[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මවු ගුණ සිහිකර ඉදිකළ පැපිලියානේ සුනේත්‍රාදේවි රාජමහා විහාරය

මවු ගුණ සිහිකර ඉදිකළ පැපිලියානේ සුනේත්‍රාදේවි රාජමහා විහාරය

සුනේත්‍රා දේවි රාජමහා විහාරයේ ඉතිහාසය වසර 600කට අධික කාලයකට දිව යයි. මෙම විහාරය ඉදි කරන්නේ කෝට්ටේ යුගයේ ආරම්භක පාලකයා ලෙස සැලකෙන සයවැනි පරාක්‍රමබාහු රජු විසිනි. සවැනි පැරකුම්බාවෝ සිය මෑණියන් වූ සුනේත්‍රා දේවිය සිහිපත් කරනු වස් මෙම විහාරය ඉදිකරවා ඇත්තේ වර්ෂ 1415 දී ය.


වැල්ලම්පිටියේ ධම්මික හිමි

එකල පැපිලියානේ සුනේත්‍රා දේවි රාජමහා විහාර බිම ඇසුරෙහි එනමින් ම පිරිවෙනක් ද ඉදිකෙරුණි. එහෙත් ලක්දිව පෘතුග්‍රීසි පාලන සමයේ දී මෙම පිරිවෙන, විහාරයෙන් වෙන් කර ඒ ආසන්නයේ ම වෙනත් ස්ථානයක ඉදි කරන්නට කටයුතු යෙදිණි. අද වන විට සුනේත්‍රා දේවී පිරිවෙන විහාරයට මීටර් 250ක් පමණ ආසන්න දුරකින් දැක ගත හැකි වන්නේ ඒ නිසා ය.

‌ඓතිහාසික වටිනාකමකින් යුත් ඉපැරැණි විහාර මන්දිරය, චෛත්‍ය, බෝධීන් වහන්සේ, සංඝාවාසය, උපෝසථඝරය, ධර්ම ශාලාව, ඝණ්ටාර කුලුන, විෂ්ණු දේවාලය, කතරගම දේවාලය, ගම්භාර දේවාලය සහ පත්තිනි දේවාලය ඇතුළු ගොඩනැඟිලි රැසකින් සමන්විත සුනේත්‍රා දේවි රජමහා විහාරයෙහි ගල්කැටයම්, මූර්ති, පොකුණු ආදියෙන් ද අලංකාර වී තිබේ.

විහාරස්ථානයේ විහාර මන්දිරය කෝට්ටේ යුගයේ ගොඩනැඟුණු නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ කටයුතුවලට යටත් ව අවස්ථා කිහිපයක දී ප්‍රතිසංස්කරණය වී ඇත. මෙය වට මාලයකින් සහ ඇතුල් ගෘහයකින් යුක්ත වෙයි. මෙහි වටමාලයේ සූවිසි විවරණ ප්‍රතිමා සහ සත් සතිය නිරූපණය කරන ප්‍රතිමා මූර්තිමත් කර තිබේ.

ඇතුල් ගෘහයෙහි බිත්ති මත බුදුරජාණන් වහන්සේ වසරක් පාසා වස් විසූ ස්ථාන සහිත සිතුවම් දැක ගත හැකි ය. එම සිතුවම්වලට පහළින් බිත්ති මත රහතන් වහන්සේගේ සහ දෙවිවරුන්ගේ රූප සිතුවමට නඟා ඇත.

විහාර මන්දිරයේ ගොඩනඟා ඇති රියන් 38ක දිගින් යුත් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය දැක්වෙන ප්‍රතිමා වහන්සේ සුවිශේෂ වෙයි. එහි දෙපස මහනුවර යුගයේ කලා ලක්ෂණ ඉස්මතු වන පරිදි නිර්මාණය කළ හිඳී පිළිමයක් සහ හිටි පිළිමයක් ද දැකගත හැකි ය. ඊට අමතරව දේව ප්‍රතිමා, සීවලි හිමියන්ගේ ප්‍රතිමාවක් ඇතුළු ප්‍රතිමා රැසක් මෙම විහාර මන්දිරයේ දී නෙත ගැටෙයි.

විහාර මන්දිරයේ සිවිලිම නෙළුම් මල් සහ නාරිලතා මල් මෝස්තර සිතුවමින් අලංකාර කර තිබේ. පිටත දොරටු අබියස මකර තොරණ, සිංහ රූප ආදිය ද විහාර මන්දිරයේ ආකර්ෂණය නංවාලයි.

විහාරස්ථානයේ චෛත්‍යය ඝණ්ඨාකාර හැඩයෙන් නිර්මාණය කර තිබේ. අෂ්ටාකාර වේදිකාවක් මත ඉදි කර ඇති එම දාගැබ් වහන්සේ අඩි 35ක පමණ උසකින් යුතු ය. විහාරස්ථානයේ බෝධී වෘක්ෂය දෙතිස් ඵල බෝධීන් වහන්සේ නමකි.

බෝධීන් වහන්සේ ඉදිරිපස අඩි 7ක් උසැති ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර තිබේ. එම ප්‍රතිමාව ප්‍රධාන කොට ගෙන බෝධිය වටා අඩි 3ක් උසැති තවත් ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තෙනමක් ඉදි කර ඇති අතර, ගලින් නිර්මාණය කරන ලද කොරවක් ගල්, මුරගල්, පියගැට පෙළ සහ සඳකඩ පහන ද මෙහිදී දැක ගත හැකි ය. මෙම බෝධීන් වහන්සේ විහාරස්ථානය ආරම්භක යුගයේ රෝපණය කළ බෝධීන් වහන්සේ වීම ද විශේෂත්වයකි.

සංඝාවාසයේ ඉතිහාසය ද රාජමහා විහාරය ආරම්භක යුගය දක්වා ම දිවයන අතර, උපෝසථඝරය වසර 40ක් තරම් පැරැණි වෙයි. ඝණ්ටාර කුලුන වසර 100ක ඉතිහාසයකට හිමිකම් කියන විෂ්ණු සහ කතරගම දේවාලයන් ද වසර 100ක් තරම් පැරැණි වෙයි.

සුනේත්‍රා දේවී රාජමහා විහාරයේ ආදි කර්තෘවරයාණන් වහන්සේ ලෙස සලකන්නේ වැලිවිට සරණංකර සංඝරාජ මාහිපාණන් වහන්සේ ය. වත්මත් විහාරාධිපති වැල්ලම්පිටියේ ධම්මික හිමි ඇතුළු සඟ පරපුරක විහාරාධිපතිත්වයෙන් මෙම විහාරය වසර 600කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ද්වීපයේ විරාජමාන වෙයි.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා පූ.භා 08.39 පුර පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා 04.45න් ගෙවේ.
04 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]