ජීවිතයේ අගය තීරණය කරන කාල කළමනාකරණය

ජීවිතයේ අගය තීරණය කරන කාල කළමනාකරණය

කාල කළමනාකරණය කියන එක ඉතාමත් වැදගත් සංකල්පයක්. මේකට කාලසටහනක් අප යොදා ගත යුතු වෙනවා. අද පිළිගෙන තිබෙන ඉතා වැදගත් මූලධර්මයක් තමා ඕනම ආයතනයක්, සංස්ථාවක් සාර්ථක ව ප්‍රතිඵල ලබා ගැනීමට නම්, ඊට දිගුකාලීන ව සකස් කර ගන්නා ඉලක්කගත සංයුක්ත සැලැස්මක් යොදා ගැනීම. එය අවුරුදු පහකට, සමහරවිට දහයකට හෝ ඊටත් වැඩි කලකට වෙන්නටත් පුළුවන්.

ඉතින් මේ දිගුකාලීන සැලැස්ම සඳහා ඉලක්කගත අරමුණූු පවතිනවා වගේම ඒ දිගුකාලය වසරක් බැගින් වෙන් කරලා ඊට කෙටිකාලීන වශයෙන් සමස්ත අරමුණ සඳහා කෙටිකාලීන ඉලක්ක පවත්වා ගන්නවා. දිගු කාලය අවසන් වන විට ප්‍රධාන සැලැස්මේ අරමුණූු සියල්ල ඉටු කර ගැනීමේ වැඩපිළිවෙළ සඵල වෙනවා. මෙය අලුත් සංකල්පයක් ලෙස අපට බැලූ බැල්මට පෙනෙනවා.

එහෙත් මේ සංකල්පය මුලින් අපට පෙන්වා දී තිබෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ යි. ඒ පිළිබඳ හොඳම කාරණය තමා බුදුරජාණන් වහන්සේගේ දින චර්යාව. උන්වහන්සේ එහිදී දවසේ කාල කළමනාකරණය පිළිබඳ අපට පෙන්වා දෙන ආදර්ශය අතිශයින් වැදගත් වෙනවා. උන්වහන්සේ දවසේ පැය විසිහතර කොටස් පහකට බෙදා වෙන් කරනවා. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස හා පැසළුයම් කිස වශයෙන්. ඉතින් මේ කාල කළමනාකරණය තුළ බුදුරජාණන් වහන්සේ විසින් අරමුණු කරගත් ඉලක්ක සියල්ල සපුරා ගත්තේ කිසිදු අපහසුවකින් තොරව යි.

මේ දින චර්යාවේ දී උන්වහන්සේ වැඩිපුරම කාලය වෙන් කර තිබුණේ ශාස්තෘවරයකු වශයෙන් උන්වහන්සේ වෙතින් ජනතාව අපේක්ෂා කරන අරමුණූ සපල කර දීමටයි. එහිදී උන්වහන්සේ පක්ෂ, පාට, වර්ග, කුලමල දෙස අවධානය යොමු කළේ ම නැහැ. උන්වහන්සේට අවශ්‍ය වුණේ තමන් වහන්සේ හමුවට පැමිණෙන අහිංසක පුද්ගලයා වෙහෙසකට පත් නොකර ඔහු අපේක්ෂා කරන අරමුණ ඉටු කර දීම යි. මේ නිසා තමා උන්වහන්සේ හමුවට පැමිණි බඩගින්නේ පෙළෙන ගොවියාට ආහාර දී සතප්පවා අනතුරුව තමන් වහන්සේ අවබෝධ කර ගත් උතුම් දහම බෙදා දීමේ අරමුණ ඉටු කර ගත්තේ. මේ කාරණය පිළිබඳ ව මොහොතකට කල්පනා කළොත් එයින් උන්වහන්සේ දී ඇති ආදර්ශය අද දවසේ ජීවත් වන අපට කොතරම් වැදගත් වෙනවා ද යන්න අප සිතිය යුතු ය.

අහිංසක ගොවියාගේ මූලික අවශ්‍යතාව හඳුනාගෙන ඔහුගේ බඩගින්නට විසඳුමක් නොදුන්නා නම්, උන්වහන්සේගේ අරමුණ වූ ඒ උතුම් දහම ජනගත කරන්නට උන්වහන්සේට හැකි වන්නේ නැහැ.

සීතල කාමරවලට කොටු වී ජනතාව උදෙසා සැලසුම් සකස් කරන්නන් විසින් මේ කිසිවක් සැලකිල්ලට නොගෙන නොයෙකුත් දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් කොපමණ ඉදිරිපත් කළත් අද දක්වා ඒ අරමුණු සියයට වැඩි ප්‍රතිශතයකින් සඵල කර ගැනීමට හැකියාවක් ලැබී නැත. සැලසුම් ඉදිරිපත් කළ යුත්තේ මූලික අවශ්‍යතා මොනවාද යන්න පළමුව සොයා බලා, ඊට විසඳුම් ලබා දීමෙන් පසුව යි.

අනිත් කාරණය තමා කාල කළමනාකරණයේ දී යම් අරමුණක් ඉටුකර ගැනීමට වෙන් කර දී ඇති කාල රාමුව ඒ සඳහා ම යොදා ගැනීමට විමසිලිමත් වීම. බොහෝ විට අද සාමාන්‍යයෙන් සිදු වන්නේ වෙන් කර දී ඇති කාලසීමාවෙන් වැඩි කාලයක් අපතේ යැවීම, නැතිනම් ඉලක්කගත අරමුණට පරිබාහිර වෙනත් කටයුතුවලට යෙදවීම. මේ නිසා කිසියම් ආයතනයක හෝ සංස්ථාවක හෝ මූලික ඉලක්ක සාධනයට යෙදෙන කාලය සීමා වෙනවා. ඒ සීමාව නිසා අරමුණ ඉටුකර ගැනීම හුදෙක් සිහිනයක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් කල්පනා කරලා බැලුවොත් කාර්යාලයක් හෝ කිසියම් ආයතනයක, පාසලක හෝ වෙනත් රැකියා ස්ථානයක හෝ දෛනික ව එම ආයතනයේ රාජකාරි පවත්වා ගෙන යන වේලාවන් තුළ නිවැරැදි කාල කළමනාකරණයක් පවතිනවා ද කියලා එයට ලැබෙන පිළිතුර වන්නේ එක්වරම නැහැ යන්නයි.

එයට එක ම හේතුව කුමක්ද? ආයතන ප්‍රධානියාගේ සිට එහි සුළු සේවකයා දක්වා පැහැදිලි ව අරමුණුූ කරගත් දෛනික ඉලක්කයක් හෝ වැඩ පැවැරුමක් කර නොමැති වීම යි.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හැට නමක් දක්වා වර්ධනය වූ සැණින් ඒ සෑම භික්ෂූන් වහන්සේ නමකට ම අරමුණක් හඳුන්වා දුන්නා. එය තමා වහ වහා ගම් නියම්ගම්වලට වැඩම කරලා, ධර්මප්‍රචාරය කරලා, මේ පැහැදිලි දහම අවබෝධ කර දීමට ක්‍රියා කිරීම. එහි දී උන්වහන්සේ භික්ෂූන් වහන්සේට ප්‍රකාශ කළා මහණෙනි, ගම්දනව්වල චාරිකාවේ හැසිරෙන්න. ඒ කුමක් පිණිස ද බොහෝ දෙනාගේ හිත සුව පිණිසයි. අර්ථය පිණිසයි. අභිවෘද්ධිය පිණිසයි. එය ඉටු කිරීමේ දී නුඹලා දෙන්නා බැගින් එක මඟක ගියොත් කාලය යනවා වැඩියි. දෙන්නා මාර්ග දෙකකින් ගියොත් ධර්මය ප්‍රචාරය කෙරෙන වේගය දෙගුණ වෙනවා. එසේ එක් මාර්ගයකින් එක්කෙනා බැගින් පිටත් ව ගියොත් පාරවල් හැටකින් ගියා වෙනවා. ඒ පාරවල් හැටක් දෙපස වාසය කරන බොහෝ ජනතාවට මේ නවතම දහම අවබෝධ කර ගැනීමේ වේගය දෙගුණ වෙනවා.

ඒ නිසා ම ඒ දහම ශීඝ්‍රයෙන් ම ව්‍යාප්ත වෙන්නට පටන්ගත්තා. බුද්ධශ්‍රාවක පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සිව් වර්ගයක් ව ව්‍යාප්ත වන්න වූවා. ඒ පිරිස් මුල, මැද හා අග යන ස්ථාන තුනේ ම පිරිසුදු වූ උතුම් අර්ථයක් ම ජනතාවට පහදා දුන්නා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා සුමේධ තාපස ව දීපංකර පාද මූලයේ දී නියත විවරණ ලැබීමෙන් අනතුරුව ඉලක්ක කර ගත් පරිදි,

‘බුද්ධෝහං බෝධයිස්සාමි - මුත්තොහං මෝචයෙ පරෙ

තිණ්ණොහං තාරයිස්සාමි - සංසාරොගා මහබ්භයා’

යන අධිෂ්ඨානයෙන් සපත කළ පරිදි උන්වහන්සේ බුදුබවට පත් වී, අනතුරුව අනිත් සසරගත සත්වයාට ද ඒ දහම අවබෝධ කරන්නේ මැයි කියා ද, තමන් සසරින් මිදී අනෙකුත් දුක් විඳින සත්වයා ද සසරින් මුදවන්නෙමැ’යි කියා ද තමන් වහන්සේ මහත් බිය ගෙනදෙන සසරින් එතෙර වී එසේ එතෙර වීමට නො හැකි ව එතෙර වීමට උත්සාහවත් වෙන සත්වයා ද එතෙර කරවන්නෙමැ යි ද යන ඉලක්ක සපුරා ගැනීමට උන්වහන්සේ එක් භවයක පමණක් නොව දීර්ඝකාලීන සසර ගමනේ දී ඉලක්ක සඵල කර ගැනීමේ බලවත් උත්සාහයක නිරත වුණා.

එහි යටගිය අදහස කුමක්ද? නිවැරැදි සැලැස්ම යි. මෙලෙස නිවැරැදි සැලැස්මක් අප කාටත් තිබිය යුතු වෙනවා. එසේ වුවහොත් අප අදහස් කරන අරමුණ කරා යාමේ හැකියාව අප සතුව ම පවතිනවා. එය වෙනත් බලගතු අදෘෂ්‍යමාන හස්තයකින් ක්‍රියාත්මක කරන්නක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ සුමේධ තාපස ව සිටි අවස්ථාවේ එදා දීපංකර පාද මූලයේ දී එම බුදුරජාණන් වහන්සේගෙන් අනාගතයේ මෙයින් සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකින් ඔබ්බෙහි ගෞතම වංශිකයෙක් ඉපිද බුද්ධත්වයට පත්වන බවට නියත විවරණ ලද තැන් පටන් උන්වහන්සේ හිතන්නට බැරි තරම් දීර්ඝ කාලයකින් සපල කර ගත යුතු ඉලක්කයක් සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම්වල යෙදුණූ ආකාරය කොතරම් ද? අප වැන්නකුට ඒ ගැන සිතීම පවා අතිශයින් දුෂ්කර වන්නේ ය.

එහෙත් උන්වහන්සේ ඒ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගත්තේ පාරමී පිරීමෙන් ය. ඒ පාරමී ධර්ම හැම එකක් ම පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී දහම් වශයෙන් දානා දී ඒ සියලු පාරමිතා එකින් එක සපුරා ගැනීමේ ක්‍රියාවලිය විවිධ බෝසත් අත් භවයන් තුළ සාර්ථක ව පුරුදු පුහුණු කළා. ඒ කියන්නේ උන්වහන්සේ ඒ දිගු කාලය කොටස් කරමින්, අනුකොටස් එකින් එක වඩාත් සියුම් සැලැස්මක් යටතේ ගොනු කර ගත් ආකාරය පැහැදිලි ව පෙනෙනවා.

ඊළඟට වැදගත් කාරණය වන්නේ උන්වහන්සේ පළමුවෙන් ම ආත්මාර්ථය සපල කර ගත්තේ එයින් සෑහීමකට පත්වීමට නොවේ. ප්‍රධාන සැලසුමේ, ප්‍රධාන ඉලක්කගත අරමුණූ බවට පත් කර ගත්තේ. උන්වහන්සේ තමන් වහන්සේ ඒ දහම අවබෝධ කර ගැනීමේ අරමුණ සපල කර ගත් පසු බොධයිස්සාමි යන ක්‍රියාවලියෙහි යෙදුණා. එමෙන්ම සසරින් මිදෙනවා කියන මේ අරමුණ ඉටු කර ගත් උන්වහන්සේ, මොචයෙ පරෙ යනුවෙන් තැබූ ඉලක්කය පරිදි දුක් විඳින සත්වයා එයින් මුදවාලීමේ බරපතළ ක්‍රියාවලියකත් යෙදුණා. සසරින් උන්වහන්සේ එතෙර වීමේ අරමුණ සපල කර ගත්තා වගේ ම අනාදිමත් කාලයක සිට මේ සසරෙහි ඉපදි ඉපදී මැරි මැරී නොයෙක් වධ වේදනා විඳින සත්වයා තාරයිස්සාමි සංසාරොගා මහබ්භයා ඒ මහත් සසර බිය ගෙන දෙන සසරින් එතෙර කරවීමට ද ක්‍රියා කිරීමේ ඉලක්කය අමතක කළේ නැහැ.

මෙය තමා කාල

කළමනාකරණයේ වටිනාකම. එසේ නැතිනම් සැලසුමක අගය කියා පාන සාධකය මොකක්ද? ජීවත් වන මේ සමාජයේ අපි හැමවිටම ආත්මාර්ථය තුළින් සෑහීමකට පත් වීම සැබෑ මිනිස් ගතියක් නොවන බව. එය තිරිසන් සතුන් විසින් වුව ද අනුගමනය කරන ක්‍රියාවලියකි. එහෙත් මිනිස් සත්වයාගේ වැදගත්කම වන්නේ තමන් විසින් යහපත් ලෙස සාධනය කර ගත් අරමුණ සපල වීමෙන් අනතුරුව එය බොහෝ දෙනකුට ඵලදායක ලෙස භුක්ති විඳීමට අවස්ථාව සලසා දීමයි. ශ්‍රේෂ්ඨ මානව ගුණධර්මය වන්නේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ මනුලොව ප්‍රථම සාර්ථක සැලසුම්කාර උත්තමයා බවට පත් වූයේ. හැමවිට ම තමන් වහන්සේගෙන් පරිබාහිර අනෙකුත් මිනිස් සත්වයාගේ පමණක් නොව තිරිසන්ගත සත්වයාට ද, ගහකොළ වනලැහැබ් වැනි ස්වභාවික පරිසරයට ද හානියක් නොවන ආකාරයෙන් ක්‍රියා කරලයි.

ඒ හැම දෙයකට ම යහපතක් වන ආකාරයෙන් උන්වහන්සේ අරමුණු කර ගත් ඉලක්ක සපුරා ගෙන පොදු අහිංසක ජනතාව සුඛිත මුදිත කිරීමේ අරමුණෙන් මුලින් සඳහන් වූ ආකාරයෙන් තමන් වහන්සේ දෛනික චරියාව පවා කාල, පැය වශයෙන් කොටස් කරගෙන මුලින් කී පරිදි පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස ආදි වශයෙන් කොටස් පහකට බෙදා වෙන් කර තමන් වහන්සේගේ පාර්ශ්වයට වඩා අන්‍ය සත්වයා ගැන විමසිලිමත් කාල කළමනාකරණයට යොමු වූයේ හැම විටම පරාර්ථය අරමුණූ කරගෙනයි. මෙහිදී උන්වහන්සේ කෙතෙක් දුරට අහිංසක, දුක් විඳින මානවයා ගැන කොතෙක් දුරට විමසිලිමත් වූවා ද යන්න පැහැදිලි වෙනවා. මෙහි කී පැසළුයම් කිස හෙවත් අලුයම් කාලය උන්වහන්සේ වෙන් කර තිබුණේ දුගී දුප්පත්, කුලයෙන් පවා පහත් පීඩනයට පත් වූ ජනකොටස් හඳුනාගෙන ඒ අය සොයා පා ගමනින් ම වැඩම කොට ඔවුන්ට ධර්මාවබෝධය ලබා දීමටයි. මේ අතර උන්වහන්සේගේ ජනපද චාරිකාව ද තුරිත හා අතුරිත වශයෙන් බෙදා වඩාත් ඵලදායි චාරිකාවක් වන සේ යොදා ගත්තා. එහිදී තුරිත චාරිකාව ලෙස වෙන් කර ගත්තේ එක් එක් ජනකොටස් හෝ පුද්ගලයන් හෝ අරමුණූ කොට ඔවුන්ට දහම් අවබෝධය පිණිස චාරිකාවේ යෙදීමයි. සෝපාක වැනි උදවිය හමුවෙන්නට වැඩියේ මේ පිළිවෙළටයි. අතුරිත චාරිකාව ලෙස යොදා ගත්තේ සාමාන්‍යයෙන් පිඬු පිණිස හැසිරීම පොදුවේ හමුවන පිරිස් උදෙසා දම් දෙසීම වැනි සාමාන්‍ය චාරිකා ලෙසට යි. නකු මාතාව, නකුලපියා වැනි උදවිය හමු වුණේ මේ ක්‍රමයට වැඩම කිරීමෙනුයි.

මේ සියල්ලෙන් ම උන්වහන්සේ අපේක්ෂා කළේ තමන් වහන්සේගේ බුද්ධත්වයේ අරමුණු සපල කර ගැනීමට සැලසුම් සහගත ව ක්‍රියා කිරීම යි. මේ නිසා බෞද්ධයන් වශයෙන් අප හැම දෙනාම මේ ආදර්ශය අනුව කටයුතු කරන්නේ නම් අපේ දිවා කාලය, රාත්‍රි කාලය කෙසේ ගත වී දැයි සිතන සැම විට ම අපට මහත් අස්වැසිල්ලට හේතු වන අයුරු පෙන්වා දීමට පුළුවන. කිසි විටෙක පසුතැවීමක් ඇති වන්නේ නැහැ.

වප් අමාවක

ඔක්තෝබර් 20 සඳුදා අ.භා 03.48 අමාවක ලබා 21 අඟහරුවාදා අ.භා 05.58න් ගෙවේ.
20 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

First Quarterපුර අටවක

නොවැම්බර් 05   

Full Moonපසළොස්වක

නොවැම්බර් 12 

Second Quarterඅව අටවක

නොවැම්බර් 19    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]