ඓතිහාසික පින්බිමක අසිරිය විඳින්න ඇඹුල්ගම රජමහ වෙහෙරට
සටහන සහ ඡායාරූප
පසිඳු මිහිරාන් රැටියල

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි රාජමහා විහාර අතළොස්ස අතරින් ඇඹුල්ගම රාජමහා විහාරයට
හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි.
මහින්දාගමනය සිදු වූ ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසේ දේවානම්පියතිස්ස රජ දවස දක්වා
මෙම විහාරස්ථානයේ ආරම්භය දිව යයි. හැඹලව වනාන්තරය පීරායන මහ ගල් පර්වතයක් ඇසුරු
කරගෙන එහි පෙළින් පෙළ නැඟුණු මෙම විහාරස්ථානයේ පෞරාණික නටබුන් මෙන්ම වත්මන්
ගොඩනැඟීම් දුටුවන් නෙත් සිත් විස්මයට පත් කරවනසුලු ය.
අගනුවරට ආසන්නයේ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ අපූර්ව පිහිටීමක ස්ථාපිත මෙම රාජමහා
විහාරයේ වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ ගන්කන්දේ බෝධිවංශ ස්වාමීන් වහන්සේ ය.


ගන්කන්දේ බෝධිවංශ හිමි |
ඇඹලව රත්ගල් වෙහෙර, ඇඹල්හැළු වෙහෙර, හැඹල රත්ගල් වෙහෙර, ඇඹිල්ගාල විහාරය, ඇඹුල්ගම
නින්දගම යන නම්වලින් හඳුන්වන ඓතිහාසික ඇඹුල්ගම රාජමහා විහාරයේ ගල්ලෙන් ආශි‍්‍රත ව
අනුරාධපුර යුගයේ භික්ෂූන් වහන්සේ බවුන් වැඩූ බවට සාක්ෂි හමුවී ඇත. මෙම පෞරාණික
භූමිය දෙතිස්ඵල බෝධීන් වහන්සේ රෝපණය කළ ඓතිහාසික ස්ථානයක් වීම ද විශේෂත්වයකි.
දඹදෙණි රාජධානි යුගයේ තුන්වැනි විජයබාහු රජ දවස වත්තල නාගසේන ස්වාමීන් වහන්සේට මෙම
පුදබිම ආශි‍්‍රත ප්‍රදේශය පූජා කර තිබේ. අනතුරුව භික්ෂූන් වහන්සේ බවුන් වඩන ආරණ්‍ය
සේනාසනයක් ලෙස මෙම විහාරය භාවිත කර ඇත. සීතාවක රාජධානි සමයේ දී සීතාවක රාජසිංහ රජු
හින්දු ආගම වැලඳ ගැනීමත් සමඟ මෙම ප්‍රදේශයේ බෞද්ධ වෙහෙර විහාර විනාශ කරමින්
ප්‍රචණ්ඩකාරී ව කටයුතු කර තිබේ. ඒ අනුව රාජසිංහ රජු විසින් ඇඹුල්ගම රාජමහා විහාරය ද
කඩා බිඳ දමා එහි වැඩ සිටි භික්ෂූන් පළවා හරින්නට කටයුතු කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
අනතුරුව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගවල දී මෙම පුදබිම විවිධ ආක්‍රමණයන්ට
ගොදුරු විය. ඒ කාලයේ දි මෙම විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේ පලවා හැර මෙහි ඉඩම්
බටහිර ගැති දේශීය විදේශීය පිරිස්වලට ලබා දුන් බව ඉතිහාසයේ සඳහන් වෙයි.
කෙසේ වුවත් 1798 වසරේ දී බෙන්තර සෝණුත්තර ස්වාමීන් වහන්සේ විසින් ඉංග්‍රීසි
ආණ්ඩුවෙන් මෙම විහාරය සතු ඉඩම් ඉල්ලා විශාල අරගලයක් සිදු කරනු ලැබ තිබේ. ඒ අනුව
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පුස්කොළ සන්නසකින් මෙම විහාරය නැවතත් සඟරුවනට
පූජා කර තිබේ.
“බෙන්තර තෙරුන්නාන්සේ ඉල්ලා සිටි හෙයින් පළමු විහාරය කරවා තිබූ තැනින් මෙම විහාරය
පූජා කළ වගයි” යනුවෙන් සඳහන් එම ඓතිහාසික පුස්කොළ සන්නස ඇඹුල්ගම විහාරයේ අදට ද දැක
ගත හැකි ය. එහෙත් විහාරස්ථානය සහ විහාරයට අයිති ඉඩකඩම් සියල්ලේ අයිතිය බ්‍රිතාන්‍ය
ආණ්ඩුවට ගැති පාර්ශ්වයක ආරච්චිවරයකුට පවරා තිබුණි. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේට,
බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් මෙහෙයවූ එම ආරච්චිවරයාගේ අණසක අනුව කටයුතු කිරීමට සිදු
විය.
කෙසේ වුව ද 1948 වසරේ ලක්දිවට නිදහස ලබා ගන්නා තුරුම මෙම තත්ත්වය පැවති බව වත්මන්
විහාරාධිපති ගන්කන්දේ බෝධිවංශ හිමි අප සමඟ පවසා සිටියහ. ඒ අතර කාලයෙහි විහාරයේ
භාරකරුවන් ලෙස කටයුතු කළ අධිරාජ්‍ය හිතවාදින් විහාරස්ථානයේ පුරාණ ගල්ලෙන් සහ පිළිම
විනාශ කර තිබුණේ නිදන් ලබා ගැනීමේ පරමාර්ථයෙනි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින්ගේ මෙම ක්‍රියාවන්ට විරුද්ධව රණාලේ වනරතන හිමි විසින්
රුබේරු මුදලිවරයාට පැමිණිලි කරන ලද බව විහාරයට අයත් පැරැණි ලිපි ලේඛනවල සඳහන් වෙයි.
එහිදී රුබේරු මුදලිවරයා ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පක්ෂ වෙමින් අසාධාරණ ව
කටයුතු කළ බවට පැරැණි ගම්වාසීන් සාක්ෂි දරා තිබේ.
වර්තමානයෙහි මහත් දුෂ්කරතා මධ්‍යයේ වත්මන් විහාරාධිපති ගන්කන්දේ බෝධිවංශ ස්වාමීන්
වහන්සේ ඇඹුල්ගම රාජමහා විහාරස්ථානය සංවර්ධනය කරමින් පවතී. විහාරයේ පිහිටි පෞරාණික
ගල් ලෙන්හි බෝසත් සිරිත සහ බුදු සිරිත මූර්තිමත් කරමින් කලාත්මක නිර්මාණ රැසක් මේ
වන විට ඉදිවෙමින් පවතී.
ඊට අමතරව දෙතිස් ඵල බෝධි වෘක්ෂය, ගල් පර්වතය මුඳුනේ නිමවා ඇති දාගැබ් වහන්සේ,
පත්තිරිප්පු අනුරුව, පොලොන්නරු ගල් විහාර අනුරූ පිළිම වහන්සේ මෙහි නිමවා තිබේ.
ගල්ලෙන් ආශි‍්‍රත ව නිමවා ඇති සිංහ දොර සහිත විහාර සංකීර්ණයෙහි බෝසතාණන් වහන්සේගේ
දුෂ්කර ක්‍රියාව සහිත ප්‍රතිමා වහන්සේ සහ බුද්ධත්වය සංකේතවත් කරන ප්‍රතිමා වහන්සේ
දැකගත හැකි ය. කඳු සිරසට පියමං කරන මඟ දෙපස අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගොඩනංවා
තිබේ. විහාරස්ථානයට පිවිසෙන ස්ථානයෙහි ම මකර තොරණක් , වත්මන් විහාරාධිපති හිමියන්ගේ
ප්‍රතිමාවක් ද මෙහි දැක ගත හැකි ය. අඩි දහසකට වඩා උස කඳු මුඳුනේ මහින්දාගමනය
දැක්වෙන අනුරුවක් මෙන් ම බුදුරදුන්ගේ පිරිනිවන දැක්වෙන ප්‍රතිමා වහන්සේ සහ
බුද්ධත්වය නිරූපණය කරන ප්‍රතිමා වහන්සේ ද වෙයි. කඳු මුඳුනේ සිට බැලූ කල හාත්පස කොළඹ
නගරය මෙන් ම කැලණි ගඟ, අවට කඳු ශීර්ෂ ඇතුළු ස්වභාව සෞන්දර්ය මනාව නිරීක්ෂණය වෙයි.
ඇඹුල්ගම රාජමහා විහාරය කොළඹ තදාසන්න ව පිහිටි සිත නිවන පින්බිමක් බව සඳහන් කළ හැකි
යි.
|