[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ණය වී දන් පුදා දෙලොව යහපත සදාගත් හැටි

ණය වී දන් පුදා දෙලොව යහපත සදාගත් හැටි

රුහුණ රාජධානිය ප්‍රසිද්ධ වුණේ කෘෂිකර්මාන්තයට. මේ කාලයේ රුහුණු රාජ්‍යයේ ‘ගැලබුන්කඩ‘ කියන ගමට සැතපුම් ගණනක් ඈතින් තිබුණා ශ්‍රද්ධාවෙන් ජීවත් වන මිනිසුන්ගෙන් පිරුණු ගමක්. හැබැයි ඒ අය හරිම දුප්පත්.

මේ ගමේ හිටියා එක පියතුමෙකුයි ඔහුගේ දියණිය යි. මේ දෙන්නා පමණයි නිවෙසේ ඉඳලා තියෙන්නේ. ඉතින් පියතුමාත්, දියණියත් දන් පින්කම් කරන්න හරිම කැමැතියි. තමන්ට කන්න බොන්න නැතත් දන් දෙන්න නම් සිත පිරිලා තිබුණා.

එක් කාලයක දී හදිස්සි කටයුත්තකට මේ අයට කහවණු දොළහක් ණය වෙන්න වුණා. නියම කර ගත් දිනයට ඒ ණය ටික ගෙවා ගන්නත් බැරි වුණා. ඒ නිසා දියණියට සිදු වුණා ඒ නිවසේ බැලමෙහෙවර කරන්න යන්න. පියතුමාටත් සිදු වුණේ කදුළු සලමින් ඒ වැඩේට කැමැති වෙන්න.

ඉතින් ඒ ධනවත් උදවිය දියණිය ව ගෙන ගියා මාගම රාජ්‍යයට. ඇය ව ආපහු නිවසට ගෙන එන්න නම් කහවණු දොළහක් හොයා ගන්න ඕන. රැකියාවක් විදිහට පියතුමා කළේ තැන් තැන්වලට ගිහින් වැඩක් කරලා මුදල් ලබා ගන්න එක. ඉතින් දියණිය ගිය දවසේ ම ඉවසා ගන්න බැරි වේදනාවෙන් ගම පුරාම ඇවිද්දා රැකියාවක් හොයා ගන්න. ඒත් ලැබුණේ නෑ. ඊට පස්සේ ගමෙන් ටික ටික ඈත් වෙමින් රැකියාවක් හොයාගෙන ඇවිද ගෙන යන්න වුණා. එවිට අර කලින් කියපු ගම ‘ගැලබුන්කඩ‘ කියන ගමට ටිකක් ඈතින් හම්බ වුණා උක් හකුරු හදන කර්මාන්ත ශාලාවක්. ඉතින් රැකියාවක් ඉල්ලාගෙන එතැනට ගියා. ගිහින් රැකියාවක් ඉල්ලා සිටියා.

එතකොට ඒ ආයතනයේ ප්‍රධානියා කියනවා ‘රැකියාවක් නම් තියෙනවා, ඒත් ලොකු උන්නැහේට පුළුවන් ද දන්නේ නෑ ඒ වැඩේ කරන්න. ඒක කරන්න නම් කයේ හයි හත්තිය තියෙන්න ඕන. අපි මේ බලාගෙන ඉන්නේ තරුණයෙක් රැකියාවක් හොයාගෙන ආවොත් ඒක දෙන්න'යි කියලා කිව්වා.

මේ තාත්තාට ඕන කොහොම හරි කහවණු දොළහක් හොයාගෙන තමන්ගේ දුව මෙහෙකාරකමෙන් බේරාගෙන ආයෙත් සතුටින් ජීවත් වෙන්න. ඉතින් මේ තාත්තා දුවට තියෙන ආදරය නිසා ම දැඩි තීරණයකට ඇවිත් කියනවා

‘පුළුවනි, මට පුළුවනි ඕන ම වැඩක් කරන්න. කියන්න මම ඒ දේ කරන්නම්‘යි කියලා රැකියාව කරන්න කැමැති වුණා. මොකක්ද දන්නවද මේ රැකියාව. ඒ තමයි උක්හකුරු හදන්න පැණි ගන්න යන්ත්‍රය තල්ලු කරමින් ක්‍රියා කරවන එක.

කයේ ශක්තියෙන් එය ක්‍රියා කරවන්න ඕන. එහෙම නො වුණොත් පැණි ප්‍රමාණය අඩුවෙන් තමයි එන්නේ. ඉතින් මේ තාත්තා පුළුවන් උපරිමයෙන් ම කාය ශක්තිය යොදවලා යන්ත්‍රය ක්‍රියා කෙරෙව්වා. මාස ගණනක් ගත වෙලා ගියා. අවසානයේ තමන්ට අවශ්‍ය කහවණු දොළහක් ඉතිරි කර ගන්න පුළුවන් වුණු ගමන් ම ආයතන ප්‍රධානියාට කියනවා තමන්ට නිවාඩුවක් ලබා දෙන්න කියලා. ඉතින් එහෙම කියලා නිවාඩුත් අරගෙන ආයේ එන නො එන බවක් නිශ්චිත ව තීරණය නො කරගෙන ම තමන්ගේ දුව ඉන්න මාගම ධනවත් ගෙදර බලා පිටත් වුණා. මෙහෙම වනගත කැලෑ මැදින්, අඩිපාරවල්වලින් ඉක්මණින් ඉක්මණින් තමන්ගේ දුවගේ මුහුණ බලා ඇය ව බේරාගෙන එන අදහසින් යන්න වුණා.

මෙහෙම යනකොට අර කලින් කියපු ‘ගැලබුන්කඩ‘ කියන ගමට පැමිණියා. මේ ගමේ හැමෝම වගේ ආහාර හිඟයකින් පෙළුණා. කෑම බීම හරිම දුලබ යි. ඒ නිසා ම හැමෝම වගේ දුරකට ගිහින් රැකියාවක් කරලා ඒ මුදල්වලින් ජීවත් වුණා. මෙහෙම යන මේ පියතුමාට දකින්න ලැබුණා භික්ෂූන් වහන්සේ නමක් හෝදපු පාත්‍රයෙන් ම ආපහු ආරාමයට වැඩම කරනවා. මේ පියතුමා දුවල දුවල ගිහින් භික්ෂුවගේ පාත්‍රය දිහා බැලුවා. පිණ්ඩපාතය ලැබිලා තිබුණේ නෑ. ඒ නිසා

‘ස්වාමිනි, මදක් මෙහි වැඩ ඉන්න මම පිණ්ඩපාතය පිළිගන්වන්නම්‘කියලා

උන්වහන්සේට එතැන වැඩ හිඳීන්න බිම ආසනයක් සකස් කරලා දීලා පාරට ගිහින් බලාගෙන හිටියා කවුරු හරි මනුෂ්‍යයෙක් එනකම්. එතකොට ඈතින් එනවා දැක්කා එක මනුෂ්‍යයෙක්. ළඟට ම ආවාට පස්සේ ඇහුවා කොහේටද යන්නේ? කෑම එහෙම නැද්ද? කියලා. දෙතුන් දෙනෙක්ගෙන් ම මෙහෙම ඇහුවා ම ඒ අය යන දිහාව කිව්වා. කෑම මොකුත් නෑයි. පිළිතුරු දුන්නා. ඔහොම ටික වේලාවක් බලා ඉන්නකොට තවත් මනුෂ්‍යයෙක් ආවා ටිකක් ඈත රැකියාවකට යන්න. ඉතින් විස්තර කතා කරලා කෑම එක ඉල්ලුවා.

‘මම ඔයාට කහවණුවක් දෙන්නම් මට කෑම එක දෙන්න.‘ කියලා. අර මනුෂ්‍යා කිව්වා.

‘බෑ. මම මේ දවාලට ගෙනියන කෑම එක. වෙන කාගෙන් හරි ඉල්ල ගන්න‘යි කියලා. ඊට පස්සේ පියතුමා කියනවා

‘මම කහවණු දෙකක් දෙන්නම් මට

කෑම එක දෙන්න‘ කියලා. ඒත් බෑ කිව්වා. මේ විදිහට කහවණු තුනක්, හතරක් ආදී විදිහට දෙන්නම් කියන කොට දැන ගත්තා. කහවණු දොළහක් මේ පියතුමා ළඟ තියනවා කියලා. ඒ වගේම කෑම එකේ අවශ්‍යතාවත්, වෙන තැනකින් දැන් කෑම හොයා ගන්න බැරි බවත් දැන ගෙන අර ගමනේ යෙදුණු මගියා කියනවා ‘කහවණු දොළහ ම දෙනවා නම් මම කෑම එක දෙන්නම්“කියලා. ඒ පියතුමා මුදල ගැනත්, තමන් විඳපු දුක වෙහෙස ආදිය ගැනත්, තමන්ගේ එකම දුව ගැනත් හිත හිතා දාන චේතනාව පස්සට දැම්මේ නෑ.

බුදුන් වහන්සේත්, ධර්මයත්, සංඝයාත් සිහිපත් කර ගත්තා. දානයේ ආනිශංස දැන ගෙන ඒ විශ්වාසයෙන් කහවණු දොළහ ම දීලා කෑම එක අරගෙන තෙරුන් වහන්සේට පූජා කරලා තමන් කෑම එක ගන්න විඳපු දුෂ්කරකම් ඔක්කෝම කිව්වා. තමන් සතුටින් දානය දුන් බවත්, එය වළඳන ලෙසත් ආරාධනා කළා. භික්ෂූන් වහන්සේ කල්පනා කරනවා

‘මෙතරම් දුෂ්කර ව, වෙහෙස මහන්සිවෙලා උපයා ගත්ත ධනය වියදම් කරල‘යි මට මේ දානය දුන්නේ. මෙච්චර කැපවීමක් කරන්න මම ඔහුගේ පියතුමාවත්, සහෝදරයෙක්වත්, හිතවතෙක්වත්, ඥාතියෙක්වත් නෙවෙයි. මම ඔහුට උදව් කරලාත් නෑ. මට මේ දානය ලැබුණේ සිල්වත් භික්ෂුවක් කියන අදහසින් ම යි. ඒ නිසා ඔහුට මහත් වූ යහපතක් සලසන්න ඕන. මම රහත් නොවී මේ දානය වළඳන්නේ නෑ‘යි තීරණය කරලා. පියතුමා ගියාට පස්සේ ඒ ගහමුල ම ඉඳගෙන භාවනා කරන්න පටන් ගත්තා.

මධ්‍යාහ්නය උදාවෙන්නට පෙර ම අරහත් බව ලබා ගෙන දානය වැළඳුවා. වළඳලා අධිෂ්ඨානයක් කළා. මම පිරිනිවන් පෑවාම මගේ දේහයට මේ දායකයා අත තබන තාක් දේහය ගෙනියන්න නො හැකි වේවා කියලා. විහාරයට වැඩම කළා ම සෙසු භික්ෂූන් වහන්සේ මේ භික්ෂුවගේ මුහුණේ ප්‍රසන්න බව දැකලා දැන ගත්තා රහත් බව ලබා ගත්තා කියලා. තොරතුරු ඇහුවා ම අර පුවත කියා සිටියා. තමන් කරපු අධිෂ්ඨානයත් කියා සිටියා. නොබෝ දවසකින් ම මේ රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. දෙණ සකස් කළා.

මිනිසුන් සියයක් දක්වා උත්සාහ කළත් ආදාහනය කරන තැනට දේහය ගෙනියන්න බැරි වුණා. මේ පුවත කාවන්තිස්ස රජතුමා දක්වා පැතිර ගියා.

රජතුමා භික්ෂූන් වහන්සේගෙන් එයට හේතුව විමසන කොට දැන ගත්තා සිදු කළ අධිෂ්ඨානය. රජතුමාගේ නියෝගයෙන් ඒ පියතුමා හොයාගෙන ඇවිත් දෙණට අත තබන කොටම අහසින් ගොස් ආදාහන ස්ථානයට පැමිණිය බවත්, රජතුමා එයට පැහැදී පියතුමා ණයෙන් මුදවා, දියණියවත් මෙහෙකාර සේවයෙන් මුදවාගෙන, ඔවුන් හිටපු ගම් පියස බාර කරලා තනතුරු ලබා දුන් බවත් සඳහන් කථා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.

එනිසා ආර්ය සංඝයාට ධාර්මික ව උපයන ලද ධනයෙන් දන් දෙන්න. මෙලොවත්, පරලොවත් සුවපත් වීමටත්, දෙලොව සැප ලබා ගැනීමටත් එය හේතුවෙක් වෙනවා‘යි මේ කථා පුවත අපට වැඩි දුරටත් කියා දෙනවා.

බිනර අව අටවක

සැප්තැම්බර් 14 ඉරිදා පූ.භා. 05.06 අව අටවක ලබා 15 සඳුදා
පූ.භා. 03.09න් ගෙවේ.
14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]