ගැටුම් විසඳීමට බුදුදහමේ මඟ පෙන්වීම
ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත
බැරගම ශ්‍රී රාහුල හිමි
බුදුදහම අවිහිංසාව මුල්කරගත් ආගමකි. පංචසීලයේ පටන් නිර්වාණාවබෝධය දක්වා පුද්ගලයාට
ඇවැසි වූ දාර්ශනික මෙන් ම, සදාචාරාත්මක ඉගැන්වීම් අන්තර්ගත බුදුදහම තුළින් යුද්ධයන්
හා කළහයන් ප්‍රතික්‍ෂේප කොට ඇත.
දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රය දක්වන පරිදි බුදුන් වහන්සේ වෙත පැමිණෙන සක්දෙවිඳු
දෙවියන් ද, මිනිසුන් ද, අසුරයන් ද, නාගයන් ද ගාන්ධර්වයන් ද යන සියලු සත්වයන් වෛර
නොකර, අවි - ආයුධ නොමැති ව, කෝප නොවීමට උත්සාහ කළත් හැම දෙනා ම වෛර කරමින් අවි -
ආයුධ අතැති ව, සතුරන් සහිත ව, කෝප වෙමින් ම සිටින බව පවසා ඊට හේතු කුමක් දැයි
ප්‍රශ්න කරයි.
සක්දෙවිඳුට පිළිතුරු සපයන බුදුන් වහන්සේ ගැටුම් ඇතිවීම සඳහා ආසන්න ම හේතු ලෙස
මිනිස්
සිතෙහි හටගන්නා ඊර්ෂ්‍යාව හා මසුරුකම යන හේතු පෙන්වා දෙයි. ප්‍රිය බව හා අප්‍රිය බව
ඒ දෙකට හේතු වන බව දක්වා ප්‍රිය සහ අප්‍රියතාවන්ට ඡන්දය හෙවත් කැමැත්ත හේතු වන බව
ප්‍රකාශ කරයි. ඡන්දය හෙවත් කැමැත්ත විතර්කය මත ගොඩනැඟෙන ආකාරයත්, එමඟින් ඇතිවන
ප්‍රපංචකරණය ගැටුම් අරගලවලට හේතුව බවත් දක්වා තිබේ. මෙසේ මිනිස් සිතෙහි සිදුවන
විවිධ විපර්යාසයන් නිසා පුද්ගල චර්යාවන් ප්‍රචණ්ඩ බවට පත් කෙරේ. එසේ වූ විට කලහ,
විවාද, බහින් බස් වීම්, සැඩ පරුස වචන කීම් පමණක් නොව දඬු මුගුරු, අවි ආයුධ ගෙන
ගැටුම් අරගලවලට ද පුද්ගලයා යොමු වෙයි. මජ්ක්‍ධිම නිකායේ චූළදුක්ඛක්ඛන්‍ධ සූත්‍රයේ
දී ද බුදුන් වහන්සේ ගැටුම් ඇති වීමේ මානසික පසුබිම පිළිබඳ මෙසේ පැහැදිලි කර තිබේ.
“පුන ච පරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිවම්මං ගහෙත්‍වා
ධනුකලාපං සන්නයහිත්‍වා උභතො වියූළ්හං සගාමං පක්‍ඛන්‍දන්ති-------අයම්පි මහානාම
කාමානං ආදීනවං
සන්‍දිට්ඨිකො දුක්ඛක්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු” තවද,
මහානාමය, කාම හේතුවෙන්, කාමයන් නිදාන කොට, කාමයන්ට හේතු කොට පිරිසක් ඊතලවලින් දමා
ගසන කල්හි, කඩු ලෙළ දෙන කල්හි, මිනිසුන් කඩු පළිහ ගෙන, දුනු ඊතල සන්නද්ධ ව දෙපසින්
සංග්‍රාමයට පිවිසෙති.... මහානාමය, මෙය කාමයන් හේතුවෙන් කාමයන් නිධාන කොට, කාමයන්
සරණ කොට, කාමයන් ම හේතු කොට ඇති වන කාම ආදීනව වූ දුක් සමූහයකි.”
මේ නිසා මිනිස් ජීවිතයට අදාළ වන සමස්ත ක්‍රියාදාමය ම මෙහෙයවන බලවේගය වන්නේ මිනිස්
සිතෙහි මුල් බැසගෙන ඇති කාමය යි. මෙම කාමය යනු වෙන කිසිවක් නොව තණ්හාවයි. බුදුදහම
දුකට හේතුව ලෙස දක්වන්නේ ද කාම, භව, විභව යන ත්‍රිවිධ තෘෂ්ණාවයි. මිනිසා ඇස, කන ආදී
පසිඳුරන් මඟින් ලබන භෞතික වස්තූන් (අරමුණු) නිසා උපදින කාමය හේතු කොට ගෙන ගැටුම්,
අරගලවලට යොමු වෙයි. එපමණක් නොව මනස නම් වූ ඉන්ද්‍රියට අරමුණු වන විවිධ සංකල්ප,
දෘෂ්ඨි, මතවාද ආදිය නිසා ද ගැටුම් අරගල නිර්මාණය වෙයි. සක්කපඤ්හ, මධුපිණ්ඩික,
කලහවිවාද යන සූත්‍ර දේශනා කීපයක දී ම ගැටුම් කෙරෙහි බලපාන මානසික ස්වභාවය ලෙස
පපංචකරණ ක්‍රියාවලිය දක්වා ඇත.
සඤ්ඤං ච දිට්ඨිං ච යෙ අග්ගහේසුං
තෙ ඝට්ටයන්තා විචරන්ති ලොකෙ
යනුවෙන් සංඥා හා දෘෂ්ටි දැඩි ව ගැනීම සියලු ගැටුම්වලට හේතුව බව දක්වා තිබේ.
බුදුදහම දක්වන පරිදි ගැටුම් හටගැනීම සඳහා බලපාන එකම සාධකය පුද්ගල සන්තානගත
දුර්වලතාව පමණක් නොව, සමාජ සංස්ථාගත දුර්වලතා ද ඊට ඉවහල් වෙයි. දීඝ නිකායේ
චක්කවත්ති සීහනාද සූත්‍රයට අනුව ආර්ථික විෂමතාව හෙවත් රටක සම්පත් නිසි ලෙස ජනතාව
අතර බෙදී නොයාම නැතහොත් දරිද්‍රතාව සමාජය තුළ ගැටුම් ඇතිවීම කෙරෙහි ඍජු ව බලපායි.
මිනිසාගේ ආහාරපානාදී මූලික අවශ්‍යතා ඉටු නොවන පරිසරයක දී සමාජ විරෝධී ක්‍රියාවන්ට
ඔහු පෙළඹීයාම අපේක්‍ෂා කළ යුත්තකි.
ඉති ඛො භික්ඛවෙ අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං වෙපුල්ලමගමාසි- දාළිද්දියෙ
වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි- අදින්නාදානෙ වෙපුල්ලං ගතෙ සත්‍ථං
වෙපුල්ලමගමාසි - සටත්‍ථ වෙපුල්ලං ගතෙ පාණාතිපාතො වෙපුල්ලමගමාසි-”
මහණෙනි, මෙසේ දිළින්දන්ට ධනය නොදුන් කල්හි දිළිඳු බව වැඩි වීමට ගියේ ය. දිළිඳු බව
වැඩි වීමට ගිය කල්හි නොදුන් දේ සොරෙන් ගැනීම වැඩි වී ගියේ ය. අදත්තාදානය වැඩි වීමට
ගිය කල්හි අවි ආයුධ වැඩි වීමට ගියේ ය- අවි ආයුධ වැඩි වීමට ගිය කල්හි ප්‍රාණඝාතය
වැඩි වීමට ගියේ ය.” යනුවෙන් එකක් හේතු වී අනෙක ඵලය වෙමින් හේතුඵලවාදී විවරණයකින්
සමාජ ගැටුම් නිර්මාණය වන ආකාරය දීඝනිකායේ චක්කවන්ති සිහනාද සූත්‍රය පෙන්වා දෙයි.
රටක දේශපාලන, සමාජ, ආර්ථික සංස්ථාවන්ගේ දුර්වලතා ගැටුම් නිර්මාණය කෙරෙහි දායක වන බව
එමඟින් පෙන්වා දෙනු ලැබේ. දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය ද වෘත්තාන්තයක ස්වරූපයෙන්
මෙවැනි ම අදහසක් ඉදිරිපත් කරන්නකි.
ගැටුම් නිරාකරණය හා ගැටුම් අවස්ථා අවම කර ගැනීමට අවශ්‍යය උපදෙස් හා මඟ පෙන්වීම්
බුදුදහම තුළ නොයෙක් අයුරින් දක්වා තිබේ. චතුරාර්ය සත්‍යය සත්වයාගේ සාංසාරික
ගැටලුවෙන් මිදීමේ ක්‍රමවේදයක් ලෙස ඉදිරිපත් කෙරුණ ද සැබැවින් ම එය න්‍යායකි.
න්‍යායක ස්වරූපය වන්නේ කවරාකාර ප්‍රස්තුතයක් වුව ද ඒ සිද්ධාන්තය මත ගැළපිය හැකි වීම
යි. ඒ අනුව,
ගැටුම්, ගැටුම්වලට හේතුව, සාමය හා සාමය ලබා ගත හැකි මාර්ගය යනුවෙන් චතුරාර්ය සත්‍යය
න්‍යාය මේ සඳහා උපයෝගී කර ගත හැක. ගැටුම්වලට බලපාන හේතු නැති කළවිට ගැටුම් වෙනුවට
සාමය ගොඩනැඟේ. එය ලබා ගත හැකි ක්‍රමයක් බුදුදහම මඟින් නිර්දේශිත ය.
ඉමස්මිං සති ඉදං හොති” (මෙය ඇති කල මෙය වේ) යන ප්‍රතිත්‍ය සමුප්පාද න්‍යාය ධර්මයෙන්
අවධාරණය කෙරෙන්නේ ද හේතුව සහ ඵලය අතර පවත්නා අවියෝජනීය අන්තර් සම්බන්ධතාව යි.
එබැවින් හේතු නිරෝධයෙන් ඵල නිරෝධය කළ හැකි වේ. ගැටුම් නිර්මාණය වීමට තුඩු දෙන
සන්තානගත හා සමාජගත හේතු සාධක නැති කිරීමෙන් ගැටුම් නිරාකරණය කළ හැක.
බුදුදහම ගැටුම් නිරාකරණය හෙවත් ගැටුම් සිදුවීම වැළැක්වීමටත්, ගැටුමකින් සිදුවන
හානිය අවම කිරීමත් එම ගැටුම් කළමනාකරණය කිරීමට අවශ්‍යය මඟ පෙන්වීමත් සිදු කරයි.
කෙනකු ගැටුමට මැදි වන්නේ ඔහු කෝප ගැන්වීම නිසා හෝ කෝපයට පත්වීම නිසා ය. තමාට හෝ තම
සමීපතමයන්ට හෝ තමන් සන්තක වස්තූන් පිළිබඳ අගුණ කීම, ගැරහීම, දෝෂාරෝපණය නැඟීම මඟින්
කෙනකු වහා කෝපයට පත් වේ.
දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රය දක්වන පරිදි සුප්පිය පිරිවැජියා බුදු පාමොක් සංඝයා
පසුපස යමින් බුදුන් වහන්සේගේ ද, ධර්මයේ ද, සංඝයාගේ ද අගුණ කියන්නට විය. ඔහුගේ
බ්‍රහ්මදත්ත නම් අතවැසියා ගුණ කියන්නට විය. මඟ දිගට දිගින් දිගට ම මෙම ක්‍රියාවලිය
සිදු වූ අතර, බුදුන් වහන්සේ පසුව භික්‍ෂූන් අමතා ප්‍රකාශ කළේ,
මමං වා භික්ඛවෙ පරෙ අවණ්ණං භාසෙය්‍යුං, සංඝස්ස වා අවණ්නං භාසෙය්‍යුං, තත්‍ර
තුම්හේහි න අඝාතො න අප්පච්චයො න චෙතසො අනභිරද්ධි කරණියා”
මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට දොස් කියතොත්, සංඝයාට දොස් කියතොත් ඒ
තැන්හි දී තොප විසින් කෝප නොඉපිද විය යුතු ය. නොසතුට නොඉපදවිය යුතු ය. සිතේ අමනාප
බවක් නොකළ යුතු ය.”
තත්‍ර චෙ තුම්හෙ අස්සථ කුපිතා වා අනත්තමනා වා තුම්හං යෙවස්ස තෙන අන්තරායො.
ඉඳීන් නුඹලා කිපියාහු, නොසතුට පත් වූවාහු වන්නහු නම්, එයින් ඔබලාට ම අන්තරායක්
වන්නේ ය. කෝපය හෙවත් ද්වේශය දුරු කළ යුත්තක් මිස වර්ධනය කළ යුත්තක් නොවේ.”
කුද්ධො අත්‍ථං න ජානාති - කුද්ධො ධම්මං න පස්සති කෝපයට පත්වන පුද්ගලයා හොඳ නරක හෝ,
කළ යුත්ත හෝ සත්‍ය, යුක්තිය, නීතිය, සාධාරණත්වය නොදනියි. එම නිසා විවිධ ප්‍රකාශන
මඟින් කෝප ගැන්වීමට උත්සාහ දරනු ලැබුව ද වඩාත් වැදගත් වන්නේ කෝප නොවී සිටීමයි. මෙම
උපදේශය ගැටුමකට මැදිහත් නොවී සාමකාමී ව ජීවත්වීම සඳහා ප්‍රායෝගික ව ඉතා වැදගත් වූව
කි. ගැටුම් සමථකරණයේ දී බුදුදහම පුද්ගල මනස වෛරී ආකල්පයෙන් මුදවා ගැනීමේ අවශ්‍යතාව
දැඩි ව අවධාරණය කරයි.
“අක්කොච්ජි මං අවධිමං” ඔහු මට ආක්‍රෝශ පරිභව කළේ ය. මාව පරාජය කළේ ය යනා දී වශයෙන්
දිගින් දිගට ම වෛරී සහගත ව සිටින්නේ නම් එය සංසිඳීමට ලක් නොවන බව “වේරං තේසං න
සම්මති” යනුවෙන් ධම්මපදය පෙන්වා දෙයි. ගැටුම් සමථකරණයට එවැනි මානසිකත්වයෙන් මිදීමේ
අවශ්‍යතාව පෙන්වා දෙයි.
යෙ තං න උපනයිහන්ති වේරං තෙසූප සම්මති
මෙලොව කිසි දිනෙක වෛරය සඳහා වෛර කිරීම මඟින් සමථයක් අපේක්‍ෂා කළ නොහැක. වෙනත්
පුද්ගලයකු හෝ පාර්ශ්වයක් හෝ රටක් විසින් හෝ පුද්ගලයකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ
විට ඊට ප්‍රතිචාර වශයෙන් එකී පුද්ගලයාගේ, සමූහයාගේ, රටෙහි අයිතිවාසිකම් පෙරළා
උල්ලංඝනය කිරීමෙන් කිසි දිනෙක ගැටුම් සමනය කළ නොහැක. එහෙත් වත්මන් සමාජයෙහි බහුල
වශයෙන් දැකිය හැක්කේ යුද්ධයට යුද්ධයෙන් හෝ ප්‍රචණ්ඩත්වට ප්‍රචණ්ඩත්වයෙන් හෝ
පිළිතුරු සෙවීමට ප්‍රයත්න දැරීමයි. එනමුත් බුදුදහම එම අදහස දැඩි ව ප්‍රතික්‍ෂේප
කරයි. ගැටුම
කළමනාකරණය කළ යුත්තේ ගැටුම මඟින් නොව අවිහිංසාව උපයෝගී කරගෙන ය. මේ ආදී වශයෙන්
ගැටලු නිරාකරණය උදෙසා බුදුදහමෙන් ලබා දෙන ආකල්පය ආගමික ගැටුම් වැළැක්වීම සඳහා ද
යොදාගත හැක. වර්තමාන ශ්‍රී ලංකාවේ දිනෙන් දින ආගමික ගැටුම් නිර්මාණය වන අයුරු දැක
ගත හැක. පාස්කු ප්‍රහාරය, වැනි ආගමික ක්‍රියා තුළින් ආගමික අර්බුධ නිර්මාණය වන
ආකාරයක් දැකිය හැක. උතුරු නැඟෙනහිර පලාත් තුළින් පැරැණි වෙහෙර විහාර ඉවත් කොට
හින්දු කෝවිල් ඉදිකර ගැනීමට උත්සාහ කිරීම හා ඇතැම් ඊනියාවාදී බෞද්ධ ප්‍රජාව විසින්
රැගෙන යන දුර්මත නිසාත් ආගමික ගැටුම් වර්තමානයේ නිර්මාණය ව පවතී. මේවා වළක්වා ගැනීම
සඳහා සිදුකළ යුතු වන්නේ ආගමික සහජීවනය ඇතිවන ආකාරයේ සෑම ආගමක් සඳහා ම සමානත්වයෙහි
ලා කටයුතු කිරීමටයි. |