[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුස්කොළ පොතේ සිතුවම් වූ පුරාණ සිත්තරාගේ සෞන්දර්ය ප්‍රකාශනය

පුස්කොළ පොතේ සිතුවම් වූ පුරාණ සිත්තරාගේ සෞන්දර්ය ප්‍රකාශනය

පුරාණ ලක්දිව සිතුවම් කලාව පිළිබඳ ව අවධානය යොමු කරන විට බොහෝ විට කතිකාවට ලක්ව ඇත්තේ ගල්ලෙන් හෝ මැටි වරිච්චි හෝ ගඩොල් බිත්ති මත හෝ අඳින ලද සිතුවම් පිළිබඳ ව පමණක් බව පෙනේ.

එම නිසාවෙන් පුස්කොළ පොත් සිතුවම් කලාවක් පුරාණයේ පැවැතියේ ය යන්න පවා සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත ව නොමැත. අනුරාධපුර යුගය හා පොලොන්නරු යුගයන් තුළ දී පුස්කොළ පොත් මත සිතුවම් ඇඳි බවට පුරාවිද්‍යාත්මක හෝ සාහිත්‍ය මූලාශ්‍ර සාධක නොලැබේ. සංක්‍රාන්ත්‍රික අවධියේ දී කරන ලද පුස්කොළ පොත් කිහිපයක සාධක ලැබී ඇති අතර, මහනුවර යුගයේ දී ඇති වූ ලේඛන ප්‍රබෝධයත් සමඟ මෙම කලාව වර්ධනය වී ඇති බව පෙනේ.

පුස්කොළ පොත් සිතුවම් කලාව ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනාගත හැකි අතර ඒවා නම් පුස්කොළ පොත් කම්බා සිතුවම් හා පුස්කොළ පිටපත් සිතුවම් ලෙස ය.

දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී කරනු ලැබී යැයි සලකන චුල්ලවග්ගපාලි පුස්කොළ අත්පිටපතේ පොත් කම්බයේ බහුවර්ණික රූපසටහන් දක්නට ලැබේ. එසේම මෙම අවධියේ ම කරන ලද සාරත්ථදීපනී විනය ටීකා පුස්කොළ පොත් කම්බයේත් ඒකවර්ණ සිතුවම් දක්නට ලැබෙන බව පැවසේ.

පුස්කොළ පොත් කදම්බයන්හි සිතුවම් නිර්මාණ ක්‍රමයක් පැවැති අතර, මේ පිළිබඳ ව අපූර්වතම විග්‍රහයක් ආරිය ලගමුව මහතා ඉදිරිපත් කර තිබේ. පොත් කම්බා විසිතුරු කිරීම සඳහා කැටයම් සහිත හෝ කැටයම් රහිත හෝ යන කම්බා වර්ග දෙකොටසේ ම ස්වභාවික වර්ණ භාවිතයෙන් හෝ ලාක්ෂා භාවිතයෙන් සිතුවම් කිරීම විශේෂ ලක්ෂණයකි.

කැටයම් සහිත කම්බාවල පිටත ස්ථරය සිතුවම් කරන ලද්දේ අල්ප වශයෙනි. එය ද සිතුවම් කිරීමක් නොව කැටයමට ගැළපෙන පරිදි එහි වර්ණ ගැන්වීම යි. කැටයම් රහිත ව ඉතා විසිතුරු ලෙස විවිධ මෝස්තරවලින් අලංකාර කර තිබේ. ඇත්දත්, ලෝහ හා පුස්කොළ යන ද්‍රව්‍යවලින් නිර්මාණය කළ කම්බා ද සිතුවම් කර ඇත. මෙම කම්බාවල සිතුවම් වැඩ පුස්කොළ පොත් නිර්මාණ ශිල්පීන් විසින් ම කරන ලද බව සිතිය හැකි අතර, ලාක්ෂා ශිල්පීන් හා සිත්තරුන් විසින් ද කරන්නට ඇති බවට මත තිබේ. ඒ බව එස්.පී. චාර්ල්ස් මහතා ද සඳහන් කර තිබේ.

පොත්කම්බාවල වර්ණ භාවිතයෙන් සිතුවම් ඇඳීමේ දී විවිධ තෙළිකුරු භාවිත කර ඇති අතර, ලාක්ෂා භාවිත කර පොත් කම්බා අලංකාර කිරීමේ දී නියපොතු වැඩ නමැති ශිල්ප ක්‍රමය අනුව අතින් සිදුකර ඇත.

පුස්කොළ පොත් කම්බා මත පමණක් නොව එහි අන්තර්ගත පුස්කොළවල ද සිතුවම් ඇඳීමේ තාක්ෂණය එකල සිත්තරුන් දැන සිට ඇති අතර, පොත් කම්බාවල සිතුවම් සිත්තරුන් විසින් කරන්නට ඇතැයි අනුමාන කළ හැකි වුව ද පුස්කොළ මත කරන ලද සිතුවම් එම පුස්කොළ ලියන ලද පිරිස් ම කරන්නට ඇතැයි ද සිතිය හැකි ය. නමුත් සිතුවම් ඇඳීම සඳහා අවශ්‍ය ඉඩකඩ තබා පුස්කොළ ලියන්නන් එය ලියා සිතුවම් ඇඳීම සිත්තරුන්ට පැවරුවා ද විය හැකි ය.

මෙම සිතුවම් නිර්මාණයේ දී දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිත නොකළ ද එය ඉතාමත් ම සංකීර්ණ කාර්යයක් වූවාට සැක නැත. මෙරට පුස්කොළ පොත්වලින් අතළොස්සක් හැර සියල්ල ම පාහේ වර්ණවත් සිතුවම්, මෝස්තර රටා සහ විවිධ කැටයම් වැඩවලින් අලංකාර කළ පොත් කම්බාවලින් සමන්විත වේ.

එහෙත් පුස්කොළ පොත් ප්‍රමාණයට සාපේක්ෂ ව පුස්කොළයන්හි අඳින ලද රූපසටහන් හා චිත්‍ර ඉතා අල්ප බව පෙනේ. බිත්ති, සෙල්පුවරු, පෙතිකඩ, දැව, කැන්වස්, කඩදාසි වැනි පුළුල් පසුතලයක් සහිත ද්‍රව්‍ය මත අඳින ලද සිතුවම්වල දී ශිල්පියාට අවශ්‍ය පරිදි රූපවල ප්‍රමාණය නිශ්චය කර ගත හැකි ය. එහෙත් පුස්කොළවල සිතුවම් ඇඳීමේ දී පසුතලය ඉතා සීමිත ය. එම සීමිත පසුබිම තුළ විශාල චිත්‍ර ඇඳීමේ නිදහසක් නොවීය. එබැවින් මේ රේඛා චිත්‍ර ඉතා කුඩා ප්‍රමාණයේ චිත්‍ර කලාවක් ලෙස හැඳින්විය හැකි ය. මේවා බොහෝ දුරට ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යයේ හෝ බෙංගාලයේ පාල රාජ වංශයේ පාලන යුගයේ (ක්‍රි.ව. 11 වැනි සියවසේ) “ලඝු චිත්‍ර” කලා සම්ප්‍රදායට සමාන ය. එසේම පසුබිම් සැකැස්ම මහනුවර යුගයේ චිත්‍ර කලා සම්ප්‍රදායට සමාන වේ.

මෙම යුගයේ විහාර දේවාලවල බිතු සිතුවම් පටු තීරුවල අඛණ්ඩකථන ක්‍රමයට නැතහොත් රාහු ලෙස බෙදන ලද කුඩා පසුබිම්වල ඇඳ තිබේ. මෙම ක්‍රම දෙක ම පුස්කොළ පොත්වල රේඛා චිත්‍ර සඳහා ද අනුගමනය කර ඇත. මේ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ විහාර චිත්‍ර කලාව පුස්කොළ පොත් චිත්‍ර කලාවට බලපා ඇති බවයි. ඒ අනුව විහාර බිතුසිතුවම් නිර්මාණ තාක්ෂණය මෙන් ම පුස්කොළ රේඛා සිතුවම් නිර්මාණ තාක්ෂණය ද එකල සිත්තරුන් මනාව ග්‍රහණය කරගෙන තිබූ බවට අනුමාන කළ හැකි ය.

පුස්කොළ රේඛා චිත්‍ර ඇඳීම සඳහා භාවිත කර ඇත්තේ පන්හිඳ පමණි. ජ්‍යාමිතික මෝස්තර රටා සඳහා පමණක් කොම්පාසුව, කෝදුව හා කවකටුව භාවිත කරන්නට ඇත. පන්හිඳ පමණක් භාවිතයෙන් චිත්‍රයක් ඇඳීම අති දුෂ්කර කාර්යයක් වන අතර, එසේ අඳින ලද කිසිවක් නැවත මැකිය නොහැකි ය. එබැවින් පන්හිඳෙන් අඳින ඉරි කැබැල්ල පවා ඉතා සුක්ෂම ලෙසත්, අලංකාරවත් ඇඳිය යුතු වේ. ඒ සඳහා මෙම සිතුවම් කලාව පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් ද, කුසලතාවක් ද, පුහුණුවක් හා දැනීමක් ද ශිල්පියාට තිබිය යුතු ය.

බොහෝ විට මෙම සිතුවම් තනි වර්ණයකින් සමන්විත වන නමුත් බොරලැස්ගමුවේ ධම්මදස්සී විහාරයේ සූවිසි විවරණය හා වෙස්සන්තර ජාතකය අඩංගු වී තිබෙන පුස්කොළ පොතේ උඩරට බිතු සිතුවම්වලට සමාන ලෙස රූප එක වර්ණයකින් ද, පසුබිම වෙනත් වර්ණයකින් ද නිරූපණය කර ඇත.

මේ අනුව වර්ණ කිහිපයකින් චිත්‍රණය කරන ලද පුස්කොළ පොත් පැරැණි යුගයේ තිබෙන්නට ඇති බව අනුමාන කළ හැකි ය. එහිදී පළමුවෙන් චිත්‍ර ඇඳ ඒවා වර්ණ ගන්වා පසුව පසුබිම වර්ණ ගැන්වීමේ තාක්ෂණික ක්‍රමයක් ඒ සඳහා භාවිත කරන්නට ඇත. නමුත් බහුල ව හමුවන්නේ ඒකවර්ණ පුස්කොළ සිතුවම් වන අතර, මෙම සිතුවම් දැකගත හැක්කේ කළු මැදීමෙන් අනතුරුව ය. (කුරුණෑගල සාහිත්‍ය සම්මේලනයේ දේශන අංක 5. 1965.13)

මේ අනුව පෙනී යන්නේ බහුල ව සාධක නොලැබුණ ද, සාමාන්‍ය ජන සමාජයේ ප්‍රචලිත නොමැති වුව ද අපේ පුරාණ සිත්තරා ලේඛන කලාව තුළ ද තමන්ගේ සෞන්දර්ය ප්‍රකාශනය දිගහැර ඇති බවයි.

බිනර අව අටවක

සැප්තැම්බර් 14 ඉරිදා පූ.භා. 05.06 අව අටවක ලබා 15 සඳුදා
පූ.භා. 03.09න් ගෙවේ.
14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]