ඇසළ අමාවක පෝ දා 2025-07-24
බෞද්ධයාගේ වගකීම
අපේ ශාස්තෘන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා එක් අවස්ථාවක
මෙසේ දේශනා කොට වදාළහ.
“මහණෙනි, ඒ මහණ මැනවින් තබා ගත් සිත් ඇත්තේ ද, දැමුණු සිත් ඇත්තේ ද, රක්නා ලද සිත්
ඇත්තේ ද, චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සිල් වඩමින් ශ්‍රාවක පාරමිතා ඥාන පුරන්නේ
වෙයි. එවන් භික්ෂු හට අර්ථ, ධම්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සිවුපිළිසිඹියා ලාභය,
අෂ්ට විමෝක්ෂ, අරහත් බුද්ධ, පසේ බුද්ධ, සම්මා සම්බුද්ධා දී අධිගම ලබා දෙන්නේ ය”
යනුවෙනි.
තථාගතයන් වහන්සේ මහණෙනි යනුවෙන් ආමන්ත්‍රණය කරමින් මෙසේ ධර්මය දේශනා කොට වදාළ ද
ගිහියන් ද ඊට අයත් ය. ඒ අනුව තථාගත ධර්මයෙහි අප්‍රමාදී වීමට ගිහි පැවිදි සියලු ම
දෙනා කටයුතු කළ යුතු ය. ඒ මේ ජීවිතය යහපත් ලෙස පවත්වා ගනිමින් ඝොර සසර මඟ නිම කරනු
පිණිස ය. අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනෙක
සිරිලක්දිවට වැඩම කිරීමෙන් පසු දේශනා කොට වදාළ පේ‍්‍රත වස්තු හා විමාන වස්තු දේශනා
ශ්‍රවණය කොට අපගේ මුතුන් මිත්තෝ පවෙහි ලජ්ජා වූහ. පවෙහි බිය වූහ. එසේ
ගුණධර්මයන්ගෙන් පෝෂණය වී දෙලොව දියුණුව සලසා ගැනීමෙහි අප්‍රමාදී වූහ.
උට්ඨානවතො සතිමතො
සූචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්සච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසො’භි වඩ්ඪති
නැඟී සිටි වීර්යයෙන් ද, මනා සිහියෙන් යුතු වූ ද, පිරිසුදු වූ කායික, වාචසික ක්‍රියා
ඇති, විමසා බලා කටයුතු කරන, දැහැමි දිවි පැවතුම් ඇති, නොපමා වූ පුද්ගලයාගේ කීර්තිය
මනාව වැඩේ යනුවෙන් ධම්මපදයේ අප්පමාද වග්ගයෙහි ඇතුළත් ය. නැඟී සිටි වීර්යය ඇති
පුද්ගලයා නම් අනලස් වූ තැනැත්තා ය. එනම් මෙලොව පරලොව දියුණුවෙහි කුසීත නොවු
පුද්ගලයා ය. ඔහු ජීවිතය පවත්වන්නේ දහමට අනුව ය. රැකවරණය ලබන්නේ ධර්මයෙහි හැසිරීමෙන්
ය.
සතිය යනු කුසල චිත්ත වීථියෙහි තමන් හා එක්ව යෙදෙන අරමුණූ සිහි කර ගන්නට උපකාර වන
සිතිවිල්ලයි. බෞද්ධයා සතිමත් බව ඇත්තෙක් විය යුතු ය. එමෙන් ම පිරිසුදු කර්ම ඇත්තෙක්
විය යුතු ය. මෙහිදී කය මෙහෙයවා කෙරෙන ප්‍රාණඝාතය, සොරකම, කාමය වරදවා හැසිරීම යන
පාපකාරී ක්‍රියාවන්ගෙන් දුරු වී, වචනයෙන් සිදු කෙරෙන සිවු පාපකාරී ක්‍රියාවන්ගෙන්
වැළකී පිරිසුදු ජීවිතයක් ගත කරයි. ඒ පිරිසුදු ක්‍රියා ඇත්තේ සියලු සතුන් වෙත මෙත්
සිත පතුරුවයි. එවිට ඔහුගෙන් කිසිවකුට කරදරයක්, හිංසාවක් සිදු නොවේ.
ධර්මයෙහි අප්‍රමාදී වූ බෞද්ධයා තමන් යමක් කරන්නට, කියන්නට පෙර නුවණින් විමසයි.
තමන්ට වැළැඳුණු රෝගයකට පිළියම් කරන්නා සේ සියලු කාර්යයන්හි ආදීනව දකිමින්, නිදානය
සලකා නුවණින් විමසා බලා කටයුතු කරයි. එවිට ඔහු අතින් තමන්ට හෝ අනුන්ට හෝ අනර්ථයක්
සිදු නොවෙයි. සිත, කය, වචනය මැනවින් දැක ගනියි. ඒ තුළ දැහැමින් ජීවත් වෙයි.
පන්සිල්,අටසිල් රකිමින් යහපත් ජීවනෝපාය මාර්ගයන් හි නියැළී දියුණුව සලසා ගනියි.
දැහැමින් සිය ජීවිතය පවත්වන්නට නිරන්තර සිහි නුවණින් කටයුතු කරයි. සැබෑ බෞද්ධයාගේ
ස්වභාවය එයයි. |