[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසර ගිනි නිවන සිසිල් දිය දහර සත්පුරුෂ ඇසුර

සසර ගිනි නිවන සිසිල් දිය දහර සත්පුරුෂ ඇසුර

සසර කියන්නේ ගිනිගත් තැනක්. නොයෙක් ගිනිවලින් ඒ සසර ගමන ගිනි ගන්නවා.

ඉපදීමත්, ලෙඩවීමත්, වයසට යාම වගේ ම මරණයේදීත් අපගේ ජීවිත ගිනි ගන්නවා.

එලෙසම පි‍්‍රය අයගෙන් වෙන්වීමෙන් ද, අපි‍්‍රය අය හා එක් වීමෙන් ද, මේ සසර ගිනි ගනු ලබනවා. ශෝකයෙන්, දුකෙන්, දෝමනස්සයෙන්, වැළපීමෙන් වගේම බඩගින්න නිසාත්, පිපාසය නිසාත් මේ ජීවිතය ගිනි ගන්නවා. එතැනින් නො නැවතී රාගය, ද්වේෂය, මෝහය ආදී අකුසල් නිසාත් සසර ගමන ගිනි ගන්නවා.

මේ සසරට අයිති දෙයක් තමා පාපී මිතුරන්, අයුක්තිය, අසාධාරණය නොයෙක් ආකාරයේ විපත්, කරදර මේ සියල්ල ම සසරට උරුමකම් කියන, සසරට අයත් දේ යි. මේ ආකාරයෙන් නොයෙක් දුක් ගැහැට ගෙවාගෙන ඇවිද යන මේ ලෝක සත්ත්වයාගේ සිත් නිවා සනසාලන සිසිල් දිය දහරක් ද තිබෙනවා. ඒ සත්පුරුෂ ඇසුර යි. ගිනිගත් සසර නිවා දමන සිසිල් දිය දහර සත්පුරුෂයන්ගේ ඇසුර සහ ඔවුන්ගේ ආදර්ශය යි.

නොයෙක් කරදර විපත් ඇති මේ සසරින් නිදහස් වීම, සසරේ දී ලැබෙන සැපය හැම දෙයක් ම උදාකර දෙන්නේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ යි. මේ ලෝකයට පහළවන පරම පූජනීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. ඒ වගේම උතුම් මහරහතන් වහන්සේත්, මාර්ගඵල ශ්‍රාවක සංඝරත්නයත් අපට උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ යි.

මේ ලෝකයට පහළ වූ සත්පුරුෂයන් වහන්සේ නොයෙක් ගුණවලින් ශෝභමාන යි. උන්වහන්සේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැති ව බොහෝ දෙනාට යහපත සලසනවා.

අපි දන්නවා සාමාන්‍ය ජීවිතයේ දී අපට සිටින බොහෝ මිතුරන් උපකාර කරන්නේ කුමන හෝ ලාභ ප්‍රයෝජනයක් ඇතිවයි. කුමන හෝ ලාභයක් පතාගෙන. එහෙත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයා ලෝකයාට උපකාර කරන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් නො මැතිව යි. බලාපොරොත්තු රහිතව යි.

සත්පුරුෂයා නොයෙක් ගුණ ශෝභාවෙන් යුක්ත යි. සත්පුරුෂයා ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවයෙන් යුක්ත යි. සීල ගෞරවයෙන් යුක්ත යි. ධර්ම ගෞරවයෙන් යුක්ත යි. සත්පුරුෂයා සසර ගමනට බිය ඇති ව වාසය කරනවා. ඔහු බහුශ්‍රැත යි. පරාර්ථකාමි යි. අන් අයගේ යහපත පතනවා. පි‍්‍රයමනාපයි. නිතර ම වැරැද්ද නිවැරැදි කර ගැනීමට අවවාද කරනවා. යහපතේ යොදවනවා. හොඳ නරක කියා දෙනවා. සත්පුරුෂයා ලාභ ප්‍රයෝජන , කීර්ති ප්‍රශංසා බැහැර කරමින් වාසය කරනවා. ත්‍රිවිධ රත්නයට ම ප්‍රශංසා කරමින් වාසය කරනවා. සමාදන් වූ සිල්පදවල අනුසස් කියා දෙනවා. සිල් රැකීමට අනුබල දෙනවා. සත්පුරුෂයන් වහන්සේ මේ ආදී නොයෙක් ගුණවලින් සමන්විත යි.

සංසාර ගමනේ යමකුට සත්පුරුෂ ඇසුර ලැබුණොත් එය ඔහු සංසාරේ ලබන මහත් භාග්‍යයක්. සත්පුරුෂ ඇසුර හරියට ම ලැබුණොත් ඔහු ශෝක කරන ජනතාව මැද ශෝක නො කර සිටිනවා. ප්‍රඥාව, සිහිනුවණ, සීලය දියුණු කර ගන්නට උත්සාහ කරනවා.

මේ ලෝකයේ කාශ්‍යප බුදුසසුන බබළන කාලයේ සත්පුරුෂ උපාසකයෙක් සිටියා. ඔහු වෙළෙඳාම සඳහා මුහුදු ගමනකට සූදානම් වුණා. ඔහුට කරණවෑමියෙක් සිටියා. ඔහුත් මේ ගමනට සූදානම් කර ගත්තා. අර සේවකයා සමඟ මේ උපාසකතුමා මුහුදු ගමන ආරම්භ කළා. දින හතක් ගමන්කොට මුහුදේ දිගු ගමනක් ගියා. හත්වන දිනයේ දී මහා කුණාටුවකට මේ නැව හසු වී විනාශ වුණා. ඒ නැවෙන් ගිලිහුණු ලී කොටයකට මේ දෙදෙනා නැග ගත්තා. දෙදෙනා ම වීර්ය කරමින් පීනා එක්තරා දූපතකට ගොඩ වුණා.

ඒ දූපතේ මිනිස් වාසයක් නො තිබුණු අතර ආහාරයට සුදුසු දෙයක් ද ලැබුණේ නැහැ. දින කිහිපයක් යන විට මොවුන්ට කුසගින්න දරා ගන්න බැරිව ගියා. උපාසකතුමාගේ සේවකයා දූපතේ සිටි කුරුල්ලන් මරා පුලුස්සා කෑවා. කුරුළු බිත්තර කෑවා. උපාසකතුමා කුසගිනි දරාගෙන සිටියා. උපාසකතුමා සීලය, තෙරුවන් ගුණ ආදිය සිහිකරමින් ජීවිතය තෙරුවනට පූජා කරමින් කාලය ගත කළා.

මේ දූපතට අධිගෘහිත ව සිටියා සෘද්ධිමත් නාග රාජයෙක්. මේ නාගයා මේ සියලු සිදුවීම් දුටුවා.

“මම මේ උපාසකතුමාට පිහිට වෙන්න ඕනෑ කියා සිතා ඍද්ධියෙන් විශාල නැවක් මැව්වා. සමුද්‍ර දේවතාවෙක් නැවේ කපිතාන් ලෙස ඉදිරිපත් වුණා. දූපත අසලට පැමිණ කපිතාන් හඬ නඟා කියා සිටියා අප දඹදිව බලා යනවා. මේ දූපතේ දඹදිවට යාමට කවරෙක් හෝ සිටී නම් එන්න” කියා . එය ඇසුන උපාසකතුමා සහ සේවකයා ඉක්මණින් නැව අසලට ආවා. එවිට සමුද්‍ර දේවතාවා කියා සිටියා " මේ නැවට ගොඩවෙන්න පුළුවන් සිල්වතුන්ට, ගුණවතුන්ට සහ පින් කරන අයට පමණ යි. ඔබ පමණක් ගොඩවෙන්න" කියා උපාසකතුමාට කියා සිටියා.

උපාසකතුමාට සේවකයා ගැන අනුකම්පාවක් හටගත්තා. ඔහු වහා ම කියා සිටියා. “මම මේ ජීවිතයේ බොහෝම පින් කළ කෙනෙක්. සිල් රැකලා, දන්දීලා, භාවනා කරල තිබෙනවා. මම එසේ රැස්කළ සියලු ම පින් ඔබ සතුටින් අනුමෝදන් වෙන්න” ඒ සේවකයාත් සාධු සාධු කියමින් ඒ පින අනුමෝදන් වුණා.

දැන් දෙදෙනා ම නැවට ගොඩවුණා. නැව බරණැසට ආවා. ඒ වෙලාවේ සමුද්‍ර දේවතාවා අර සේවකයාට කියනවා “නුඹ අද බේරුණේ මේ සත්පුරුෂ උපාසකතුමා නිසා යි. නුඹ එදා නැව මුහුදුබත් වු වේලාවේ බේරුණෙත් මේ උපාසකතුමා නිසයි. එනිසා මේ සත්පුරුෂයාගේ ඇසුර කවදාවත් ම නැති කර ගන්න එපා” කියා අවවාද කළා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, එදා ඒ සත්පුරුෂ උපාසක සෝතාපන්න ශ්‍රාවකයෙක්. ඔහු පසු කලෙක පැවිදි ව අරහත්වයට පත් වුණා. එදා සමුද්‍ර දේවතාවා වී සිටියේ තථාගතයන් වහන්සේ වන මම යි. නාගරාජයා වූයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ යි.

එසේ නම් සත්පුරුෂයා දෙවියන්ටත් පි‍්‍රය යි. සත්පුරුෂ ඇසුර කියන්නේ කුමක් ද? අපටත් මේ ජීවිතයේ සත්පුරුෂයෝ මුණ ගැහිලා තිබෙනවා. කතාබහ කරලත් ඇති. එහෙත් එ පමණකින් ම සත්පුරුෂ ඇසුර අපේ ජීවිතයට බද්ධ වන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, කල්‍යාණ මිත්‍රයෙක් සිටීම කෙතරම් ලාභයක් ද?.

යම් කුල පුත්‍රයෙක් ගමක හෝ නියම් ගමක වාසය කරනවා. ඔහු තරුණ කෙනෙක් වෙන්න පුලුවන්. එහෙත් ඔහුට මෝරා ගිය සිතක් තිබෙන්නේ. ඔහු වැඩිහිටියෙක් ලෙසයි සිතන්නේ. නැතිනම් වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුට තිබෙන්නේත් මෝරා ගිය සිතක්. ඔවුන් මෝරා ගොස් සිටින්නේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්. ඒ ආකාරයට ගුණධර්මවලින් යුතු කෙනෙක් ම ඇසුරු කරමින් සාකච්ඡා කරමින්, දහම් පුරුදු කරනවා.

කල්‍යාණ මිත්‍රයා යම් ශ්‍රද්ධාවක් පුරුදු කරනවා ද ඔහු ඇසුරු කරන අයත් ශ්‍රද්ධාව පුරුදු කරනවා. ගුණනුවණින් යුතු කෙනා යම් සීලයක හික්මෙනවා ද කල්‍යාණ මිත්‍ර ඇසුරට කැමැති කෙනා එසේ හික්මෙනවා. ඒ වගේම දන්දීමක් අත්හැරීමක් පුරුදු කරනවා ද ඔහුත් ඒ ආකාරයෙන් ම කරනවා. ප්‍රඥාවක් පුරුදු කරනවා ද, ඒ ප්‍රඥාවත් පුරුදු කරනවා. කල්‍යාණ මිත්‍රයා ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත නිසා ඔහු හා ඇසුරු කරන පුද්ගලයාත් ඒ ගුණධර්ම පුරුදු කරනවා. එහෙම කෙනාට කියන්නේ කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරනවා. සත්පුරුෂ ඇසුර තිබෙනවා කියලායි.

බිනර අව අටවක

සැප්තැම්බර් 14 ඉරිදා පූ.භා. 05.06 අව අටවක ලබා 15 සඳුදා
පූ.භා. 03.09න් ගෙවේ.
14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]