ පවා දෙව් බඹ පිරිස් ද, සැදැහැති මිනිසුන් ද ඒ රන්වන් සිරිපා පුද දෙති.

සම්බුදු පාද ස්පර්ශයෙන් පරම පූජනීයත්වයට පත් වූ නිසාවෙන් අද දක්වා දෑත නළලේ තබා වඳිනා වැදුම් පිළිගැනීමට භාග්‍යවන්ත වූ ගිරිකුලක් හෙළදිව ඇත. තෙවන ලංකාගමනයේ දී අපගේ භාග්‍යවතුන් වහන්සේ සුමන සමන් දෙවිඳුන්ගේ ඇරයුම පරිදි සිරිපා සටහන පිහිටුවා වදාළ මේ පූජනීය ගිරි හිස නම් සමනළ කන්ද යි.

අනාදිමත් කාලයක සිට විවිධ නම්වලින් හැඳින්වෙන සමන්තකූට පර්වතය සමස්ත ලෝකයාගේ ම ගෞරවාදරයට පාත්‍ර වූ උස් ගිරිශිඛරයකි. සමනොළ ගිර රැඳුනු සිරිපදලස දැක බලා වැඳුම් පිදුම් කිරීමට බොහෝ දෙනා අසීමිත ඇල්මක් දක්වති. සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් වූ සමන්ත කූටය වටා ගෙතී ඇති ජනප්‍රවාද ද රාශියකි.

බොහෝ ජනයාගේ වන්දනාවට හා පූජාවට ලක් වූ ශ්‍රී පාදස්ථානයෙහි වන්දනා සමය ඇරඹෙන්නේ උඳුවප් මාසයෙනි. එතැන් සිට වෙසක් මාසය දක්වා කාලය සිරිපා වාරය යි. බහුල වශයෙන් වන්දනාකරුවන් සිරිපා නඟින්නේ සන්ධ්‍යා කාලයේ යි. රාත්‍රී කාලයේ සිරිපා මළුවේ ගත කර ඉර සේවය නැරඹීමට ඔවුහු අමතක නො කරති. සමනොල කඳු මුදුනේ සිට බලන විට මධ්‍යම කඳුකරයේ කොටපොල කඳු මුදුනින් එක් වරකට පෙනෙමින් ද තවත් වරකට සැඟවෙමින් ද, නොයෙක් ආකාරයෙන් විවිධ රැස් ධාරා පතුරවමින් සූර්යයා එක්වර ම උදාවන ආකාරය සැබැවින් ම මනස්කාන්ත දර්ශනයකි. මෙවැනි දර්ශනීය සූර්ය උදාවක් ලොව අන් කවර තැනකවත් දැකිය නොහැකි බව තතු දත් අය පවසති.

මුල්ම ඓතිහාසික යුගයේ සබරගමු ප්‍රදේශයේ දේව රාජ්‍යයක් පැවතියේ යැයි මතයක් ඇත. මේ දේව රාජ්‍යයේ නායකයන් දෙදෙනා වූයේ මහා සුමන හා භාගින්‍යෙය සුමන ය. මහා සුමන විසූ ප්‍රදේශය සමන්තකූටය යනුවෙන් ද, භාගින්‍යෙය සුමන විසු ප්‍රදේශය බෑණ සමනොල යනුවෙන් ද හැඳින්වේ.

සමන්තකූටවාසී සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය වූ මහියංගණ ගමනේ දී උන්වහන්සේ හමුවී බණ අසා සෝවාන් ඵලයට පත් වූහ. තෙවැනි වර කැලණියට වැඩි ගමනේ දී, මඟඵලලාභී සුමන සමන් දෙවියෝ සමන්ත කූටයේ සිරිපතුල පිහිටුවන්නැයි බුදුරජාණන් වහන්සේට ආරාධනා කළහ. ඉන්පසුව ය, ලෝකානුකම්පාවෙන් යුතු වූ තථාගතයන් වහන්සේ සමන්ගිර මුදුනේ ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත සිරිපද ලස පිහිටුවා වදාළේ. සුමන සමන් දෙවියන් වෙනත් හින්දු දේව සමාගමකට අයිති දෙවි කෙනෙක් නොව ලක්වැසියන්ගේ වන්දනාවට පාත්‍ර වූ සමන්ත කූටයේ විසූ තිසරණ සරණ ගිය මඟඵලලාභී දෙවි කෙනෙකි. බෞද්ධ ශාසනාරක්ෂක දෙවියකු බවට පත්වූ සුමන සමන් දෙවිඳුන්ට ඇප කැප වූ නිවහනක් ලෙස සබරගමු සමන් දේවාලය දඹදෙනි යුගයේ දී ඉදිකරන ලදැයි සන්නසක සඳහන් වේ.

මුලින් ම ශ්‍රීපාදය වන්දනා කළ හෙළ රජතුමා කවුරුන්දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි නමුත් වසර දෙදහසකට පෙර සිරිපා වැඳ පුදාගත් රජ කෙනකු වශයෙන් ක්‍රි.පූ. 29 සිට 17 දක්වා රජ කළ වළගම්බා රජතුමා ගැන සඳහන් වේ. විජයබාහු, මහා පරාක්‍රමබාහු, සිවුවැනි මිහිඳු, ශ්‍රී සංඝබෝධි වැනි රජවරු ද සමනල කන්ද නැඟ සිරිපා වැඳ පුදා ගත් බව සඳහන් ය. කෙසේ වුව ද සිරිපා වන්දනාවට සබැඳි ජනපි‍්‍රය ම ඉතිහාසය ඇත්තේ ශ්‍රී නිශ්ශංකමල්ල රජුට ය. එතුමාගේ රාජ්‍ය සමයේ දී ශ්‍රී පාදය සොයාගත් බව දැක්වෙන කතාවක් ද ජනප්‍රවාදයේ එයි.

නිශ්ශංකමල්ල රජතුමා කළිඟු කුමරකුගේ ද, පැරකුම්බා රජුගේ සොහොයුරියකගේ ද දරුවෙකි.

නිශ්ශංකමල්ල රජතුමාගේ උයනේ මල් හොරාගෙන යන බවට ලැබුණු තොරතුරක් නිසා, ඒ හොරු අල්ලා දෙන කෙනකුට ඇතෙක් බරට වස්තුව දෙන බවට රට පුරා අඬබෙර යැවිණි. මේ කාලයේ එක්තරා ගමක විසූ වැඩිමල් සොහොයුරා සමඟ විවාහ වී සිටි ස්ත්‍රියක් ඔහුගේ බාල සොහොයුරාව ද අනියම් සම්බන්ධතාවකට පොළඹවා ගැනීමට හැදුවා ය. බාල සොහොයුරා ඊට බලවත් අකැමැත්තක් දැක් වූ නිසා එම ස්ත්‍රිය හටගත් වෛරයෙන් ඔහු මරා දැමීමට සිතුවා ය. දිනක් ඇය ස්වාමිපුරුෂයා හමුවේ,

“ඔබේ සහෝදරයා ඔබ නැති වෙලාවට මට කරදර හිරිහැර කිරීමට උත්සාහ කරනවා. ඒ කරදරයෙන් මාව බේර ගන්න” යැයි ඉල්ලුවා ය.

කෝපයට පත් වැඩිමහලු සොයුරා තම මල්ලී රවටා ගෙන කැලයට ගෙන ගොස් ඔහුගේ අත් පා කපා දැමුවේ ය. වන මල්, ඵල ආදිය කමින් දිවි බේරා ගත් බාල සොහොයුරා සුවයට පත් වූයේ පුදුම සහගත අන්දමට ය . අත්පා අංගවිකල වූ බැවින් ‘කොටා’ නමින් ප්‍රකට වූ හෙතෙමේ රජුගේ උයනේ මල් කඩන හොරු අල්ලාදීමට බාර ගත්තේ ය.

රාජකීය උද්‍යානයෙන් නො විමසා මල් ගෙන ගියේ එසේ මෙසේ පිරිසක් නො වේ. ඔවුන් දිව්‍යාංගනාවන් ය. මල් ගෙන ගියේ ද එසේ මෙසේ කටයුත්තකට නො වේ, සම්බුදු සිරිපතුල මලින් පුද දෙනු පිණිස ය. මල් උයනේ සැදු කුටියක නතර වූ ආබාධිත මිනිසා සොරු අල්ලා ගැනීම පිණිස උත්සාහ දරන අතරේ රාත්‍රී කාලයේ මිහිරි හඬින් සතිපට්ඨාන සූත්‍රය කියවයි. ශ්‍රී පාද පද්මයට පූජා කිරීමට මල් කඩන සුරංගනාවියන් එදිනට පැමිණ මල් කඩන අතර, මේ හඬ ඇසෙන්නට විය. ධර්මය ඇසීමට මහත් ආශාවක් ඇති වූ නිසා සුරංගනාවියෝ දින තුනක් පැමිණ එම හඬට ඇහුම්කන් දුන්හ. මෙසේ පිරිත් කියන්නේ කව්දැයි දිනක් ඔව්හු විමසූහ. ඔහු,

“අත් පා නැති කොටෙක්” යැයි පිළිතුරු දුන්නේ ය.

“මල් කඩන්නේ කුමකට ද?” යැයි විමසූ විට ශ්‍රී පාද පද්මයට පූජා කිරීමට බව දිව්‍යාංගනාවෝ කීහ. “මටත් ශ්‍රී පාදය පෙන්වන්නැ”යි කොටා ඉල්ලීය.

” එසේනම් මේ සළු පොට අල්ලා ගන්නැ”යි දෙවඟනක් සළු පොටක් කුටිය තුළට දැමුවා ය. එය ශරීරයේ ස්පර්ශ වනවාත් සමඟ ම ඔහුගේ අත් පා කලින් තිබූ ලෙසට ම හැදුණේ ය. සුරඟනන්ගේ සළු පොට අල්ලා ගෙන ශ්‍රී පාදස්ථානයට ගොස් වන්දනා කළ කොටා නැවත රජ උයනට ඇරල වූ දෙවඟනෝ අතුරුදහන් වූහ.

කොටා රජතුමාට සියලු විස්තර දැන්වීමෙන් පසු රජුට ද එය දැක බලා වන්දනා කිරීමට මහත් ආශාවක් ඇති විය. ශ්‍රී පාදයට යන මඟ සලකුණු පෙන්වන ලෙස සුරඟනන්ට දන්වන්නැයි රජු කොටාට කීවේ ය. කොටා ද එදින රාත්‍රී පෙර පරිදි ම සුරඟනෝ පැමිණි පසු මේ තොරතුරු කීවේ ය.”

“අපි පාර දිගේ මල් දමාගෙන යන සලකුණින් ශ්‍රී පාදස්ථානයට යන්නැ”යි සුරංගනාවියෝ කීහ. රජතුමා චතුරංගනී සේනාව පිරිවරා දෙවඟනන් මල් දමා ගිය මඟ සලකුණු ඔස්සේ ශ්‍රී පාදයට ගියේය.

උඳුවප් අව අටවක

දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අ.භා 02.04 අව අටවක ලබා 12 සිකුරාදා අ.භා 03.03න් ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]