කෘතවේදීත්වයේ අගය

කෘතවේදීත්වයේ අගය

“කතඤ්ඤු කතවේදී පුග්ගලෝ භික්ඛවේ දුල්ලභෝ ලෝකස්මිං” කෙළෙහිගුණ දක්වන පුද්ගලයින් ලෝකයේ දුර්ලභ බව බුදුරජාණන් වහන්සේ මෙම පාඨයෙන් පෙන්වා දී තිබේ.

සිදුහත් බෝසතාණන් වහන්සේ ඉපිද දින හතකින් සිය මව් වූ මහාමායා දේවිය කළුරිය කොට තව්තිසා දෙව්ලොව උපත ලැබීය.

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් හත්වන මස වස් වැසීම සඳහා තෝරගනු ලැබුවේ තව්තිසා දෙව්ලොව යි. තම මෑණියන් මාතෘ දිව්‍ය රාජය ලෙස එහි ඉපදී ඇති බැවින් ඇයට යහපතක් සලසා දෙනු පිණිස ය.

තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු හිමි තුන් මසක් පුරා අභිධර්මය දේශනා කළහ.අභිධර්ම දේශනාව අවසානයේ දී තම මවු වූ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන අසූ කෝටියක් දෙවිවරු නිවන් අවබෝධ කර ගත්හ.

මව්පියන්ට සැලකීම උතුම් මංගල කරුණු අතර ප්‍රධාන තැනක් ගන්නා බව පෙන්නුම් කළ බුදුරජාණන් වහන්සේ සුදොවුන් රජතුමා වරක් රෝගී වූ බව අසා දැනගත් පසු ආනන්ද හාමුදුරුවන් ප්‍රධාන රහත් භික්ෂූන් කිහිප නමක් සමඟ පා ගමනින් සුදොවුන් මාලිගාවට වැඩම කොට ආශිර්වාද ලබා දී සුවපත් කළ බව සඳහන් වේ.

මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන් ය. බෝසතාණන් වහන්සේ ඉපිද දින හතෙන් මහමායා දේවිය කළුරිය කළා. එතැන් පටන් කිරි පොවා බෝසතාණන් වහන්සේ හදා වඩා ගත්තේ මහා ප්‍රජාපතීගෝතමිය යි. ඇය පිරිනිවන් පෑමෙන් පසු ආදාහන පූජෝත්සවය සිදු කරන තැන තෙක් මව්ගුණ සිහිපත් කරමින් බුදු හිමි පසු ගමන් කර ගෞරව දැක්වූයේ මව් ගුණයට උපකාර වශයෙනි. බුදුවරු කිසිවෙකුත් වෙනුවෙන් පෙර ගමන් හෝ පසුගමන් නො යති. එහෙත් දෙමව්පියන් වෙනුවෙන් බුදු හිමි එසේ ගෞරව දැක්වීම ආදර්ශවත් උතුම් ක්‍රියාවකි.

බෝසතාණන් වහන්සේ බුදු වීමේ පුවත සුදොවුන් රජතුමාට දැන ගන්නට ලැබුණු අවස්ථාවේ බුදුහිමි දැකීමේ ආශාවක් ඇතිවිය. එම අදහස පණිවුඩකරුවන් මඟින් බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ පිය ගුණය සලකා පාගමනින් සැට යොදුනක් ගෙවා රජු බැහැ දැකීමට රහතුන් පිරිවරා මාලිගාවට වැඩම කොට ධර්ම දේශනා කර මාර්ගඵල අවබෝධය ලබා දීමට කටයුතු කළේ මාපිය ගුණයට කෘතවේදී බව දැක්වීමට ය.

බුද්ධත්වයට පත් වීමෙන් පසු ප්‍රථම මංගල ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා පස්වග තවුසන් සොයා යොදුන් ගණනාවක් ගෙවා මිගදායේ ඉසිපතනාරාමයට වැඩම කළේ පස්වග තවුසන්ගෙන් කලක් උදව් උපකාර ලැබූ නිසා කෘතවේදීත්වය සැලකීම සඳහා ය.

බෝසතාණන් වහන්සේට බුදු බව ලබා ගැනීම සඳහා ඇසතු වෘක්ෂය සෙවණ පමණක් ලබාදුනි.බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ මේ ගැන අවබෝධ කරගෙන වජ්‍රාසනයෙන් නැඟී සිට සත් දිනක් අනිමිස ලෝචන පූජාව පැවැත්වූයේ මේ උතුම් ගුණයේ ශ්‍රේෂ්ඨත්වය ලෝකයට කියා දීමට ය. බුදුන් වහන්සේ මේ බෝසත් ගුණ වඩා එය වචනයට සීමා නොකර ක්‍රියාවට නඟා පෙන්නුම් කළේ හොඳ පවුලක් , සමාජයක් , රටක් ,ලෝකයක් සුවපත් කිරීම සඳහා ය. මේ හැම භූමිකාවක් තුළ ජීවත්වන්නවුන් මේ ගැන විශේෂ අවධානය යොමු කර තම වගකීම ඉටු කිරීමට පුරුදු පුහුණු විය යුතු ය.

මව්පියන් තම දරුවන් වෙනුවෙන් මුළු ජීවිතය ම කැප කරන්නේ හොඳ දරුවකු හදා වඩා ගැනීමට ය. එය ඔවුන්ගේ සතුට යි, බලාපොරොත්තුව යි. මව්පියන් තම දරුවන් වෙනුවෙන් මවන මේ සිහින ඇතැම් දරුවන් සුනු විසුණු කර දමයි. පාප මිත්‍ර සේවනය නිසා තම ජීවිතය ද විනාශ කර ගනිමින් දෙමාපියන් නො සලකා හරියි. ලෙඩට දුකට පිහිට නොවෙයි. ආහාරපාන ඇඳුම් පැළඳුම් සපයා නො දෙයි. මව්පියන් තමන්ට කරදරයක් යැයි සිතන ඇතැම් දරුවන් හිතක් පපුවක් නැති ව ගස් යට, මහමඟ, පාලම් බෝක්කුයට මහලු මඩම්වල මව්පියෝ දමා යති. දරුවකු කුසට ආදා පටන් රැකවරණය ලබා දෙමින් කවා පොවා උස්මහත් කර අධ්‍යාපනය, රැකීරක්ෂා, විවාහ සිදුකර ලස්සන ජීවිතයක් ගොඩනඟා දුන්නද තුට්ටුවක තරම් වත් මායම් නො කරති. එවැන්නන් ගැන බුදුරදුන් පෙන්නුම් කළේ “තංපරා භව තෝ මුඛං“ පිරිහෙන පුද්ගලයින් ලෙසත්, වසල පුද්ගලයින් ලෙසත් ය.

සමාජයක් ලස්සන වෙන්න සාරධර්ම ගුණ ධර්ම රකින පුද්ගලයින් සිටිය යුතු ය. එවැනි පුද්ගලයින් තමන් ගැන ම නො සිතා අනුන්ගේ යහපත ගැන ද සිතයි. දිළින්දන් වෙනුවෙන්, ඉගෙන ගන්නවුන් වෙනුවෙන්, රෝගී වූවන් වෙනුවෙන් ගේ දොර තනාදීමෙන්, ආහාර පාන ලබා දෙමින් ඇඳුම් පැළඳුම් සපයා දීමෙන් පොත්පත් ලබාදෙමින්, බෙහෙත් හේත් ලබාදෙමින් පිහිට වෙති. කාලයාගේ ඇවෑමෙන් ඇතැම් දෙනා මේ උපකාර අමතක නොකර සුදුස්සකු වූ පසු උපකාර කළවුන් සොයා ගොස් පෙරළා උපකාර කරති. ඔවුන් ගුණ දන්නවුන් ලෙස හැඳීන්විය හැක.

තවත් සමහරු කළ උපකාරය මුළුමනින් ම අමතක කර දමයි. කතා කළත් නො ඇසුණා සේ ය. බැලුවත් නො බැලුවා සේ ය. සිනා සුණත් සිනා නො වුනා සේ ය. සමාජයේ වැඩි හරියක් පිරී ඇත්තේ මෙබඳු පුද්ගලයින්ගෙන්‍ ය. ඔවුන් සෙවණ ලබාදුන් ගස්වල අතු ඉති කපා දමන අවම ගති ලක්‍ෂණ ඇති ගුණමකුවෝ ය. සමාජය හැම විට ම මෙබඳු අය ප්‍රතික්ෂේප කරයි.

සිඟාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සදිසා නමස්කාරය තුළ මව්පියන්, අඹු දරුවන් ,ගුරුවරුන්, හිත මිතුරන්, ස්වාමි භාර්යා, ස්වාමියා සේවකයා, පැවිදි උතුමන් අතර එකිනෙක සමාජ කොටස්වලට ඉටු විය යුතු යුතුකම් හා වගකීම් පෙන්වා දී තිබේ. එවැනි යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු වන්නේ නම් අප බලාපොරොත්තු වන යහපත් සමාජයක් බිහි කර ගත හැක.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර හා ගාථා ධර්ම තුළ මව්පිය උවටැන ගැන බහුලව දේශනා කිරීමට හේතු පාදක වූයේ සමාජයේ ඇතැම් දරුවන්ගෙන් දෙමාපියන්ට සිදුවූ අසාධාරණයන් දැක දෙමාපියන් එයින් අත මුදවා ගැනීම සඳහා ය. අජාසත්ත, දේවදත්ත වැන්නවුන්ගේ කතා මීට හොඳම නිදසුන් ලෙස පෙන්වා දිය හැක. මව්පියන්ට වධ හිංසා පමුණුම් වන, තාඩන පීඩන පමුණුවන මරණයට පත්කරන අකුසල කර්ම හඳුන්වා ඇත්තේ පංචානන්තරය කර්ම ලෙසට ය. එවැන්නවුන් මියගිය පසු සතර මහා අපායේ උපදියි. එයින් ගැලවීමක් නැත.

මව්පිය වටිනාකම් මේ ආකාරයෙන් හඳුනාගෙන, කළ උපකාරයන් සිහිකොට සෑම දූ දරුවෙක් ම ඒ උතුම් මඟ යමින් ජීවිත වාසනාවන්ත කර ගැනීමට අධිෂ්ඨාන කර ගත යුතු වේ.

වප් අමාවක

ඔක්තෝබර් 20 සඳුදා අ.භා 03.48 අමාවක ලබා 21 අඟහරුවාදා අ.භා 05.58න් ගෙවේ.
20 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

First Quarterපුර අටවක

නොවැම්බර් 05   

Full Moonපසළොස්වක

නොවැම්බර් 12 

Second Quarterඅව අටවක

නොවැම්බර් 19    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]