සුවපත් මනසක් සුවබර දිවියක්
- 29 කොටස:
එළැඹි සිහියේ ආලෝකය
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත
Mindfulness in plain English
(සතිමත් බව වැඩීම) කෘතියෙනි.
බාධාවක් හෝ වෙනත් මානසික තත්ත්වයක් හෝ මුලින් ම හටගන්නේ යටිසිතෙහි ය. එය උඩුසිත කරා
පැමිණීමට මොහොතක් ගතවෙයි. එය ඉතා කෙටි කාල අන්තරයක් වුව ද අල්ලා ගැනීමක් අතිවීමට එය
ප්‍රමාණවත් බැවින් එය ඉතා වැදගත් ය.
අල්ලා ගැනීම ක්ෂණයකින් සිදුවන අතර, එය ද ප්‍රථමයෙන් හටගන්නේ යටිසිතෙහි ය. එම නිසා,
එය අපට තේරුම් ගත හැකි උඩුසිතට ළඟාවන විට ද අප එය තුළ සිරවී හමාර ය. ඒ දෙස බලන අතර,
එය තුළ තව තවත් සිරවී එම ක්‍රියාවලිය දිගටම රැගෙන යාම ඉතා ස්වාභාවික සිද්ධියකි. මේ
වන විට අප සිතිවිලි දෙස පූර්ණ අවධානයෙන් බලනවා වෙනුවට එය සිතන බව සහතික ය. මේ සියලු
ම දේ ක්ෂණයකින් සිදු වෙයි. එය අපහට ගැටලුවක් ඉදිරිපත් කරයි. බාධාව ගැන දැන ගන්නා
විටත් අප එයට හිරවී අවසාන ය.
එය කුමක් ද? එය කොපමණ බලවත් ද? හා එය කොපමණ කාලයක් පවතී ද? යන ප්‍රශ්න තුන මෙම රෝගය
සඳහා ඥානාන්විත ප්‍රතිකාරයකි. මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා බාධාව කෙබඳු
එකක් දැයි අවබෝධ කර ගතයුතු ව ඇත. එසේ කිරීමට නම් අප එයින් මානසික ව දුරස් වී, ඉන්
වෙන් වී ඒ දෙස බාහිර ව බැලිය යුතුයි. විමර්ශනය කරන වස්තුවක් ලෙස එය දැකීමට නම්,
සිතිවිල්ලක් සිතීම හා හැඟීමක් දැනීම නතර කළ යුතුයි. මෙම ක්‍රියාවලිය ම, නොපැටලුණු,
උපේක්ෂා සහගත එළැඹි සිහියෙන් සිටීමේ අභ්‍යාසයකි. එවිට බාධාවේ බන්ධනයෙන් මිදෙන
සිහිය, මූලික අරමුණ වෙත පහසුවෙන් සංක්‍රමණය වන අතර, අවධානය හුස්ම වෙත ආපසු යොමු
වෙයි.
පටන් ගැනීමේ දී, ඔබට, සමහර විට වචන යොදා ගැනීමෙන් මෙය පුරුදු වන්නට සිදුවිය හැක.
වචනයෙන් ප්‍රශ්න අසන ඔබ පිළිතුරු ද වාචිකව ම සපයයි. කෙසේ වුව ද කෙටි කාලයක දී ම වචන
අත්හැරීමට ඔබට හැකි වෙයි.
පුරුදු පුහුණු වූ විට ඔබ බාධාව ද, බාධාවේ ස්වභාවය ද දකිමින් හුස්ම වෙත ආපසු
පැමිණෙයි. මෙය ඉතා කඩිනම් වූ සංකල්පවලින් තොර ක්‍රියාවලියකි. මෙම බාධාව ශබ්දයක්,
දැනීමක්, හැඟීමක්, මනඞකල්පිතයක් වැනි ඕනෑ ම දෙයක් වීමට පිළිවන. එය කුමක් වුව ද,
යටපත් කිරීමට උත්සාහ නොකරන්න. ඔබගේ සිතෙන් එය පිටමං කිරීමට ද වෙර නොදරන්න. එවැනි
දෙයක් කිරීමට අවශ්‍ය නැත. පූර්ණ අවධානයෙන් යුක්ත ව හුදෙක් ම එය නිරීක්ෂණය කරන්න.
වචනයෙන් තොරව බාධාව නිරීක්ෂණය කරන විට එය විසින් ම ඉවත්ව යනු ඇත.
එවිට ඔබගේ අවධානය හුස්ම වෙත ගලායන බව ඔබ දැන ගන්නවා ඇත.
සිත වෙනතක යෑම පිළිබඳ ව ඔබට ම දොස් පවරා නොගන්න. බාධාවන් ඇතිවීම ස්වාභාවික යි. ඒවා
ඇති වී, නැති වී යනු ඇත. මුනිවරයින්ගේ උපදෙස් ද නොතකා ඔබ ඔබව ම හෙළා දකිනු ඇත. එය ද
ස්වභාවික සිදුවීමකි. එම දොස් පැවරීම ද තවත් බාධාවක් සේ දැක ඔබගේ හුස්ම වෙත
හැරී එන්න.
පහත දැක්වෙන සිදුවීම් ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න. හුස්ම ගැනීම; බාධාකාරී සිතිවිලි
පැනනැඟීම; බාධාකාරී සිතිවිලි තුළින් ඉච්ඡාභංගත්වය හට ගැනීම; බාධාවන් ඇතිවීම පිළිබඳ
ව ඔබ ඔබට ම දොස් පවරා ගැනීම; එම දොස් පැවරීම ඔබ විසින් සනිටුහන් කර ගැනීම; ඔබ හුස්ම
වෙත නැවත හැරී ඒම සහ හුස්ම ගැනීම; හුස්ම ගැනීම නිවැරැදි අයුරින් සිදුකරන විට මෙය
ඉතා ස්වභාවික වූ ද පහසුවෙන් ගලා යන්නා වූ ද, චක්රයකි. ඉවසීම ඔබගේ උපායයි. ඉහත
සඳහන් කළ බාධාවන් නිරීක්ෂණය කිරීමට ඔබ ඉගෙන ගත් විට මේ සෑම දෙයක් ම පහසු කාර්යයක්
වෙයි. ඔබ බාධාවන් අතුරින් ලිස්සා යන අතර ඔබගේ අවධානය හුස්ම වෙත පහසුවෙන් යොමු වෙයි.
එසේම, එම බාධාව ම මොහොතකින් යළිත් පැනනැඟීමට ඉඩකඩ තිබෙන බව සැබෑවකි. එසේ සිදුවූ විට
සිහියෙන් එදෙස බලන්න. ඔබ කාලයක් තිස්සේ පවතින සිතිවිලි රටාවක් මෙසේ නිරීක්ෂණය කරයි
නම් බාධා පැමිණීම හා ජය ගැනීමට වසර ගණනක් වුව ද ගතවිය හැක. කලබල නොවන්න. මෙය ද
ස්වභාවික සිද්ධියකි. හුදෙක් ම බාධාව දැකගෙන හුස්ම වෙත හැරී එන්න. මෙම බාධාකාරී
සිතිවිලි සමඟ සටන් නොකරන්න. එය නිශ්ඵල කාර්යයකි. එයට විරෝධය දැක්වීම සඳහා ඔබ යොදවන
සෑම ශක්තියක් ම උපයෝගී කර ගෙන එම සිතිවිලි ධාරිව වඩාත් ශක්තිමත් වෙයි. එබැවින් ඒවා
සිතින් ඉවතට තල්ලු කරන්නට උත්සාහ නොදරන්න. එය කිසිදිනෙක ජයග්‍රහණය කළ නොහැකි සටනකි.
සිහියෙන් එය දකින විට, එය විසින් ම ඉවත් ව යනු ඇත. මෙය පුදුමයක් වුව ද ගැඹුරු
අවධානය යොදන තරමට ම ඒවා දුර්වල වෙයි. දිගු කාලයක් නිතර ම ඒවා දෙස බලා සිටින විට ඒවා
සදහට ම ඉවත්ව යනු ඇත. ඒවා සමඟ යුද වදින විට ඒවාට වඩාත් ශක්තියක් ලැබෙයි. ගැටීමෙන්
තොරව ඒවා දකින විට ඒවා මැකී යනු ඇත.
පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙකු බෝම්බයක් නිශ්ක්‍රීය කරන ආකාරයෙන් ම සිහිය ද බාධාවන්
නිරායුධ කරයි. දුර්වල බාධාවන් එක බැල්මකින් ම නිරායුධ වෙයි. එළැඹි සිහියේ ආලෝකය
වැටෙන විට ඒවා නැවත නොඑන්නට ම වාෂ්ප වී යයි. බන්ධනවලින් මිදීමට නම් ඉතා ගැඹුරින්
මුල් බැස තිබෙන සිතිවිලි රටාවන් සඳහා දීර්ඝ කාලයක් නිරන්තරයෙන් සිහිය පවත්වා ගැනීමට
අවශ්‍යයි.
බාධාවක් සත්‍ය වශයෙන් ම කඩදාසියෙන් තැනූ දිවියෙක් වැනියි. තමාගේ ම බලයක් ඔවුන් සතු
ව නැත. නිතර ම ආහාර නොදුන් විට ඒවා මියයයි. ඔබගේ බිය, තරහ හා තණ්හාව ආහාර ලෙස ලබා
නොදුන් විට ඒවා වියැකී යයි.
භාවනාවේ වැදගත් ම අංගය සිහියයි. වගා කර ගැනීමට ඔබ උත්සාහ දරන මූලික ම දෙය එයයි.
එබැවින් බාධාවන්ට එරෙහි ව සටන් කිරීමට කිසිම හේතුවක් නැත. තීරණාත්මක දෙය වන්නේ
සිදුවන දෙය ගැන සිහියෙන් සිටීම මිස සිදුවන දෙය පාලනය කිරීම නොවේ. සිත එකඟ කිරීම
ආයුධයක් පමණි. පූර්ණ දැනීම හා සසඳන විට එය දෙවන ස්ථානය හිමි කර ගනී.
සිහිය පැත්තෙන් බලන කල බාධාවන් කියා දෙයක් නැත. සිතෙහි නැඟෙන සෑම දෙයක් ම සිහිය
පිහිටුවා ගැනීමේ අවස්ථාවක් ලෙස දකිනු ලැබේ. හුස්ම ගැනීම අප විසින් පනවාගත්
කේන්ද්‍රයක් වන අතර, එය අපගේ අවධානයේ ප්‍රධාන අරමුණ ලෙස භාවිත කෙරේ. බාධාවන්
ද්විතීය අරමුණ ලෙස පාවිච්චි කෙරේ.
මීළඟ කොටස බිනර අමාවක (21) පෝදා අන්තර්ජාල කලාපයේ |