සම්බුදු සසුනේ
ගරු බුහුමන් ලද කාන්තාව
දර්ශනපති
කනංකේ විජිතනන්ද හිමි
බුදු දහම සියලු මානව ප්‍රජාව නිදහසේ සිතන්නට විමසන්නට අවස්ථාව ලබා දුන්නා සේ ම ඒ ඒ
අංශ ඔස්සේ වරප්‍රසාද ලබා දුන් බවට බෞද්ධ සාහිත්‍යය මැනවින් කරුණු දක්වන අතර,
විශේෂයෙන් කාන්තාවට ද එමඟින් ලබා දෙන්නේ ඉහළ පිළිගැනීමකි. ඒ බව බුදුරදුන් විසින්
බොහෝ අංශ ඔස්සේ ලෝකයාට පෙන්වා දී ඇත.
අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ භාරතයෙහි පහළ වන විට කාන්තාවට නිසි පිළිගැනීමක්
නොතිබුණු අතර බමුණු ආධිපත්‍යයට යටත් ව සිටි බව පෙනී යයි. නමුත් බුදුරදුන් ඒ සියලු
ඉගැන්වීම් බැහැර කොට කාන්තාව යනු ඉතා ඉහළ වටිනා චරිතයක් බව දහම මඟින් උගන්වා ඇත.
සමාජයේ හිමිවිය යුතු වරප්‍රසාද සියලු අංශ ඔස්සේ නිසි ආකාරයෙන් ලබා දුන් උන්වහන්සේ
අගනා ශාස්තෘවරයකු ලෙස මනාව ක්‍රියා කොට ඇති වග පෙනී යයි. ඒ අනුව කාන්තාවට බුදු දහම
මඟින් හිමි වූ වරප්‍රසාද මෙලෙස වර්ග කිරීමට හැකි ය. එය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.
ගිහි සමාජයෙන් ලැබූ වරප්‍රසාද සහ පැවිදි සමාජයෙන් ලැබූ වරප්‍රසාද යනුවෙනි.
මෙම අංශ දෙකින් මූලික ලෙස කාන්තාව ගිහි සමාජයෙන් ලද වරප්‍රසාද මේ අයුරින් වෙන් වෙන්
ව දැක්වීමට හැකි ය. ඒ මවක, ගෘහණියක, සමාජ සේවිකාවක, උපාසිකාවක ආදී වශයෙන් එම
වරප්‍රසාද ඇය විසින් ලබන ලදී.
ගිහි සමාජයෙහි වෙසෙන කාන්තාව මවක් ලෙස ඉතා ප්‍රශංසා මුඛයෙන් අගය කොට ඇති සම්බුදු
රදුන් ආදර්ශවත් ශාස්තෘවරයකු වශයෙන් දින හතකින් කළුරිය කළ මහාමායා දේවිය තව්තිසා
දෙව් ලොව මාතෘ දිව්‍ය පුත්‍රයා නමින් උපත ලැබූ පසු පස්වැනි වස් කාලය තුළ තම
මෑණියන්ට අභිධර්මය දේශනා කිරීමට දෙව් ලොවට වැඩම කළහ. එසේම තම සුළු මව වූ මහා
ප්‍රජාපතී ගෝතමී දේවියට මෙහෙණි සසුන ඇරැඹීමට අවසර ලබා දී ඇයට “බුද්ධ මාතා” යන ගෞරව
නාමය ද පිරිනැමූ බව බෞද්ධ සාහිත්‍යය කරුණු දක්වයි.
බුදු දහම මව අගය කරන අවස්ථා බොහෝ ය. ඒ අනුව මහා මංගල සූත්‍රයේ දී “මාතා පිතූ
උපට්ඨානං” යනුවෙන් මවුපිය උපස්ථානය අගය කරන අතර, වසල හා පරාභව සූත්‍රවල දී මවුපිය
උපස්ථානය සිදු නොකරන පුද්ගලයා වසලයෙක් හා පිරිහීමට පත්වන අයකු බව පෙන්වා ඇත.
එසේම “මාතා මිත්තං සකාසරේ” මව නිවෙසේ මිතුරිය ලෙස ද අගය කරන බුදු දහම, සිඟාලෝවාද
සූත්‍රයේ දී දරුවන් විසින් මවුපියන්ට ඉටු කළයුතු යුතුකම් පහක් පෙන්වා දී ඇත. ඒවා
නම්,
වයස්ගත මව්පියන් පෝෂණය කිරීම, ඔවුන් රැකබලා ගැනීම, ඔවුන්ගේ දායාද ආරක්ෂා කිරීම, කුල
පරපුර රැක ගැනීම, මියගිය පසු පින්කම් කොට පින් අනුමෝදන් කිරීමයි.
එසේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් හෙබි මව දරුවන්ගේ
මුල් ගුරුවරයා බව ද, ආහුණෙය්‍ය ගුණයෙන් හෙබි ඇය දරුවන් නමැති ප්‍රජාවට අනුකම්පා කරන
බව ද බුදුරදුන් පෙන්වා වදාළ සේක.
බ්‍රහ්මාති මාතා පිතරෝ -
පුබ්බාචරියාති වුච්චරේ
ආහුණෙය්‍යාච පුත්තානං -
පජාය අනුකම්පකා
මව මෙන් ම ගෘහණිය ද බුදු දහම මඟින් වරප්‍රසාද ලබා ඇති බව බොහෝ කරුණු අනුව සනාථ
කිරීමට හැකි ය. ඒ අනුව ගෘහණිය යනු නිවෙසේ අධිපතිනිය ලෙස ක්‍රියා කිරීමේ නිදහස ලබා
දුන් බුදු හිමියෝ සමාජ සංස්ථාව තුළ දිවි ගෙවන සැමියන්ට විවාහයේ දී හමුවන භාර්යාවරු
හත් දෙනකු පිළිබඳ “සප්ත භරියා” සූත්‍රයේ දී කරුණුූ දක්වති.
මාතු භරියා - මවක් වැනි බිරිය,
සඛී භරියා - මිතුරියක් වැනි බිරිය,
භගනි භරියා - සොහොයුරියක් වැනි බිරිය,
දාසි භරියා - දාසියක් වැනි බිරිය
වධක භරියා - වදකාරියක වැනි බිරිය,
චෝර භරියා - සෙරක් වැනි බිරිය
ස්වාමි භරියා - ස්වාමි දියණියක් වැනි බිරිය වශයෙනි.
මොවුන් අතර මාතු, සඛී, භගිනි, දාසි යන භාර්යාවරු බුද්ධ දේශනාවේ දී අගය කොට ඇත.
ස්වාමියා විසින් බිරියට ඉටු කළ යුතු අගනා යුතුකම් පහක් උගන්වයි.
ගරු කිරීම, අවමන් නොකිරීම, සම්පත් පැවරීම, වස්ත්‍රාභරණ ලබාදීම, පර ස්ත්‍රීන් කරා නො
යෑමයි.
ගිහි සමාජයෙහි වෙසෙන කාන්තාවට සමාජ සේවිකාවක වශයෙන් වරප්‍රසාද සියලු කරුණු ඔස්සේ
හිමි කර දුන් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ වනිතාවක - සමාජ සේවිකාවක ලෙස අගය කිරීමේ
දී ඔවුන්ගේ ගුණ මෙසේ අගයකොට ඇත.
පති පූජිකා - ස්වාමියා සතුටු කරවන
කුල නන්දනී - කුලය දූෂණය නොකරන
ධම්ම චාරිනී - දහම අනුව හැසිරෙන
ජන රංජනී - ජනතාව සතුටු කරන
වර අංගනී - සියලු කාන්තාවන්ට උතුම් වන
මේ අයුරින් කාන්තාව අගැයීමේ දී උපාසිකාවට ද ප්‍රධාන තැනක් බුදු දහම ලබා දෙයි.
උපාසිකාව යනු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය තැනැත්තියයි. දාන, සීල, භාවනා යන
ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වන ඔවුන් අතර බුද්ධ කාලයේ දිවි ගෙවූ බුදුරදුන්ගේ
අග්‍ර දායිකාව වන විශාඛාව ද, සාමාවතී, සුමනා, බන්ධුල මල්ලිකා ආදී උපාසිකාවන් ද,
මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් පසක් කර ගැනීම මඟින් බුදු සමය උපාසිකාව කොතරම් දුරට අගය
කරන්නේ ද යන්න පැහැදිලි වෙයි.
මේ ආකාරයට බමුණු සමාජ ආකල්ප බැහැර කරමින් සියලු අංශ ඔස්සේ සර්වකාලීන නිදහස ලබා දීමට
ක්‍රියා කළ බුදුරදුන්, ගිහි සමාජයෙන් මෙන් ම පැවිදි සමාජය මඟින් ද ඒ ඒ සුදුසුකම්
පරිදි තනතුරු පිරිනමා ඇත. ඒ අනුව,
චිරරාත්‍රඥ භික්ෂුණිය - මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය
අභිඤ්ඤාලාභී භික්ෂුණිය - භද්දකච්චායනා තෙරණිය
ඍද්ධිමත් භික්ෂුණිය - උප්පලවණ්ණා තෙරණිය
ධූතාංගධාරි භික්ෂුණිය - පටාචාරා තෙරණිය
ධර්ම කථික භික්ෂුණිය - ධම්මදින්නා තෙරණිය ලෙසයි.
ඉහත සඳහන් කරුණු දෙස අවධානය යොමු කිරීමේ දී අන්ත අසරණ තත්ත්වයෙහි පසු වූ කාන්තාවට
කොතරම් දුරට නිදහස ලබා දෙන්නේ ද යන්න මැනවින් සනාථ වෙයි. එපමණක් ද නොව මවක,
ගෘහණියක, සමාජ සේවිකාවක, උපාසිකාවක වශයෙන් කාන්තාව කොතරම් ඉදිරියට පැමිණ ඇත්තේ ද
යන්න බමුණූු ආකල්ප හා බුදු දහම දෙස බැලීමෙන් අනාවරණය වේ.
මෙතෙක් ලොව පහළ වූ උත්තරීතරම ශාස්තෘවරයා වන අප ගෞතම බුදු පියාණන් වහන්සේ සමාජ
ප්‍රගමනයට සුවිශාල මෙහෙවරක් සිදුකරන කාන්තාවට නිසි ගෞරවය ලබා දී ඇති අයුරු ද එමඟින්
නූතන කාන්තාව ද ජාති, කුල, ආගම් වර්ණ භේදවලින් තොරව උන්වහන්සේ ලබා දුන් වරප්‍රසාද
අනුව දිවි ගෙවන බව ද පැහැදිලි ය. |