[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහනුවර යුගයේ කලා සම්ප්‍රදායෙන් අලංකාර වූ වාරණ රාජ මහා විහාර පින්බිම

මහනුවර යුගයේ කලා සම්ප්‍රදායෙන් අලංකාර වූ වාරණ රාජ මහා විහාර පින්බිම

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පැරැණි බෞද්ධ සිද්ධස්ථාන බොහොමයකි. මෙම සමහර පූජනීය සිද්ධස්ථානයන්ගේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යයි. මේ අනුරාධපුර යුගයේ මුල් අවධියේ ඉදි වූ පැරැණි ම පුණ්‍ය භූමියකි. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මංගලතිරිය නම් ග්‍රාමයේ සුන්දර ගල් පර්වතයක ඉදිව තිබෙන එම විහාරය ප්‍රසිද්ධ ව ඇත්තේ “වාරණ රාජමහා විහාරය” යනුවෙනි.

මෙහි ආරම්භය ආරණ්‍යයකි. නික්ලේෂී භික්ෂූන් වහන්සේ වැඩ විසූ ආරණ්‍ය සේනාසනයක් ලෙස හඳුනා ගැනීමට පුළුවන. “වාරණ” රාජමහා විහාරය මංගලතිරිය නම් ගමේ පිහිටා තිබෙන හෙයින් මුල් යුගයේ දී මෙම විහාරය “මංගල රාජමහා විහාරය” නමින් හඳුන්වන ලදී. නමුත් පසුකලෙක මෙම විහාරයට “වාරණ” නම ලැබීමට හේතු කිහිපයක් බලපෑ බව ද සඳහන් ය. පළමු හේතුව වන්නේ මෙම විහාරය පිහිටි පර්වතය හස්තියකුගේ හැඩයෙන් යුතු වීමයි. “වාරණ” යන වචනය හස්තියාට කියන සමාන වචනයක් නිසා මෙම රාජමහා විහාරයට “වාරණ රාජමහා විහාරය” යන නම පටබැඳුණු බවට විශ්වාසයක් පවතී.

දෙවැනි හේතුව වන්නේ මෙම විහාරය පිහිටි භූමියේ අතීතයේ දී “වා” නමින් හැඳින් වූ ශාඛ විශේෂයක් බහුලව දක්නට ලැබී තිබීමයි. ඒ නිසා “වා අරණ” යන වචනයෙන් බිඳී “වාරණ” නම පටබැඳුණු බව කියැවේ.

තුන්වැනි හේතුව වන්නේ දංගල්ලේ අත්ථදස්සී නම් මහා පඬිරුවනක් මෙම විහාරස්ථානයේ අධිපති ව වැඩ සිටි සමයේ දී වරින්වර එහි පැමිණෙන පක්ෂියකු ඉඩම්ගල නම් ස්ථානයේ ලැඟුම් ගැනීමට පුරුදුව සිට ඇත. මෙම පක්ෂියා හිමාලයෙන් මෙහි පැමිණෙන ඇත්කඳ ලිහිණියකු නිසා “වාරණ” යන නම පටබැඳුණු බව ද විශ්වාසයකි.

විහාර භූමියේ පිහිටා තිබෙන ඉඩම්ගලට නැඟෙනහිර පිහිටි දිග්ගලේ පැරැණි ශිලා ලිපියක් දක්නට ඇත. ක්‍රි.පූ. 6 වැනි සියවස පමණ වන විට වාරණ රාජමහා විහාරය පිහිටා තිබෙන ප්‍රදේශයේ මානව ජනාවාස පිහිටා තිබුණු බවට එම ශිලා ලිපිය සාධක වන බව පැවසේ. එසේ ම නව ශිලා යුගයේ දී වාරණ ප්‍රදේශයේ ආදි මානවයන් ජීවත් වූ ප්‍රදේශයක් බවට විශ්වාසයක් පවතී. ලංකාවට බුදුදහම ලැබෙන විටත් මෙම ප්‍රදේශයේ ජනාවාස තිබෙන්නට ඇති බව ද කියැවේ. බුදු දහම ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් දේවානම්පියතිස්ස රජතුමා ලංකාව පුරා විහාරස්ථාන කර වූ බව ද මහාවංසයේ සඳහන් ව ඇත. වාරණ ප්‍රදේශයේ මානව ජනාවාස පිහිටා තිබූ නිසා මෙහි විහාරයක් කරවන්නට ඇති බවට ද ඉතිහාසඥයන් මත පළ කරන්නට ඇත. ඒ වගේම රජු ඉදිකර වූ විහාරස්ථානය තිස්සදත්ත නම් තෙරුන් වහන්සේ නමකට පූජා කළ බව ද එහි ඇති ශිලා ලිපියක සටහන් ව ඇතැයි පැවසේ.

දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් අනුරාධපුරය ආක්‍රමණය කළ අවස්ථාවේ දී පළාගිය වලගම්බා රජු මායා රටේ පිහිටි ඉතා ආරක්ෂිත පෙදෙසක් වූ වාරණ රාජමහා විහාරය පිහිටි ප්‍රදේශයේ සැඟවී සිටිමින් රාජධානිය බේරා ගැනීම සඳහා සේනාව සංවිධාන කළ බව ද පැවසේ. රාජධානිය ආක්‍රමණිකයන්ගෙන් බේරාගත් රජු තමන්ට සෙවණ දුන් වාරණ පුණ්‍ය භූමියට පුද සත්කාර කිරීමට අමතක නොකරමින්, අංගසම්පූර්ණ විහාරයක් බවට දියුණු කළ බව ද පැවසේ.

වලගම්බා රාජ්‍ය සමයෙන් පසුව යළි වාරණ විහාරයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රාජ සමයේ දී ය. මෙහි විශාල විහාර මන්දිරයක් හා 18 රියන් උස පිළිම වහන්සේ නමක් තැන්පත් කළ බව ඉතිහාස පොතපතේ සඳහන් ව ඇත. දඹදෙණිය යුගයේ රජකම් කළ දෙවැනි පරාක්‍රමබාහු රජු ද විහාරයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ බව ද කියැවේ.

කෝට්ටේ රාජධානියේ පාලකයා බවට පත් වූ 6වැනි පරාක්‍රමබාහු රජු සිය රාජ්‍ය සමය තුළ විශාල ශාසනික සේවාවක් සිදු කළ බව ද කියැවේ. ඒ අතරට වාරණ රාජමහා විහාරය ද අයත් වූ අතර. ඒ පිළිබඳව අල්පිටිගේ පාරම්පරික තඹ සන්නසේ ලියැවී ඇති බව ද සඳහන් ය.

වාරණ රාජමහා විහාරයට අවාසනාවන්ත යුගයක් උදාවූ බව සඳහන් වන්නේ සීතාවක රාජසිංහ යුගයේ දී යැයි ද කියැවේ. රාජසිංහ රජු අරිට්ඨ කිවේණ්ඩු නම් ශිව පූජකයාගේ බස් අසා බෞද්ධ විහාර විනාශ කළ බව ද කියැවේ. ඒ අනුව වාරණ විහාරය ද පාරිහානියට ලක් වූ බව කියැවේ.

පසු කාලයේ දී උඩරට රාජධානිය පාලනය කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර කෙත්වතු ද පූජා කළ බව ඉතිහාස පොත්පත්වල ලියැවී තිබේ.

අනුරාධපුර, පොලොන්නරු, දඹදෙණිය, කෝට්ටේ, මහනුවර ආදි වූ සියලුම යුග නියෝජනයක සන්ධිස්ථානයක් වූ වාරණ රාජ මහා විහාරයේ වර්තමානයේ දක්නට ලැබෙන්නේ විශේෂයෙන් මහනුවර යුගයේ කලා සම්ප්‍රදායේ ලක්ෂණයන් ය.

මෙම විහාරය තුළ පහත මළුව, මැද මළුව, උඩ මළුව යනුවෙන් කොටස් තුනකි. පහත මළුවේ “ඉඩම්ගල" නම් තුන් පැත්තකින් ගල්ලෙන් පිහිටා තිබෙන පර්වතය අලංකාර අයුරින් දිස්වේ. එයට නැඟෙනහිර දෙසින් තවත් විශාල ගල්තලාවක් ඇත. “දිග්ගල” යනුවෙන් හඳුන්වන ස්ථානයේ ශිලා ලිපිය දක්නට ලැබේ. එසේ ම ආවාස ගෙයක් සහ ධර්ම ශාලාවක් සහිත ලෙනක් ද මෙම මළුවේ දක්නට ඇත.

මැද මළුවේ ලෙන තුළ විහාරයක්, චෛත්‍යයක්, පොහොය ගෙයක්, අලංකාර සඳකඩ පහන් හතරක් දක්නට ඇත. උඩ මළුවේ ලෙන් විහාරය, ලෙන් ආවාස, පොකුණ සහ පැරැණි ගල්ලෙන් වැනි දේ දැක ගත හැකි ය.

ඇසළ අමාවක

ජුලි 24 බ්‍රහස්පතින්දා පූ.භා 02.32 අමාවක ලබා 25 සිකුරාදා
පූ.භා 00.45න් ගෙවේ.
 24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]