බිනර අව අටවක පෝ දා
2025-09-14
සංවරවීම
ජීවිතයේ අප මුහුණ දෙන බොහෝ ප්‍රශ්න, ගැටලුවලට ප්‍රධානතම හේතුව නොදැමුණු ඉඳුරන් ඇති
බව ය. එසේත් නැතිනම් ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉඳුරන් සංවර ව ආරක්ෂා කර නොගැනීම
ය.
මේ ලොව එළිය දුටු දා පටන් අපගේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට විවිධාකාරයේ අරමුණූු
හමුවේ. එම ඉඳුරන් නොසන්සුන් වන්නේ ඒ අරමුණූ හමුවේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්
ඇලෙන්නට යෑම නිසා ය. ගැටෙන්නට යෑම නිසා ය.
අප දැනුම් තේරුම් ඇති වයසට පැමිණෙත් ම ඕනෑම දෙයක් පිළිබඳ නුවණින් සිතා බලා තීරණ
ගන්නට අපට හැකියාව ලැබේ. ඒ සඳහා අපට උසස් මනසක් ලැබී තිබේ. එහෙත් බොහෝ දෙනකුට තම
මනස නිවැරැදි ව හසුරුවා ගන්නට නොහැකි වී තිබේ. මනස නිවැරැදි ව පාලනය කර ගත නොහැකි
වීම තුළ අසංවර ගති ඉස්මතු වීම වැළැක්විය නොහැකි ය. එහි ආදීනව පෞද්ගලික ව තමන්ට අත්
විඳින්නට සිදුවන අතර පොදුවේ සමාජයට ම බරපතළ ගැටලු ඇති කරන අවස්ථා බොහෝ ය.
අපි තථාගතයන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ වෙමු. බෞද්ධයින්වීම පිළිබඳ බොහෝ තැන්හි අපි
ආඩම්බරයෙන් කතා කරමු. එහෙත් බුදුරජාණන් වහන්සේ, තථාගත ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා
සංඝරත්නය සරණ ගිය පුද්ගලයෙක් ලෙස ඒ බොදු පිළිවෙත් සුරකින වා ද යන්න තමන් ම නුවණින්
විමසා බැලිය යුතු ව තිබේ. ඒ දිනෙන් දින අපට මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න, ගැටලුවලට
අවසානයත්, අඩුවක් නොපෙනෙන නිසා ය.
අපගේ ඇසට පෙනෙන යම් දෙයක් වේ ද, සාමාන්‍ය ස්වභාවය නම් එය පි‍්‍රය රූපයක් වේ නම් ඒ
දෙස ආශාවෙන් බලා සිටීම ය. නැවත නැවත බලමින් එහි ආශ්වාදයක් ලැබීම ය. එයින් ද
තෘප්තියට පත් නොවී එය ළං කර ගන්නට, අයිති කර ගන්නට උත්සාහ ගනී. මේ ස්වභාවය රූපයෙහි
ඇලීම ය. යම් හෙයකින් එම බලාපොරොත්තුව කඩ වූයේ නම් එතැන් සිට ප්‍රශ්න ය. නිරන්තරයෙන්
සිත ඒ වෙනුවෙන් දැවෙන්නට ගනී. ශෝක වේ. තමන් කරන කියන දේ පිළිබඳ තමන්ට ම අවබෝධයක්
නොවේ. එදිනෙදා වැඩකටයුතු අඩාල වේ. විවිධ නොමනා ක්‍රියාවන්ට පවා පෙළඹවීමට ඉඩ තිබේ.
එහෙත් රූපයෙහි ඇත්ත තේරුම් ගත්තා නම්, වෙනස්වීමේ ස්වභාවය, අනිත්‍ය තේරුම් ගත්තා නම්
මෙසේ ඇලීම නිසා දුක උරුම කර ගන්නේ නැත.
කනට ඇසෙන ශබ්දය, නාසයට දැනෙන ගන්ධය, දිවට දැනෙන රසය, ශරීරයට දැනෙන ස්පර්ශය ද
මෙපරිදි ම ය. මේ සියලු දෙය අනිත්‍ය බව වටහා ගත යුතු ය. අසීමාන්තික ව මෙම ඉන්ද්‍රිය
පිනවීමට යාම අසංවරකමකි.
අනුන්ගේ ඕපාදූප සෙවීම, කේලාම්බස් ඇසීම බොහෝ අයගේ ජීවිතය හා බද්ධ වී ඇති සැටි පෙනේ.
මේ සඳහා වැය කරන කාලය තමන්ගේ ජීවිතයේ දියුණුව උදෙසා කැප කළ හැකි ය. අනුන් කවර වරදක්
කළත්, අනුන්ගේ චරිතය කුමන ආකාරයෙන් වුවත්, අනුන්ට මොනතරම් සැප සම්පත් තිබුණත් ඒ ගැන
ඔවුනොවුන් හා තොරතුරු හුවමාරු කර ගත්තාට තමන්ට ලැබෙන ප්‍රයෝජනයක් නැත. සිදු වන්නේ
තමන්ගේ සිත ද දූෂ්‍ය වීම ය. ඊර්ෂ්‍යාවෙන් පෙළී අකුසල රැස්කර ගැනීම ය. මෙසේ
අපිරිසුදු වූ සිත විවිධාකාරයේ රෝගාබාධයන්ට ද හේතු වේ. මේ අසංවර කමේ අවසානය තමන්
මෙලොව ද පරිහානියට පත්ව පරලොව ද දුගතිගාමි වීම ය. සසර ගමන දිගු කර ගැනීම ය.
කන සේ ම අනෙකත් ඉන්ද්‍රිය ද අසංර වන්නේ නම් ප්‍රතිඵලය මෙ පරිදි ම ය. දුක්ඛ දායක ය.
එහෙයින් ඉඳුරන් සංවර කර ගනිමු. යථාර්ථය තේරුම් ගෙන ජීවිතය හසුරවමු. |