රූපය පෙන පිඬකි බිඳි බිඳී ඇතිවන
ශාස්ත්‍රපති අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
බුදුරජාණන් වහන්සේ වෙතින් කමටහන් ලබා ගත් භික්ෂූන් වහන්සේ සියයක් අර්හත්වය ලබනු වස්
වන ගත වෙති. රුක් මුල් සෙනසුන් හි හිඳ උන්වහන්සේ බොහෝ වෙහෙසෙති. එය එසේ වුවත්
උන්වහන්සේ කිසිදු අධිගමයක් ලබන්නට අසමත් වූහ. උන්වහන්සේ යළිත් බුදුරජාණන් වහන්සේ
මුණ ගැසී උන්වහන්සේගෙන් කමටහන් ගත යුතු යැයි තීරණය කරති.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට වැඩම කරවති. එසේ වඩින උන්වහන්සේ දැඩි අව්
රශ්මිය ඇති අවස්ථාවක වඩිති. එහිදී උන්වහන්සේ මිරිඟුවක් දකී. අව්රශ්මිය සුළඟ නිසා
ඈතින් ජලය පවතිනවා මෙන් පෙනෙයි. එතැනට ගිය කල එතැන ජලයක් නොමැත. එහි ඇත්තේ හිස්
බවකි. දෑසට පෙනුනේ මායාවකි.
යළිත් ඒ දර්ශනය ඈතින් දකියි. උන්වහන්සේ මිරිඟුව ගැන සිතමින් වඩිති. මිරිඟුව
සත්‍යයක් නොවෙයි. එය මායාවකි. ඇති බව පෙන්වයි. එහෙත් එහි ඇත්තේ නොවෙයි.
මෙසේ සිතමින් යන උන්වහන්සේට ධාරාණිපාත වැස්සක් මුණ ගැහෙයි. වැස්සෙන් නොතෙමී
සිටින්නට උන්වහන්සේ අසල වූ මඩුවකට වඩිති. මඩුවෙහි වහළට වැටෙන වැසි ජලය බිමට වැටෙයි.
එවිට පොළොවට වැටෙන දිය බුබුළු දකියි. දිය බුබුළ හට ගනියි. එසැණින් විනාශ වෙයි. නැති
වෙයි. යළි වෙනත් දියබුබුළක් හට ගනියි. එය ද එසේ වෙයි. භික්ෂූන් වහන්සේ ඒ ස්වභාවය
ගැන සිතමින් එහි සිටිති.
මේ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයට මේ භික්ෂූන් වහන්සේ දක්නට ලැබෙයි.
උන්වහන්සේ තමන් වහන්සේගේ හඬින් මේ භික්ෂූන් වහන්සේට ශ්‍රවණය කරන්නට ගාථාවක් දේශනා
කරති.
බුදු දහම තුළ ලෝකය වශයෙන් දකින්නේ පුද්ගලයා යි. පුද්ගලයාගේ ස්වභාවය දැකීම ලෝකය
දැකීමකි. ලෝකය දැකීම යනු පුද්ගලයා දැකීමකි. මිරිඟුවකට හා දිය බුබුළකට උපමා කරන්නේ
පුද්ගලයා යි. පුද්ගල ජීවිතය යි.
පුද්ගලයා හා පුද්ගල ක්‍රියාකාරීත්වය මිරිඟුවකි. දුකෙහි ඇලී ගැලී සිටින පුද්ගලයා
සතුට සොයයි. ඒ සඳහා ඔහු විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරයි. කුඩා කල ඉගෙන ගනියි.
විභාග සමත් වෙයි. රැකියා කරයි. ගෙවල් දොරවල් තනයි. යාන වාහන ගනියි. ආවාහ විවාහ
වෙයි. අඹු දරුවන් පෝෂණය කරයි. මිල මුදල් රැස් කරයි. ගේ දොර වතු පිටි රැස් කරයි.
ආභරණ රැස් කරයි. නිලතල ලබයි. නම්බුනාම ලබයි. මේවා ලබන්නට යහපත් මෙන් ම අයහපත්
ක්‍රියාකාරකම් හි නිරත වෙයි.
දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ, වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වන්නේ, බණ
අහන්නේ, , බණ කියන්නේ මේ සියල්ල කරන්නේ ඉහත කී දේ ලබන්නටයි. ඒ තුළින් ලාභ, කීර්ති,
ප්‍රශංසා, සැප ලබයි. එහෙත් ඔහු එයින් සෑහීමකට පත් නොවෙයි. ඔහු හිතන්නේ සතුට
තිබෙන්නේ තමා සිටින තැන නොව ඊට එහා ලෙසයි.
මිනිසුන් සමාජ විරෝධි, නීති විරෝධි ක්‍රියාවන්හි යෙදෙන්නේත් මේ කරුණ පදනම් කොට
ගෙනයි. අවි ආයුධ විකුණන්නේ, සතුන් විකුණන්නේ, මස් විකුණන්නේ, වස විස විකුණන්නේ, මත්
පැන්, මත්ද්‍රව්‍ය විකුණන්නේ ඉහත කී දේ ලබන්නටයි. මත්ද්‍රව්‍ය විකුණයි. ජාවරම්
කරයි. මිනිසුන් මරයි. කුලියට මිනිසුන් මරවයි. වැරැදි අයුරින් කම් සැප විඳියි. කම්
සැප විඳීමට අනුබල දෙයි. කම් සැප විඳීම ම ජීවිතය යි කියා සිතයි. අන් සතු දේ තමාට
අයත් කර ගන්නට සිතයි. සොරකම් කරයි. අන් අය ලවා සොරකම් කරවයි. සොරකම් කරන්නට උපක්‍රම
යොදයි. බොරු, කේළාම්, පරුෂ වචන, හිස් වචන කියයි. කියවයි. දකින දකින දේ තමන්ට අයත්
කර ගන්න, අහන අහන දේ තමන්ට අයත් කර ගන්න, ආඝ්‍රාණය කරන කරන දේ තමන්ට අයත් කර ගන්න,
අසීමිත ආසාවෙන් කටයුතු කරයි. විසම ආසාවෙන් කටයුතු කරයි. පුද්ගලයා ගින්නක් සේ ය.
කෙතරම් දේ දැම්මත් පුච්චයි. දැන් ඇති යයි නොකියයි. පාරක් වැනි ය. මිනිසුන් කෙතරම්
ගිය ද ඇති යැයි නොකියයි. ජල පහරක් වැනි ය. කෙතරම් මිනිසුන් එහි නෑව ද දැන් ඇති යැයි
නොකියයි. කහවනු වැස්ස ද දැන් ඇති යැයි නොකියයි. මේ කටයුතු තුළින් අලාභ, අපකීර්ති,
නින්දා, දුක් ලබයි. එසේ වුවත් ඒ දේ කරයි. පසු තැවිල්ලෙන් දුකින්, කනගාටුවෙන්
සිටියි. සතුටක් නැත. සතුට ලබන්නට කළ දේ තුළින් අසතුට එක් කර ගනියි. මිරිඟුවක් වැනි
ජීවිතයක් ගත කරයි.
නියං කල පිපාසිත මුවන් මිරිඟුව පසු පස්සේ දුව ගොස් ජලය නොලබා වෙහෙස ලබන්නා සේ
පුද්ගලයා ද සතුට ලබන්නට මිරිඟුව පසු පස්සේ දිවීම කරයි. වෙහෙසට පත් වෙයි. දුකින්
අසහනයෙන් සැඳෑ සමය ගත කරයි.
දුකට හේතුව ජීවිතය නොදැකීමයි. ජීවිතය දැකිය යුත්තේ දියබුබුළක් සේ ය. මිරිඟුවක් සේ
ය. දිය බුබුළ හටගනියි. හටගත් සැණින් නැති වෙයි. විනාශ වෙයි. යළි යළිත් ඒ ස්වභාවය
දැක්ක හැකි ය. ජීවිතය මිරිඟුවක් සේ ය. මිරිඟුව සත්‍ය නොවේ. මායාවකි. එහි ඇත්තේ හිස්
බවකි.
පුද්ගලයා යනු ස්ඛන්ධ පහකි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤා යනු එම ස්ඛන්ධ පහයි.
රූපය යනු අපගේ රූපය යි. හැඩය යි. මේ කය යි. එය අසාර ය, නිස්සාර ය, සරු බවින් තොර ය.
විටින් විට වෙනස් වෙයි. නිත්‍ය නැත. අනිත්‍යයි. රූපය තුළ වූ ඇස්, කන් නාසා, දිව,
ශරීරය අනිත්‍යය යි. මොහොතින් මොහොත වෙනස් වෙයි. ඊට අමරණු වන රූප, ශබ්ද, ගන්ධ, රස,
ස්පර්ශ, අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ රූපය පෙන පිඬුවකට උපමා කරන්නේ මේ නිසා ය.
ගලා බසින දිය පාරවල දිය බිඳු ගල් මුල් වල හැපී පෙන පිඬක් ඇති වෙයි. සෑම මොහොතක ම
දකින්නේ එකම පෙන පිඬක් නොව මුල් පෙනපිඩ විනාශ වී, නැති වී ජලය සමඟ ගලා බසියි.
අප ඊළඟ වර දකින්නේ වෙනත් පෙනපිඩකි. රූප, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී ලෙස මහා භූත
රූපයන් තුළින් ප්‍රකට කරයි. එසේ කළ විට ද එය තුළ කැඩීම්, බිඳීම්, වෙනස්වීම් ලක්ෂණ
තුළින් යුක්ත බැවින් එහි ද ඇත්තේ නිත්‍ය නොවන අනිත්‍ය භාවයකි. එමෙන් ම රූපය කොටස්
තිස් දෙකකට කඩයි. ඒ දෙතිස් කුණප රූප නම් වෙයි. කෙස්, ලොම්, නිය, දත් ආදි වූ මේ තිස්
දෙක ගත් විට ද එය නිත්‍ය නොවේ. අනිත්‍යයි. කැඩෙයි. බිඳෙයි. වෙනස් වෙයි.
වේදනාව ද නිත්‍ය නැත. අනිත්‍යයි. සුඛ, දුක්ඛ, උපෙක්ඛා ආදී ලෙස වේදනා පවතී. සුඛ
වේදනාව සැම විට ම සුඛ නොවෙයි. විටෙක සුඛ වේදනාව ම දුකක් වෙයි. කෙනකුට වූ සුඛ වේදනාව
තව කෙනකුට දුකකි. දුක්ඛ වේදනාවන් මේ අයුරින් වෙනස් වෙයි. මේ වෙනස බුදුරජාණන් වහන්සේ
දිය බුබුළකට උපමා කොට දක්වති. කුඩා දිය අංශු වාතය හා එක්ව දිය බුබුළ සකස් වෙයි.
අලංකාර ය, විනිවිද පෙනෙයි. ඇතුළත ශූන්‍යය යි. නිමේෂයකින් කැඩී යයි. අප විඳින දේ තුළ
ද මේ අනිත්‍යතාව දක්නට ලැබෙයි.
හඳුනා ගන්නා දේ සඤ්ඤාවයි. මේ සඤ්ඤාව තුළ ද නිත්‍ය නොවන අනිත්‍ය ස්වභාවය, කැඩෙන,
බිඳෙන ස්වභාවය, වෙනස්වන ලක්ෂණය හා ශූන්‍ය භාවය පවතියි. සඤ්ඤාව මිරිඟුවක් වැනි යැයි
බුදුරජාණන් වහන්සේ උපමා කරයි. මිරිඟුව තුළ ද ඒ ලක්ෂණ එලෙස ම දැක්ක හැකි ය.
සංස්කාර යනු රැස් කරන දේ ය. භෞතික, අභෞතික ආදි වශයෙන් විවිධ දේ අප රැස් කරයි. රැස්
කරන සියල්ල නිත්‍ය නොවේ. අනිත්‍ය වේ. ස්ථිර නොවෙයි. අස්ථිරයි. වෙනස් වෙයි. හරයක්
නැත. කෙසෙල් ගසක පතුරු ඉවත් කරමින් ගිය කල සියලු පතුරු ගැලවී යයි. එහි මැද අරටුවක්
දැක්ක නොහැකි ය. ඒ නිසා ම බුදුරජාණන් වහන්සේ රැස් කරන දේ කෙසෙල් කඳකට උපමා කරති.
විඤ්ඤාණය යනු අප ව මේ සියල්ල සඳහා මෙහෙයවන මෙහෙයුම් කරුයි. ඔහු මායා කරුවෙකි.
ඉන්ද්‍රජාලිකයකු යැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකට කරති. විටෙක පි‍්‍රය යැයි කියන දේ
විටෙක ඔහු පි‍්‍රය නොවන බව දක්වයි. විටෙක සැප යැයි කියූ දේ විටෙක දුක යැයි කියයි.
මේ අයුරින් විඤ්ඤාණය ද නිත්‍ය නොවේ. අනිත්‍ය වේ. වෙනස් වෙයි.
මේ අයුරින් ජීවිතය දිය බුබුළක් සේ දැකිය යුතු වෙයි. ඉහතින් දැක් වූ රූපාදී
ස්ඛන්ධයන්ගේ පොදු ලක්ෂණය වන්නේ අසාරයි. නිස්සාරයි. සාරය බැහැර කරයි. අනිත්‍යයි.
දුක්ඛයි. අනාත්මයි. මේ දැක්ම අප තුළ ගොඩනැඟෙනවිට යථාර්ථය දකියි.
යථාර්ථය තුළ ජීවත්වන විට ගැටුම් ඇති නොවෙයි. අප ගැටුම් ඇති කර ගන්නේ මේ යථාර්ථය
නොදන්නාකම නිසා ය. මට ගැහුවා, මට බැන්නා, මා සතු දේ පැහැර ගත්තා, මාව පැරැද්දුවා
යැයි වෛර කරයි. එහෙත් ගැහුව කෙනෙකු නැත. ගුටි කෑ කෙනකු නැත. එසේ නම් වෛර කරන්නේ
කවරකු ද?
අලුත් ම කෙනෙකු අලුත් ම කෙනකුට ය. |