[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් අව අටවක පෝ දා 2025-10-13

මසැසින් ලොව දැක මනසින් විමසන්න

මිනිසත් බව ඉතා ම දුර්ලභ ය. ජන වහරේ එන උපමාවකට අනුව නම් කණකැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවකින් සාමාන්‍ය ජනවහර තුළ ට පැමිණි, විශේෂයෙන් වැඩිහිටියන් අතර සුලබ ව යෙදෙන මෙම උපමාව අපිට මේ ජීවිතය ගැන නැවත නැවත සිතන්නට ලබා දෙන පෙළඹවීම බලවත් ය.

කෙළවරක් නොවන, ඉපදෙමින්, මියයමින්, නැවත ඉපදෙන මේ සංසාර ගමනේ යම් හෙයකින් කළ පව්, අකුසල නිසා අපාය ගාමී වූයේ නම්, දුගතියක ඉපදුණේ නම් නැවත මිනිස් බවයක් ලැබීම ඉතාම දුර්ලභ බව ඉන් ගම්‍ය වේ. එහෙත් බොහෝ මිනිසුන්ට නොවැටහෙන්නා වූ ද, වැටහුණ ද ඒ තරම් සැලකිල්ලකට නොගන්නා වූ ද පණිවුඩයකි මේ.

අනෙකුත් අපායයන් ඇසින් දැක ගන්නට නොහැකි වුව ද තිරිසන් අපායේ අනේක දුක් විඳින සත්ත්වයන් නිරන්තරයෙන් අප ඇස ගැටේ. ආහාරටික සපයා ගන්නට, ලැබුණ ආහාර ටික අනෙකුත් සතුන්ගෙන් ආරක්ෂා කර ගන්නට ඔවුන් දරන වෑයම ඉමහත් ය. තවත් සතකුගේ ගොදුරක් වීමට ඇති ඉඩ වැඩි නිසා නිරන්තරයෙන් ජීවිත බියෙන් පසුවන ආකාරය, හිංසා පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට දරන උත්සාහය මුළු ජීවිත කාලය පුරාම විඳින ආකාරය අවබෝධ කර ගන්නට අප වැඩිදුර යා යුතු නැත. වීදි සරණ දුක්ඛිත සුනඛයන්, මව් ඇකයෙන් වෙන් කොට ඇතැම් විට දෑස් හරින්නට පවා පෙර මහ මඟ අතරමං කොට ඇති බළල් පැටවුන්ගේ අසරණකම ම වුව ප්‍රමාණවත් ය. මසැසින් දුටුව ද මනසින් නොදකින නිසා මේ දුක්ඛිත ජීවිත උදාහරණයට ගෙන තමන්ටත් මතු බවයක මෙවැනි අසරණ තැනකට වැටෙන්නට ඉඩ තිබෙන බව නුවණින් දැක ඒ දුගතිමඟට නොවැටී ඉන්නට, මේ ජීවිතය පව්කම්වලින් දුරු කර ගන්නට, අකුසලය බැහැර කරන්නට නො නැමෙන සිත ඝෝර සසර මඟ තව තවත් දුකෙහි ම ගිලෙන්නට මඟ සදන තෝ තැන්නකි.

යම් හෙයකින් මෙවැනි දුගතියක උප්පත්තිය ලැබුවේ නම් නැවත මිනිසත් බවක් ලැබීමේ දුර්ලභ බව සමාන වන්නේ මුලින් සඳහන් කළ උපමාවට ය. මේ සසර එතරම් බිය ජනක ය. එහෙත් නුවණැති පුද්ගලයාට දුගතියෙන් මිදී සුගතියට යන්නට අපහසු නැත. ඔහු කළ යුතු ලැබූ මිනිසත් බවයේ මනුසත් ගුණ පුරුදු පුහුණු කිරීමය. ඇදහැමි මඟ අත්හැර දැහැමි මඟට පැමිණීම ය.

ඒ මඟ යන්නට සත්පුරුෂ ඇසුර ඉතා ම ප්‍රයෝජනවත් ය. සත්පුරුෂයා හඳුනා ගැනීම ඉතා වැදගත් වන්නේ එවැනි වේෂයෙන් එන අසත්පුරුෂයන් අප ජීවත්වන පරිසරයේ ඕනෑ තරම් ජීවත් වන නිසා ය. රැවටිලිකාර, වංචාකාර එවැනි පුද්ගලයෝ මේ ජීවිතය ද වනසා මරණින් මතු ජීවිතයට ද අඳුර ගෙන එන්නෝ ය. එහෙයින් සත්පුරුෂයා තෝරා ගැනීම නුනුවණින් නොව නුවණින් ම කළ යුත්තකි.

තමන්ටත් අනුන්ටත් විපතක්, අනර්ථයක් නොවන ලෙස පිරිසුදු ලෙස කටයුතු කරන්නා සත්පුරුෂයෙකි. ඔහුගේ හැසිරීම් අධර්මයට පටහැනි ය. දහමට අනුකූල ය. මවාපෑම්, රැවටීම් නැත. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, මාන්නය, කුහකකම, දැඩි ලෝභය, කෙළෙහිගුණ නොදැක්වීම අසත්පුුරුෂ ලක්ෂණ බව වටහා ගන්නා පුද්ගලයා එවැනි අසත්පුරුෂයන්ගෙන් මිදී ධර්මානුකූල මාවතට පිවිසේ. එය දෙලොව ජීවිතයේ ම අර්ථය පිණිස ය. එහෙයින් මනසින් ලෝකය දැක නුවණින් ජීවත් වීමට සිතට ගතයුතු ව තිබේ.

වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 13 සඳුදා අ.භා 12.31 අව අටවක ලබා 14 අඟහරුවාදා පූ.භා. 11.15න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

First Quarterපුර අටවක

නොවැම්බර් 05   

Full Moonපසළොස්වක

නොවැම්බර් 12 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]