මංගල මරණයකට සූදානම් වෙන්න
බුද්ධශාසන අමාත්‍යාංශයේ
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල
අර්හත් ඵලය සාක්ෂාත් කොට යම් කෙනකුගේ කය බිඳී යාම එනම් සම්මුති මරණය ‘පරිනිබ්බානාය’
ලෙස හැඳින්වේ. ‘පිරිනිවීම’ යනු ද එම අර්ථය ම ය. ඉන් පහළ සියල්ලන්ගේ කය බිඳී යෑම
මරණය හෙවත් චුතිය ලෙස ධර්ම සංග්‍රහ කිරීමේ දී ව්‍යවහාර වේ.
කෙසේ වෙතත් පොදු ජීවිත භාවිතයේ දී යම් කෙනකුට සිදුවන සුබ සිදුවීම් සඳහා ‘මංගල’ යන
යෙදුම ව්‍යවහාරිත ය. අසුබ සිදුවීම් විශේෂයෙන් මරණයට අවමංගල යන යෙදුම භාවිත ය. එසේ
තිබිය දී සම්බුද්ධෝත්තමයන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේගේ කය බිඳී යන
අවමංගල්‍යයක දී බෞද්ධ අපි මංගල්‍යයක් සේ සලකා අනුස්මරණය කරන්නෙමු. බුදුරජාණන්
වහන්සේ නමකගේ ඉපදීම, බුදුවීම පමණක් නොව පිරිනිවීම ද අපට මංගල්‍යයක් ම ය. එසේ වන්නේ
කෙසේදැයි ධර්මානුකූල පැහැදිලි කිරීම මේ සටහනේ අභිප්‍රාය යි.
සම්මා සම්බුදු උතුමන් වහන්සේ නමක් මෙලොව පහළ වන්නේ ලැබූ ජීවිතයේ මරණයට පෙර, ලොව ඇති
කාම, රූප, අරූප ත්‍රිවිධ භවයන්හි කොතැනකවත් නැවත නොඉපදෙන සත්පුරුෂ ධර්මයක් තේරුම්
කර දීමට ය. උන්වහන්සේ ඒ වන විට ඒ ධර්මයේ ප්‍රතිලාභ ලබා තමන් වහන්සේ ලැබූ සහනය, සුවය
තම අනුගාමිකයාට ලබාදීම ඒ දේශනාවන්හි පරමාර්ථය යි.
නැවත දෙව්ලොව, බඹලොව වුව ද කොතැනක උපන්නත් මරණ බිය ඇත්තේ ය. දුක් ඇත්තේ ය. එහෙයින්
බුදුරජාණන් වහන්සේ නමක් අප සිටින මේ භෞතික - ලෞකික ස්වභාව ඇති, සම්මත ලෝකය ස්පර්ශ
කොට නැවත නැවත ඉපදෙන බව හා උත්පත්ති කර්ම සෑදෙන අයුරු පැහැදිලි කර දී ඇත. එසේ සාදා
නොගන්නට නම්, නාමරූප දෙක හෙවත් පඤ්චස්කන්ධය එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
සලායතන භාවිත කොට පඤ්ච උපාදානස්කන්ධ කර නොගන්නා ලෙසට සිත එනම් චිත්තය හික්මවා ගත
යුතු බව ය.
ලැබූ මේ ජීවිතයේ දී ම එවන් පුනර්භවයක් නැති මරණයකට යෑමට බුදු වදන් අනුව අපි
සුදුස්සන් බව සඳහන් කළ හැකි ය. ඒ කෙසේ ද? අපි අෂ්ට දුෂ්ට ක්ෂණයකින් හෙවත් නපුරු අට
කරුණකින් මිදී මේ ක්ෂණ සම්පත්තිය ලබා ඇත්තේ වෙමු. ඒ පෙර කළ පුණ්‍ය මහිමයකින් ම ය.
අනතුරුව අපි ත්‍රිපිටකධාරි ධර්ම කථික මහ සඟරුවන ඇසුරෙන් මේ වන විටත් බුදුරදුන්ගේ
දර්ශනය හා බුදු දහම අසා අට තැනක සැකය (විචිකිච්ඡා) නැති ඇත්තෝ වෙමු. එම අට තැන් නම්
බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන්, පෙර භවය, මතු භවය, භව දෙක ම ඇති බව, සික්ඛාපද
පටිච්චසමුප්පාද දේශනා ය. එනිසා ම ශ්‍රද්ධාව ඇත්තෝ වෙමු. මේ දෙකම ඇති අපට ඉතිරි ව
ඇත්තේ ‘විජ්ජාචරණ’ බුදු ගුණවල දක්වා ඇති පසළොස්චරණ ධර්මතාවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම
සංකල්පයෙන් හැසිරීම ය. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම දැන ඒ අනුව හැසිරීම ද මේ සඳහා
බොහෝ උපකාර කරයි.
මහ රහත්හු හා සම්මා සම්බුදුවරු එසේ හැසිර පඤ්ච උපාදානස්කන්ධ ප්‍රහාණය කොට මේ
ජීවිතයේ දී ම සොපාදිශේෂ නිවනත් (සියලු කෙලෙස් ප්‍රහීන කළ පඤ්චස්කන්ධය පමණක් ඉතිරිව
ඇති කයක්) ආයුෂ ඉතිරිව තිබේ නම්, විමුක්ති ඥාන දර්ශනයෙන් යුතුව ඉතිරි ආයු කාලය විඳ
අනුපාදිශේෂ නිවනට
(ඉතිරි ව තිබූ ශරීරය නම් වූ ස්කන්ධ පහ බිඳී යෑම) පත් වේ.
අපගේ ශාස්තෘ ගෞතම සම්බුද්ධයන් වහන්සේ ඉහත දැක්වූ කාල පරාසයන් හි දී මේ නිර්වාණයෝ
දෙක ම සාක්ෂාත් කළ සේක්හ.
එහෙයින් සෝක - පරිදේවාදි දුක් සහිත නැවත භවයකට නොයන හෙයින් බෞද්ධ අපට එය
අවමංගල්‍යයක් නොව මංගල්‍යයකි. අපි ද එවැනි මංගල මරණයකට සුදුස්සෝ වෙමු. මේ තමා නිවන
(මතු භව සාදන භවාංග සිත හිස් ය.) |