ගුණදම් මකන සසර පුරුදු
මේ සංසාර ගමන හරි පුදුමයි. සසරේ සැරිසැරීම ලෙහෙසි දෙයක් නොවෙයි. අපගේ ජීවිතය විටෙක
ජයග්‍රහණය ලබනවා. තවත් විටෙක පරාජය ලබනවා.
මේ ලෝකයේ ඇතැම් දෙනාට සිරගෙවල්වලට යන්න සිදුවෙනවා. සිරගත වන්නේ කුමක් නිසා ද?
ඔහුගෙන් සමාජයට අයහපතක් සිදු වූ නිසයි. සිරගතවන පුද්ගලයාට සාමාන්‍ය ජීවිතයේ යම්
සැපයක් විඳින්නට තිබෙනවා ද එය නැති වෙනවා. එතැන ම පරාජය ලැබෙනවා. ඒ පරාජයට හේතුව
අකුසලයට බර වීමයි. කයින් සිදුකරගත් වැරැදි දේ පරදින්නට කාරණාවක්. වචනය කියන අයහපත්
දේ වගේම සිතින් සිතන අයහපත් දේ පරදින්නට කාරණාවක්.
අකුසලය කියන්නේ මෙලොව වගේම පරලොව දී පරදින්නට හේතුවන කරුණක් බව අපගේ ශාස්තෘන්
වහන්සේ වදාළා. මේ ලෝකයේ යම් කෙනෙක් සූදු ක්‍රීඩාවේ යෙදෙනවා. ඔහු උපයාගත් යම් දේපළක්
තිබුණාද? ඇතැම්විට ඒ සියල්ල ම සූදුව වෙනුවෙන් පරදිනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ
සියලුම පරාද පුංචි පැරදීමක් කියලා. කෙනෙක් කය, සිත, වචනය වරදවාගෙන දුගතියට වැටුණොත්
ඒ පරාජය තමා ලොකුම පරාජය. ඇයි ඒ? කෙනෙක් දුගතියෙන් උඩට එනවා කියන එක ලෙහෙසි නැහැ.
මනුස්ස ලෝකයේ මෙතරම් ධර්මය ඇසෙද්දීත්, මෙතරම් පින් කරන පිරිසක් පෙනෙද්දීත්, මෙතරම්
සිල් සමාදන්වන පිරිසක් සිටිද්දී කෙනකුට සිල් සමාදන් වෙන්න කොතරම් අමාරුද? පිරිසක්
දන් දෙද්දී දන් නො දෙන කෙ තරම් පිරිසක් සිටිනවා ද? ගුණවත්කම් පුරුදු කරන පිරිසක්
සිටිද්දී ගුණවත් නොවන අය කෙතරම් ද? එහෙම නම් ගුණයක් පුරුදු කරනවා කියන එක හරිම
අමාරුයි.
සතර අපායට ගියාම ගුණ පුරුදු කරනවා කියලා දෙයක් නැහැ. සිල් රකින, දන් දෙන, මවුපිය
උපස්ථාන කරන පිරිස් දකින්නට නැහැ. එහෙම ලෝකයක සමගියෙන් සිටිනවා කියන දෙයත් ලෙහෙසි
නැහැ. කෙනෙක් අකුසල් කර පරාජිත වුණොත් ඔහුට සිදුවෙනවා නැවත නැවතත් පරාජිත වෙන්න.
එසේ පරාදයට හේතු වන්නේ කයෙන්, වචනයෙන්, මනසින් සිදුවන දෝෂමයි. අකුසලය කියන්නේ
පරාජයේ සංකේතය යි. මේ ලෝකයේ යම් ජයක් තිබෙනවා නම් එය කුසලයේ සංකේතය යි.
එනිසා ලැබුණු මේ මිනිස් ජීවිය තුළ කුසල්ම කරගන්න ඕන. යහපත පමණක් කරමින් ලැබුණ
ජීවිතයේ සත්පුරුෂ ඇසුරට ළං වී, සද්ධර්ම ශ්‍රවණයත් කර ගන්නත් ඕනෑ. ඒ වගේම සිල්පද පහ
රැක ගන්නත් ඕනෑ. පසළොස්වක දාට උපෝසථ සීලය පිරිපුන් කර ගන්නත් ඕනෑ. එවිට අපට පුළුවන්
ජයග්‍රහණය කරා යන්න.
අකුසලය මේ ජීවිතයට ලොකු බරක්. ජයග්‍රහණයක් ලබන්නට කැමැති කෙනා කෙලෙස් දුරු කරන්න
ඕනෑ. කෙලෙස් තුළින් ලැබෙන ජයග්‍රහණය අපට ඇතැම් විට ආශ්වාදයක් සේ පෙනෙනවා. එහෙත් ඒ
ජය පිටුපස තිබෙන්නේ බයක්. කෙනකුට ගුටිබැට දුන් කෙනෙක් සිටින්නේ බියෙන්, මට කුමන
මොහොතක ගුටිබැට ලැබේවිද දන්නේ නැහැ කියන බියෙන්. කෙනකුගේ දේ සොරකම් කළොත් ඔහු
බියෙන් ඉන්නේ මගේ දේ කුමන මොහොතක පැහැර ගනීවිද කියලා. අකුසල් තිබෙන සෑම තැනක ම
තිබෙන්නේ පරාජය යි.
එනිසා තිසරණයට කිසිදාක අප ද්‍රෝහී වෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් දිනන් ඕනම වේලාවේ
පරදිනවා.
දේවදත්ත හිමියන්ට සිදුවූයේ එවැනි දෙයක්. සෑම ජීවිතයක ම මහබෝධිසත්වයන් වහන්සේට
ද්‍රෝහී වෙමින් කටයුතු කළා. දිනන්න ඕනෑම තැන, දිනන්න තිබෙන හොඳම තැන දී දේවදත්ත
හිමියන් පරදිනවා. කල්පයකට නිරයට ගියා. ද්‍රෝහී බව පුදුම භයානක දෙයක්. මවුපියන්ට,
ගුරුවරුන්ට, සත්පුරුෂයාට කවදාවත් ද්‍රෝහීවීම යහපත් නැහැ. චිංචිමානවිකාවගේ ජීවිතයත්
කෝකාලිකගේ ජීවිතයත් ඒ වගේ පැරදුන ජීවිත. ද්‍රෝහී පුද්ගලයා ලද තැනදී, අවශ්‍ය තැන දී
ඔහු පරාජය වෙනවා.
අජාසත් රජු කෙ තරම් පින්වන්ත කෙනෙක් ද? ඔහුගේ සංසාර ජීවිතයේ සෝතාපන්න වීමට තරම් මහා
පිනක් තිබුණා. ඒ වගේම ඒ ජීවිතය තුළ සත්පුරුෂයාට ද්‍රෝහීවීමේ ගතියකුත් තිබුණා. මහා
පිනකුත් පුරාගෙන ද්‍රෝහි බවකුත් සිතේ දරාගෙන සසරේ එනකොට පිනත් විපාක දෙනවා. සඟවාගත්
ද්‍රෝහී බවත් එළියට එනවා. අජාසත් රජුට මුලින් ම මුණ ගැසුනේ බුදුරජාණන් වහන්සේ
නොවෙයි. දේවදත්ත යි. සාරිපුත්ත, මොග්ගල්ලාන ආදී මහා ශ්‍රාවකයන් වහන්සේ ඉක්මවා
අජාසත් කුමරුට මුලින්ම මුණ ගැසුනේ දේවදත්ත හාමුදුරුවෝ යි. රජෙක් වීමට පිනක්
තිබුණත්, අසත්පුරුෂයකු මුණ ගැසෙන්න අකුසලයකුත් තිබුණා. එයින් බලවත් වුණේ අකුසලය යි.
පළමු ධර්ම සංගායනාවට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් උපදවාගත් මහ පිනක් පරාජය
කරමින් ඔහු නිරය කරාම ඇදගෙන ගියා.
සසර පුරුදුවලින් අපගේ ජීවිතයත් වැසී යන්න පුළුවන්. සසර පුරුද්දට මුල්වන්නේ
අවිද්‍යාව යි. විසකින් උපදවන්නේ විසක්ම යි. සංසාරයේ කරපු පිනකට අපට සත්පුරුෂ ඇසුර
ලැබුණා. ධර්මයට ළං වෙන්න අවස්ථාවක් ලැබුණා. පින්දහම් කරන්න, දන් පූජා කරන්න අවස්ථාව
ලැබුණා. හැබැයි මේ සියල්ල
ම මැදට සංසාරේ පුරුදුත් එනවා. ඒ පුරුදුවලට පුළුවන් දේවදත්ත හිමියන්ට සිදු වූ දේ
අපටත් වෙන්න. සියලු පින් යට කර ගෙන එක අගුණකට පුළුවන් අප නිරයට, ප්‍රේත ලෝකයට,
තිරිසන් අපායට ඇදලා දාන්න.
බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්ම ශ්‍රවණය කියන්නේ ප්‍රඥා ලෝකය උපදවන, සැදැහැ සිත්
වැඩෙන මොහොතක් කියලා. සිතේ අකුසල් දුරු කරලා කුසල් ඉපදෙන මොහොතක්. වීරිය ඉපදෙන
මොහොතක්. සතිමත් බව බලවත් කරන මොහොතක්.
එහෙත් ඒ ධර්මය අසන මොහොතේ පවා අපගේ සිතේ අකුසල් ඉපදෙනවා. අකුසල් දුරුවෙන්න ඕනෑ
තැනදීත්, අකුසල් ඉපදෙනවා නම් පරණ පුරුදු. එසේනම්, ඒ පරණ පුරුදු කො තරම් අපගේ
ජීවිතවල රජ කරලා ද? එනිසයි අපි අසරණයි කියන්නේ. කෙලෙස්වලින් අසරණ අපට තිබෙන සරණ
බුදුරජාණන් වහන්සේ සරණ යාම පමණයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමන් වහන්සේ සරණ
යන එක සරණක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කරමින් ඒකාන්තයෙන්ම මේ
ශ්‍රී සද්ධර්මය සත්‍යයක්මයි කියලා සිතන්නට පුළුවන් නම් ඔහුට ලැබෙනවා සරණ.
ශ්‍රාවක සඟ රුවන කියන්නේ, සංසාරගත මහ කෙලෙස් කඳ බිඳ දමමින් සිත් තුළ කුසල් උපදවා
ගත් ඒ ශ්‍රාවක සංඝරත්නය මම සරණ යනවා කියා ධර්මය අසමින් සරණ බලවත් කර ගන්නට පුළුවන්
නම් එතැනයි පිහිට පිළිසරණ තිබෙන්නේ. එහෙම සරණ පතාගෙන සිටින ශ්‍රාවකයාගේ සිත සසර
පුරුදුවලට නො නැමී තිබෙනවා. සරණේ පිහිටලා ශ්‍රද්ධාව ම දියුණු කර ගන්න ශ්‍රාවකයා
දැනුවත් විය යුත්තේ එනිස යි.
ශ්‍රද්ධාවට පුළුවන් පරණ පුරුදු අකාමකා දමන්න. සිත ඇතුලේ හොඳ අදහස්වලින් පුරවා ගන්න
නම් නරක දේ අකාමකා දමන්න ඕනෑ. අප තනි තනිවමයි දන්නේ අප තුළ තිබුණු නරක පුරුදු ගැන
ධර්ම ශ්‍රවණය තුළින් අපගේ ජීවිතවල තිබූ නරක පුරුදු ටික ටික ඈත් වූ බව අපට තේරෙනවා
නම් අපගේ ශ්‍රද්ධාව වැඩිවෙලා.
දේවදත්ත හිමියන්ට ප්‍රබල සමාධියක් තිබුණා. ඒ සමාධිය සෘද්ධි බලයක් තිබුණු සමාධියක්.
අද එහෙම සමාධියක් තිබෙන කෙනෙක් නැතිව ඇති. මනෝමය කයක් මවා ගන්නා ශක්තියක් ඒ
හිමියන්ට තිබුණා. එහෙත් ඒ සමාධි බලයටවත් ඒ පරණ පුරුදු මකන්න බැරි වුණා. ඒ ඔහුට
ශ්‍රද්ධාවක් නො තිබුණු නිසා.
අපගේ සිතේ විටෙක කුසල් රජකරන අතර, තවත් විටෙක අකුසල් රජ කරනවා. තම තමන්ගේ සිතේ
වැඩිපුර රජ කරන්නේ කවුද කියලා තමන්, දන්නවා. වැඩිපුර අකුසල් රජ කරනවා නම් ජීවිතයේ
අන්තිම මොහොතේ දීත් අකුසල් බලවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි පරාදයි. දිනන්න
ඕනෑ නම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගන්න උත්සාහ කරන්න. ශ්‍රද්ධාව වැඩිය යුතු
ධර්මයක්. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය සිහිවෙන සිතක් තිබෙනවා නම්, එය ලස්සන
මනෝභාවයක්. ඒ මනෝභාවයට අකුසල් දුරු කරන්න පුළුවන්. කිසිම සිතක එකවර කුසල් අකුසල්
දෙකම හටගන්නේ නැහැ. මේ දෙකෙන් එකයි හටගන්නේ.
එනිසා මේ ලෝකයේ තිබෙන ලොකුම ජයග්‍රහණය සිත කුසලයෙහි පිහිටවාගෙන, අකුසලය බැහැර
කරමින් ධර්මය වෙත ළං වීම පමණයි.
- නයනා නිල්මිණි |