කාලයේ මායාව අවදි සිතින් දකින්න

කාලයේ මායාව අවදි සිතින් දකින්න

අතීතය, වර්තමානය හා අනාගතය යනු අපි ජීවත්වන කාලයේ අවස්ථා තුනකි. වර්තමානය යනු මේ මොහොතේ අප ජීවත්වන කාලයයි. ජීවත් වී අවසන් වූ කාලය අතීතය නම් වන අතර, ඉදිරියේ දී ජීවත්වීමට අපේක්ෂා කරන කාලය අනාගතය නම් වේ. මෙයින් අතීත කාලය ගැන අපට බොහෝ දේ කියන්නට ඇත.

අප අතර ජීවත්වන බොහෝ අය අතීතය ගැන සිතා උද්දාමයෙන් මුමුණන අවස්ථා ඔබ දැක ඇත. අපට සුන්දර අතීතයක් තිබුණා. ඒත් ඒක දැන් දකින්නට නැහැ, යැයි අබිමානයෙන් කියන්නෝ ද ඒ අතර වෙති. එසේම අපේ අතීතය නම් මිහිරි නැහැ. බොහෝ කටුක අත්දැකීම්වලට අපි මුහුණ දුන්නා යැයි අතීතය ගැන දුක්මුසුව සිහි කරන්නෝ ද වෙති. අනාගතය සම්බන්ධයෙන් ද කිවයුතු වන්නේ මෙබඳු ම දෙයකි. සමාජයේ බොහෝ අය අනාගත බලාපොරොත්තු හා සිහින මාළිගා ගැන මුමුණති. එම සිහිනය සැබෑ කර ගැනීම සඳහා කිසියම් නිශ්චිත වැඩපිළිවෙළක් නැතත් තම අනාගත සිහිනය ගැන දිවා රෑ සිතමින් ද, කියමින් ද සමහරු කල් ගෙවති. අතීතය සහ අනාගතය සම්බන්ධයෙන් මිනිසුන් මෙසේ සිතීමෙහි ඇති වැරදි හෝ නිවැරදි බව පිළිබඳ ව ඔබට විවිධ උපකල්පනයන් තිබිය හැකි ය. එහෙත් එම උපකල්පනයන්ගේ යථාර්ථය ගැන මනසින් දැකීම ඔබගේ සාර්ථකත්වයට පිටිවහලක් වනු නො අනුමාන ය.

වරක් එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ ශ්‍රාවකයන් ඉතා සතුටින් හා පි‍්‍රය මුසුව ජීවත්වීමට හේතුව කුමක් දැයි බුදුරදුන්ගෙන් විමසීය. එයට බුදුරජාණන් වහන්සේගේ සෘජු පිළිතුර වූයේ ඔවුන් අතීතය ගැන පසුනොතැවෙන බවත් අනාගතය ගැන ප්‍රාර්ථනා නැති බවත්, වර්තමානයේ ජීවත්වන බවත් ඊට හේතුව බවයි.

කෙනෙකුගේ අතීතය යනු ඔහුගේ වර්තමානය බව බොහෝ දෙනා නො දන්නා කරුණකි. ඔබ මේ පුවත්පත කියවන මෙම මොහොත තවත් සැණෙකින් අතීතයක් බවට හැරේ. එම නිසා ඔබගේ මෙම මොහොත යහපත් නම් ඔබගේ අතීතය ද යහපත් වූවක් වේ. එසේම ඔබගේ අනාගතය යනු ඔබගේ වර්තමානය සමඟ සම්බන්ධ වන ඊළඟ මොහොතයි. ඔබගේ මෙම මොහොත යහපත් වීම යනු අනාගතය යහපත් වීමකි. මේ නිසා අතීතය යන්නත්, අනාගතය යන්නත් පවතින්නේ වර්තමානය තුළ ය.

වර්තමානය හෙවත් අප ජීවත්වන මෙම මොහොත ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් තිබීම මිනිස් ජීවිතයේ දී ඉතා වැදගත් කරුණකි. ඔබ මේ මොහොතෙහි තථාගතයන් වහන්සේට මලක් පූජා කරයි නම්, තවත් කෙනකු එය පවසන්නේ ඔබ මලක් පූජා කළා යැයි අතීත ක්‍රියාවක් වශයෙනි. එසේම ඔබ සොර සිතින් යමක් කරයි නම් ඔහු එය පවසන්නේ ද සොර වැඩක් කළා යනුවෙනි. මේ නිසා අතීතයේ යහපත් හෝ අයහපත් හෝ සැමරුම් සනිටුහන් වීමට ඔබ මෙම මොහොතෙහි ජීවත් වන ආකාරය හේතු වේ. මේ අනුව අනාගතය යහපත්වීමට ද බලපාන්නේ වර්තමාන කාලය ම බව අමුතුවෙන් කිවයුතු නොවේ.

සැබැවින් ම අතීතය හෝ අනාගතය යනු කාලයේ අවස්ථා දෙකකි. එය ගමන් කරන පුද්ගලයකු වැනි ය. එසේත් නැතහොත් ධාවනය වන බස් රථයක් හෝ ගලා බසින ගංගාවක් වැනි ය. ධාවනය වන බස් රථයකට නැඟ සිටින ඔබ එහි අසුනක වාඩි වී සිටියත් මොහොතින් මොහොත අතීතයටත්, අනාගතයටත් පැමිණේ. එහෙත් ඔබ සිතා සිටිනුයේ වර්තමානය තුළ ජීවත්වන බව ය. එය මිථ්‍යාවකි. එහිදී අතීතයටත්, අනාගතයටත් ගමන් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව පිළිබඳ ව ඔබ අවිඥානික ය. නො දැනුවත් ය. හුදෙක් අතීතය හා අනාගතය යනු කාලයේ මායාවකි. මේ නිසා වර්තමානය සති සම්පජඤ්ඤයෙන් ජීවත්වීම වඩාත් බුද්ධිගෝචර ක්‍රියාවක් බව බුදුදහම උගන්වයි.

බුදුරජාණන් වහන්සේ අතීතයෙහි හෝ අනාගතයෙහි ජීවත්වීමට තම ශ්‍රාවකයන්ට කිසිදු අවස්ථාවක නො වදාළහ. උන්වහන්සේ වර්තමානයෙහි සිටීම ම උසස් කොට සැලකූ සේක. සතිය හෙවත් සිහියෙන් විසීමේ වැදගත්කම පිළිබඳව බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට නිරන්තරයෙන් අවධාරණය කළ සේක. සතිය යනු එළඹ සිටි කාලයෙහි ජීවත්වීමයි. එනම් වර්තමානයෙහි හෙවත් පවතින මොහොතෙහි ජීවත්වීමයි. තමන් ගමන් කරද්දී මම දැන් ගමන් කරමි. සිටගෙන සිටිද්දී මම සිටගෙන සිටිමි. හිඳගෙන සිටිද්දී මම දැන් හිඳගෙන සිටිමි, නිදාගෙන සිටිද්දී මම දැන් නිදාගෙන සිටිමි යැයි ද නිදි වරද්දී මම දැන් නිදි වරමි යැයි ද මෙසේ තමා එම මොහොතෙහි කරන කාර්යය පිළිබඳ ව සිහියෙන් සිටීම භාවනාවක් වශයෙන් පුරුදු පුහුණුූ කළ යුතු බව පෙන්වා දුන්හ. මෙයින් අදහස් වන්නේ වර්තමානයෙහි ජීවත්වීම බුදුන් වහන්සේ අනුමත කරන ජීවන රටාව බවයි.

වර්තමානය යනු මේ මොහොත බව හැඳිනගෙන ඒ තුළ ජීවත්වීමෙන් ආගමික පරමාදර්ශයන් මුදුන් පමුණුවාගත හැකි බව තේරුම් ගත යුතු ය. එසේම මෙය සාමාජික වශයෙන් ද වැදගත් වන කරුණකි. යමෙකුගේ අතීතය දෙස බලා කිසිවකුට අපහාස හා අවමන් නො කරන්න. කුමක් නිසා ද යත් ඔහු මේ මොහොතෙහි දී වෙනස් පුද්ගලයෙකු විය හැකි නිසා ය.

මිනිසකු ජීවත්වීමේ දී සිදුවන්නේ ක්ෂණයෙන් ක්ෂණය, මොහොතින් මොහොත, තත්පරයෙන් තත්පරය කිසියම් අත්දැකීම් සමුදායක් සමඟ ඛව හෝ ගනුදෙනුවක නැත්නම් කටයුත්තක එසේත් නැත්නම් අත්දැකීමක නිරත වීමකි. ඉපදීම, ලෙඩවීම, දුක්වීම, උද්දාමයට පත්වීම, යම් යම් දේ සොයා යාම, ලැබීම, නො ලැබීම යනාදී අනේකවිධ දේ ඒ අතර වේ. යහපත් වුවද අයහපත් වුව ද මේවා විසින් මිනිසාගේ අත්දැකීම් වැඩි දියුණු කෙරේ. එක් අතකින් ඒවා ජීවිතයකට ලැබෙන පාඩම් ය. දැනුම් සම්භාරයන් ය. එමඟින් ඔහුගේ අවබෝධය තියුණු කෙරේ. එම නිසාම ඔහු තමා උගත් පාඩම අනුව වර්තමානය ගොඩනඟා ගැනීමට උත්සාහ කරයි. එසේම ඔහු ඒ අනුව නව ජීවිතයක් අරඹයි. මේ සඳහා පුද්ගලයකු වශයෙන් ඔහු පමණක් නොව එම මොහොත තුළ ඔහු වටා පවතින පරිසරය ද බලපායි. එම අවස්ථාව වන විට පවතින දේශපාලනික තත්ත්වය, නීති රීති, ආගමික පසුබිම, අධ්‍යාපනය ආදිය පමණක් නොව දේශගුනය, මංමාවත්, ඇළ දොළ ගංගා ආදිය පවා බලපායි. එයින් බිහිවන පුද්ගලයා අතීතයේ සිටි පුද්ගලයා නොවේ. එබැවින් අතීතය අනුව සලකා කෙනෙකුගේ වර්තමානය තීරණය කිරීම බුද්ධිගෝචර ක්‍රියාවක් නොවේ.

පෞද්ගලික වශයෙන් සිතීමේ දී කෙනකුට වැදගත් වන්නේ අතීතය හෝ අනාගතය නොවේ. එය නිසැක වශයෙන් ම වර්තමානය යි. ‘අජ්ජේව කිච්චං ආතප්පං - කො ජඤ්ඤා මරණං සුවෙ‘ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ. එහි තේරුම අද කළ යුතු දේ අදම කරන්න. හෙට මරණය සිදුවේ දැයි කවරෙක් දන්නේ ද? යන්නයි.

සිහියෙන් යුතුව පවතින මොහොතෙහි යහපත් හා උද්‍යෝගිමත් ලෙස වැඩ කටයුතුවල යෙදීම උසස් ම දිවි පැවැත්ම වේ. කිසිවකු අතින් දැන හෝ නොදැන කිසියම් වැරදි දෙයක් සිදුවී එය අතීතයට එකතු විය හැකිය. එම අතීතය ගැන සිතා වර්තමානයේ පසුතැවීම නොකළ යුතු ක්‍රියාවකි. අතීත සිදුවීමකට පසුතැවීමත්, කිසිවක් පිළිබඳ අනාගත සිහින මැවීමත් යන දෙක ම එක සමාන නිරර්ථක හා නිෂ්ප්‍රයෝජන ක්‍රියාවන් ය. අනාගතය යැයි අප උපකල්පනය කරන කාල පරාසයක සිහින මාළිගාවක් වේ නම්, එය ද සැලසුම් කළ යුත්තේ වර්තමානය නමැති අත්තිවාරම තුළ ය. ඉගෙනීම, ඉගැන්වීම, හරි හම්බ කිරීම, එක්රැස් කිරීම, ආයෝජනයන්හි යෙදවීම, සතුටුවීම, දන් පින්කම් කිරීම යනාදිය අද ම කළ යුතු දේ මිස හෙටට කල් දැමිය යුතු නොවේ.

මහණෙනි, මේ වන සෙනසුන් ය. මේ ශුන්‍යාගාර ය, මේ රුක් මුල් ය, ප්‍රමාද නොවවු, සිත ප්‍රගුණ කරවු, පසුව විපිළිසර නොවවු යැයි තථාගතයන් වහන්සේ තම ශ්‍රාවකයන්ට නිබඳ අවවාද අනුශාසනා කළ බව බොහෝ සූත්‍ර දේශනාවන්ගේ අවසානයේ දක්නා ලැබේ. මෙයින් අදහස් වන්නේ වර්තමානය නමින් හැඳින්වෙන කාල පරාසය තුළ දැනුවත්ව හා සිහියෙන් යුතු ව සක්‍රිය ව සිටීමේ වැදගත්කම බුදුන් වහන්සේ අගය කළ බවයි. කෙනකුගේ වර්තමානය යහපත්වීම යනු ඔහුගේ අතීතයත් අනාගතයත් යන දෙකම යහපත් වීමක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. යමෙක් වර්තමානයේ සතුටින් යහපත් දේ කරමින් සිටින්නෙක් නම්, ඔහු අතීතයේ සතුටින් හා යහපත් ලෙස විසූ කෙනකු ලෙස තවත් මොහොතකින් සනිටුහන් වේ. එසේම ඔහු නිසැකව ම අනාගතයෙහි සතුටින් හා යහපත් ලෙස වෙසෙන්නෙක් ද වේ. එය ඉබේම සිදුවන ක්‍රියාවලියක් වන අතර, වෙනත් කිසිවකු විසින් කරවා දිය යුතු දෙයක් නොවේ.

බුදුදහම අනුව ජීවත්වීමට ඇත්තේ වර්තමානයක් පමණකි. අතීතය හා අනාගතය යන දෙකම පවතින්නේත් ගොඩ නැඟෙන්නේත් වර්තමානය තුළ ය. ජීවිතය භුක්ති විඳිය හැක්කේ වර්තමානය තුළ මිස අතීතය හෝ අනාගතය තුළ හෝ නොවේ. එම නිසා අතීතය හා අනාගතය නමැති මිථ්‍යාව හිස මත තබා ගනිමින් වර්තමානය ගිනි ගොඩක් කර නොගැනීමට උත්සාහ කිරීම වැදගත් ය. කාලය ගංගාවක් හා සමාන ය. ගඟක ජල පොදක් මත දෙවරක් පා තැබිය නො හැකි ය. එලෙසින් ජීවත්වන එක් මොහොතක් ඔබට නැවතත් කිසි දිනෙක හමු නොවේ. එබැවින් මෙම මොහොතේ වටිනාකම මනසින් තේරුම් ගෙන එය සුව සේ භුක්ති විඳිමින් ජීවත්වීම කාගේත් අරමුණ විය යුතු ය.

වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 13 සඳුදා අ.භා 12.31 අව අටවක ලබා 14 අඟහරුවාදා පූ.භා. 11.15න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

First Quarterපුර අටවක

නොවැම්බර් 05   

Full Moonපසළොස්වක

නොවැම්බර් 12 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]