සංඝමිත්තාගමනය සහ දුමින්දාගමනය
ආර්. ඒ. නයනානන්ද
ගම්පහ
සංඝමිත්තාගමනය යන්නට ම දුමින්දාගමනය යැයි කියන බව ඇතමකු ප්‍රකාශ කරතත් එය සාවද්‍ය
වේ. දුමින්ද යනු සංඝමිත්තා යන පදයට කියන තවත් පර්යාය (සමාන) පදයක් බව ද ඔවුහු
පවසති. එයත් සාවද්‍ය වේ.
නමුත් සංඝමිත්තාගමනය නිසා දුමින්දාගමනය සිදු වූ බව සත්‍යයකි. සංඝමිත්තා + ආගමනය
යන්න එක් වී සංඝමිත්තාගමනය යන පදය සෑදී ඇත. ආගමනය යනු පැමිණීමයි. ඒ අනුව
සංඝමිත්තාගමනය යනු සංඝමිත්තා තෙරණියගේ වැඩවීමයි.
දුමින්දාගමනය යන පදය සෑදී ඇත්තේ දුම + ඉන්ද + ආගමනය යන පද තුන එක්වීමෙනි. දුම යනු
ගසට කියන තවත් නමකි. ඉන්ද යනු රජතුමා ය. බෞද්ධ සංස්කෘතිය තුළ ගස් අතර රජු හැටියට
සැලකෙනුයේ බෝ ගසයි. ආගමනය යනු පැමිණීමයි. වැඩම වීම, වැඩම කිරීම යන අරුත් ද ආගමනය
යන්නෙහි ගැබ් වී ඇත. එනිසා සිරි මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවීම දුමින්දාගමනය ලෙස
හඳුන්වයි.
සංඝමිත්තා තෙරණිය ලක්දිවට පැමිණෙන විට සිරි මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද
රැගෙන වැඩියා ය. මේ අනුව සංඝමිත්තාගමනයත් සමඟ ම දුමින්දාගමනය සිදු වූ බව සැලකිය
හැකි ය.
මහින්දාගමනය (මිහිඳු මාහිමියන්ගේ පැමිණීම) තරම් ම සංඝමිත්තාගමනය ද ලක්වැසියාට
වැදගත් වූවකි. දුමින්දාගමනයට පසු බෝධි වන්දනාව ලක්වැසියා අතර ජනප්‍රිය විය. බෝධීන්
වහන්සේට කරන පුද පූජාවන් තමන් වහන්සේට කරන පුද පූජාවන් හා සමාන වන බව බුදුන් වහන්සේ
වදාළේ ආනන්ද බෝධි රෝපණයට පෙර දී ය. බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිද්දී ම
බුදුවරයකු පරිද්දෙන් බෝධීන් වහන්සේ ද පුද පූජාවන්ට ලක් වූහ.
ධර්මාශෝක අධිරාජයාගේ හා දේවී නම් බිසවගේ එකම දියණිය වූයේ සංඝමිත්තා තෙරණියයි.
මිහිඳු මහරහතන් වහන්සේගේ නැඟණියයි. සංඝමිත්තා තෙරණිය පැවිදිවීමට පෙර අග්ගිබ්‍රහ්ම
නම් තරුණයකු හා විවාහ වී සිටි අතර, ඔවුනට සුමන නම් පුතෙක් විය. (මේ තිදෙනා ම බුදු
සසුනේ පැවිදි ව සසරින් එතෙර වීමට තරම් පුණ්‍යවන්තයෝ වූ හ.
ධම්මපාලා තෙරණියගේ උපාධ්‍යායත්වයෙන් හා ආයුපාලා තෙරණියගේ ආචාර්යත්වයෙන් සංඝමිත්තා
කුමරිය පැවිදි වූවා ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු දහඅටකි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර තුන්සියයකට ආසන්නයේ ලක්දිව සම්බුද්ධ ශාසනය
ප්‍රතිෂ්ඨාපිත විය. ඒ දෙවනපෑතිස් රජු දවස මිහිඳු හිමි ඇතුළු ධර්මදූත පිරිසගේ
ලංකාගමනය හේතුවෙනි. මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කොට දෙවන දින රජ මාළිගයේ දී
පේතවත්ථු හා විමානවත්ථු,
සච්චසංයුත්ත සූත්‍රය යන ධර්මයන් දේශනා කළ සේක. දෙවනපෑතිස් රජතුමාගේ සොහොයුරු මහානාග
යුව රජුගේ බිසව වූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීහු එම ධර්මය ශ්‍රවණය කොට
බුදුදහම කෙරෙහි පැහැදී, පැවිදිවීමේ කැමැත්තෙන් පසු වූ හ. දෙවනපෑතිස් රජු විසින්
අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පිරිස පැවිදිවීමේ කැමැත්තෙන් පසුවන බව මිහිඳු
මාහිමියන්ට දන්වන ලදී. කාන්තාවන් පැවිදි කිරීමට තමන් වහන්සේට නොහැකි බැවින් ඒ සඳහා
තම නැඟණිය වන සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්‍ෂූණීන් වහන්සේ මෙහි ගෙන්වා ගන්නා ලෙස
මිහිඳු මාහිමියෝ දෙවනපෑතිස් රජුට වදාළහ. ඒ සමඟ ම ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ලක්දිවට
ලබා ගැනීමට කටයුතු කරන ලෙසට ද රජතුමා දැනුවත් කෙරිණි.
ඒ අනුව දෙවනපෑතිස් රජු සංඝමිත්තා තෙරණිය ප්‍රධාන භික්‍ෂූණීන් වහන්සේත්, බුදුන්
වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට උපකාරී වූ සිරි මහ බෝධියේ ශාඛාවකුත් ලක්දිවට එවන මෙන්
දන්වා, දඹදිව ධර්මාශෝක අධිරාජයා වෙත සන්දේශයක් යැවීමට කටයුතු යෙදීය. එම සන්දේශය
රැගෙන යෑමට දෙවනපෑතිස් රජුගේ බෑණනුවන් වූ අරිට්ඨ කුමරු ප්‍රධාන දූත පිරිසක් තෝරා
ගැනුණි. මෙම දූත පිරිස ධර්මාශෝක අධිරාජයා හමුවීම සඳහා පිටත් වූයේ වප් පුර පොහෝ දා
ය.
ලාංකික රාජ දූත පිරිස ධර්මාශෝක අධිරාජයා හමු වී සන්දේශය පිළිගැන්වූ අතර, සංඝමිත්තා
තෙරණිය ද හමු වී සොහොයුරු මිහිඳු මාහිමියන්ගේ පණිවිඩය ද සැළකර සිටියහ. මුලදී
සංඝමිත්තා තෙරණිය ලංකාවට එවීමට ධර්මාශෝක අධිරාජයා කැමැති නොවීය. ඒ තම පුතාත්
(මිහිඳු මාහිමියන්), මුණුබුරාත් (සුමන සාමණේර හිමි) ලක්දිවට වැඩම කර සිටියෙන් යම්
සැනසීමක් ලැබුවේ සංඝමිත්තා තෙරණිය වැඩ සිටි නිසාවෙන් වූ බැවිනි.
නමුත් සංඝමිත්තා තෙරණියගේ පැහැදිලි කිරීම හමුවේ ධර්මාශෝක අධිරාජයා සිය කැමැත්ත පළ
කළේ ‘මාගේ දරු පරම්පරාව සිංහල ජනතාවට සේවය කිරීම පිණිස වේවා’ යන ප්‍රාර්ථනාව ද
සමඟිනි.
ධර්මාශෝක අධිරාජයා මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දන් පිරි
නමා, සිරි මහා බෝධියේ ශාඛාවක් ලංකාවට යැවීම පිළිබඳ විමසීය. එහිදී මොග්ගලීපුත්තතිස්ස
මහ රහතන් වහන්සේ බෝධි ශාඛාව ලංකාවට වැඩම කළ යුතු බවත් වදාරා, බුදුරජාණන් වහන්සේ
විසින් පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටිද්දී ලංකාව වෙත යොමු කළ අධිෂ්ඨාන පහ ද ධර්මාශෝක
අධිරාජයාට සැළකර සිටියහ.
ලක්දිව රෝපණය කිරීම පිණිස බෝධි ශාඛාව ගැනීමට අශෝක රජතුමා පැමිණි කල්හි බෝධි ශාඛාව
නිරුත්සාහයෙන් ම ගැල වී රන් කටාරමෙහි පිහිටාවා.
බෝධි ශාඛාව පිහිටන කල්හි එය සුදු වලාගැබක් අතරට වැද සිටීවා.
සත් දිනකට පසු නැවත රන් කටාරමෙහි පිහිටි කෙණෙහි පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවණක් ඝන
බුදුරැස් විහිදේවා.
දෙවනපෑතිස් නිරිඳුන් විසින් කරවන ලද ථූපාරාම චෛත්‍යයෙහි දකුණු අකු ධාතුව පිහිටන
කල්හි යමාමහ පෙළහර ප්‍රාතිහාර්ය ය කෙරේවා.
ලක්දිව මාගේ ද්‍රෝණයක් පමණ ධාතූන් රුවන්මාලි සෑයෙහි පිහිටන කල්හි බුද්ධ වේශයක් ගෙන
අහසට පැන නැඟී යමාමහ පෙළහර කෙරේවා.
මෙම අධිෂ්ඨාන පහ අසා සතුටට පත් ධර්මාශෝක අධිරාජයා උසස් ම ආකාරයෙන් පුද සත්කාර
කරමින් සිරි මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කිරීමට කටයුතු කළේ ය. මේ සඳහා
අලංකාර ලෙස සරසන ලද නැවක් ද පිළියෙළ කෙරිණි. බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාවට හා සේවය
සඳහා පරිවාර ජන පිරිසක් ද (සොළොස් කුල ජනයා) ලංකාවට එවීමට කටයුතු යෙදීය.
උඳුවප් මස පුර පක්‍ෂයෙහි පෑලවිය දිනයේ දක්ෂිණ බෝධි ශාඛාව තැන්පත් කළ රන් කටාරම ඔසවා
ගත් ධර්මාශෝක අධිරාජයා කරවටක් ජලයෙහි බැස, නැවෙහි තැන්පත් කළේය. සංඝමිත්තා තෙරණිය
ඇතුළු භික්‍ෂූණීන් වහන්සේ කණ්ඩායමත්, පරිවාර ජනයාත්, අරිට්ඨ කුමරු ප්‍රමුඛ ලාංකික
දූත පිරිසත් නැවට නංවා ලක්දිව වෙත එවන ලදහ. දඹදිව තාම්‍රලිප්ති නැව් තොටින් පිටත්
වූ මෙම පිරිස ලක්දිව දඹකොල පටුනට ළඟා වූයේ උඳුවප් පුර පොහෝ දිනයේ දී ය.
දඹකොල පටුනට නැව ළඟා වූ පසු දෙවනපෑතිස් රජු ද කරවටක් ජලයෙහි බැස බෝධි ශාඛාවත්,
සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ භික්‍ෂුණී සංඝයාත් රාජකීය ගරු සත්කාර සහිත ව පිළිගත්තේ ය.
අනතුරුව සිරි මහා බෝධි ශාඛාව රෝපණය කිරීම සඳහා මහ පෙරහරින් අනුරාධපුර මහමෙවුනා උයන
දක්වා වැඩම කරවීමය. එසේ වැඩම කරවන අතරතුර තිවක්ක නම් බ්‍රාහ්මණ ග්‍රාමයේ දී බෝධි
ශාඛාව පූජාවට ලක් වූ බව ද ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ. |