[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උගත් ධර්මය ජීවිතයට ප්‍රායෝගික කර ගන්න

උගත් ධර්මය ජීවිතයට ප්‍රායෝගික කර ගන්න

මෙකල බොදුනුවන් අතර ධර්මාවබෝධය සඳහා බලවත් උනන්දුවක් පවතිනු දක්නට ලැබේ.

ධර්ම කරුණු දැන ගැනීම සඳහා වන ක්‍රම මෙකල බහුල වුව ද, නිර්වාණගාමී ප්‍රතිපදාවට අවතීර්ණ වීමේ සිට නිවන් අවබෝධ කර ගැනීම දක්වා වන නොයෙක් පියවරයන් හි දී, උගත් ධර්මය නිසි ලෙස අනුගමනය කිරීම බෙහෙවින් අවම වී ඇත. එනම්, ක්‍රමයෙන් නිවනෙහි ප්‍රමාදවන බෞද්ධ සමාජයක් බිහිවෙමින් පවතී.

තම ධර්ම ඥානය වැඩිදියුණු කර ගැනීමට උත්සාහවත් වන සැදැහැවතුන්හට තම ප්‍රමාදයට කරුණු සොයා ගැනීම පහසුවිය හැකි ය. සෝවාන් ආදී උසස් ඵල නොලද ද, නිර්වාණගාමි ප්‍රතිපදාව පිරීමට අවශ්‍යවන දහම් කරුණු දන්නා තැනැත්තා, තම ප්‍රමාදයට හේතුව තමා වෙත ම මිස ධර්මයට නොපවරයි. නමුත්, ධර්මය ගැඹුරු ලෙසින් තේරුම් නොගත් තැනැත්තා තම ප්‍රමාදයන් හි දී ධර්මයට දොස් පවරමින් ධර්මයෙහි අඩුපාඩු දකී.

තවමත් ලොව දෙස අවිද්‍යාවෙන් යුතු ව දැකීමට හුරු වී ඇති අප කොතෙකුත් ධර්මාවබෝධය ලැබුව ද, උගත් දහම් කරුණු ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගැනීමේ දී පසුගාමී වෙමු. වෙහෙස මහන්සියෙහි ප්‍රමාණයට ම ප්‍රතිඵල නොලැබීම පිළිබඳ ව කනගාටු වෙමු. බලාපොරොත්තු වූ කාලය තුළ ප්‍රතිපල ලබා ගැනීමට නොහැකිවීම පිළිබඳ ව කනගාටු වෙමු.

නිවන් අවබෝධ කර ගැනීම පිණිස උගත් ධර්මය පිළිපැදිය යුතු බව සත්‍ය නමුත්, නිවැරැදි ධර්මාවබෝධයක් ඇතිවිට නිවන සාක්ෂාත් කර ගැනීම ඉක්මනින් සිදුවිය යුතු නොවේ ද? මෙම ලිපියෙහි විස්තර දක්වනුයේ එසේ ගැඹුරු ධර්මාවබෝධයක් ඇති අයකුටත් නිවන ප්‍රමාදවීමට බලපාන හේතූන් අතරින් එක් හේතුවක් පිළිබඳව යි. අප තවමත් නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි පුහුණුව ලබමින් සිටින අය වීම මෙම හේතුව යි.

සසර දුකින් මිදීම පිණිස තණ්හාව ක්ෂය කළ යුතු ය. වර්තමානය වැනි බුද්ධෝත්පාද කාලයක දී පමණක් ලද හැකි සුවිශේෂ වූ ඉගැන්වීම වූ කලි “චතුරාර්ය සත්‍ය දේශනාව“ යි. නිමා නොවන සසර ගමනෙහි තමා විඳි සියලු ආකාරයේ වද වේදනා, සිත්තැවුල් සමූහය අවසන් කිරීම පිණිස දතයුතු සියල්ල සාරාංශයක් වශයෙන් එම දේශනාවෙහි ඇතුළත් හෙයින්, නුවණැත්තා, ශ්‍රද්ධාව පෙරටු ව චතුරාර්ය සත්‍යය ධර්මය පිළිගෙන ආර්ය ප්‍රතිපදාව පිළිපැද “තණ්හාව“ සර්වාකාරයෙන් ම දුරුකරයි.

තණ්හාව ක්ෂය කිරීම සඳහා වන නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි පළමු පියවර නම් බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ දේශනා කරනු ලබන ධර්මය, එම ධර්මයට අනුව නිවන් පිණිස පිළිවෙත් පුරන සංඝයා වහන්සේ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති කර ගැනීම යි. “ත්‍රිවිධ රත්නය සරණයාම” යනුවෙන් මෙම පිළිවෙත කෙටියෙන් හැඳින්වේ.

නිවන් මඟට අවතීර්ණ වීමට බලාපොරොත්තු වන අයකුට බොහෝ වෙහෙසක් ගත යුතු වන්නේ ත්‍රිවිධ රත්නය සරණ යාමට යි. එනම්, ත්‍රිවිධ රත්නය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට යි.

බුදුරජාණන් වහන්සේ යනු කවාරාකාරයේ ප්‍රතිපත්තීන් අනුගමනය කරන උතුමකු ද? කවරාකාරයේ ප්‍රතිපත්තියක් අනුමත කරන ශාස්තෘවරයෙක් ද? උන්වහන්සේගේ මූලික ඉගැන්වීම කුමක් ද? බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඉගැන්වීම් සඳහා පදනම් කර ගන්නේ කවර න්‍යායක් ද? ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, ධර්මය පිළිබඳවත්, සංඝයා වහන්සේ පිළිබඳවත් කරුණුූ දැන ගැනීමෙන් විශ්වාසයක් ඇති කර ගතයුතු ය. එසේ මනා විශ්වාසයක් ගොඩනැඟුණු පුද්ගලයා හෙවත්, ත්‍රිවිධ රත්නය පිළිබඳ කරුණු, දැන ගැනීමෙන්, පැහැදීම ඇති කර ගත් තැනැත්තා, “ඒකාන්තයෙන් ම තමා විසින් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේ ලෙස පවත්වා ගත යුතු ය.” යි තීරණය කර ගනී. උන්වහන්සේ දේශනා කළ පිළිවෙත් අනුගමනය කිරීමට ඉටා ගනී. එනම්, බුද්ධ රත්නය සරණ යයි. එලෙස ම, ධර්ම රත්නය සරණ යයි, සංඝ රත්නය සරණ යයි.

මෙලෙස ත්‍රිවිධ රත්නය සරණ ගිය තැනැත්තා ඉන්පසු බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කර, ගිහි ව සිටිමින් හෝ පැවිදි ජීවිතයක් ගත කරමින් හෝ ධර්මය ප්‍රගුණ කර අවසානයේ නිර්වාණය සාක්ෂාත් කර ගනී.

නිවන් අවබෝධ කර ගැනීමට තීරණය කර ගත් තැනැත්තා විසින් කවර කලෙක වුව ද අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත හෙවත්, නිවන් අවබෝධ කර ගැනීමට ඇති එක ම මඟ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ නොසිටිය ද, උන්වහන්සේ දේශනා කළ ධර්මය ජීවමාන ව පවතින බැවින්, නිවනෙහි රසය වැටහුණු තැනැත්තා, කෙසේ හෝ උත්සාහවත් වී තමාගේ ආධ්‍යාත්මික දියුණුවට අවශ්‍ය ධර්ම කොටස් සොයා උගෙන, ධර්මාවබෝධය ලබා, ධර්මය ප්‍රගුණ කර නිවනින් සැනසී වදාරන්නේ ය.

මෙකල ඇතැම්හු, තමා නිවනෙහි මන්දෝත්සාහී වීමට හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ නොසිටීම දක්වති. පෙර ආත්ම භාවයන් හි දී ධර්මය දැන ගැනීමට උත්සාහවත් වූ, ධර්ම රසයෙහි ඇලුණු තැනැත්තා, බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටින කලෙක වුව ද ධර්මයට යොමු වී නිවන් දකින්නේ ය.

නමුත්, ධර්මය දැන ගැනීමට වඩා කාම සම්පත් එක්රැස් කරමින් සිටීමට යොමු වූ තැනැත්තා, බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛයේ දී වුව ද ධර්මාවබෝධය නොලබන්නේ ය. එබැවින්, මෙකල වුව ද, චතුරාර්ය සත්‍ය ධර්මය ආදී වූ ගැඹුරු දහම් නොනැසී පවතින බැවින්, වුවමනාව ඇති තැනැත්තා කෙසේ හෝ එම ධර්මය සොයා ගොස්, අරි අටඟි මඟට යොමු ව නිවන් දකින්නෝ ය. එබැවින් යම් කෙනෙක් නිවනෙහි අලවා තබන්නේ ස්වකීය කැමැත්ත හෝ අකමැත්ත හෝ මිස බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩසිටීම නොවේ.

“බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නම් තමා නිවන් දකිනු ඇතයි කීම නිවන කෙරෙහි සත්‍ය වශයෙන් ම නොඇලුණු ඇතැමුන්, තමාගේ වරද ආවරණය කර ගැනීමට භාවිත කරන උපක්‍රමයක් ම පමණි.

බිනර අව අටවක

සැප්තැම්බර් 14 ඉරිදා පූ.භා. 05.06 අව අටවක ලබා 15 සඳුදා
පූ.භා. 03.09න් ගෙවේ.
14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]