[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පුදබිම බුද්ධගයාව

මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පුදබිම බුද්ධගයාව

තෙමඟුල ලෙසින් වෙසක් දිනයේ දී සිදුහත් කුමරාගේ උපත, බුදුබව ලැබීම සහ පිරිනිවන්පෑම සිදුවූ ඉතා උතුම් දිනයක් ලෙසින් සකල ලෝවාසී බෞද්ධ ජනතාව මෙන් ම බුදුදහමේ අමාරසය විඳින බටහිර ජාතීන් ප්‍රමුඛ මනුෂ්‍ය ප්‍රජාව ද එම දිනය අනුස්මරණය කරති.

ප්‍රථම බුදුපිළිමය නිර්මාණය වූයේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයට සියවස් පහකට පමණ පසුව බව මේ පිළිබඳ විද්වතුන්ගේ (භාරත දේශය ප්‍රමුඛ රටවල ලංකාව ද ඇතුළුව) මතය වන්නේ ය.

මුල් කාලීන මූර්ති කැටයම් බුදුපිළිම නිර්මාණයට පෙර සිරිපතුල් යුගළ, ශ්‍රී මහබෝධීන් වහන්සේ, ස්තූපය, ධර්මචක්‍රය, වජ්‍රාසනය, ඡත්‍රය හා තිරත්නය ආදී බෞද්ධ ලාංඡන එම මූර්ති කැටයම්වලින් නිරූපිත ය.

අප රටේ ඉතා පැරැණිතම බෞද්ධ මූර්තිකලාව සෑගිරිය නමින් මහාවංසයේ සඳහන් වන මිහින්තලේ කණ්ටක චේතියේ මෙන් ම පුරාණ ජම්බුද්වීපයේ මධ්‍ය ප්‍රදේශ්හි භාරුත් පුදබිමෙහි තිබූ බව ඉතා ප්‍රකට කරුණකි. එක් උදාහරණයක් දක්වතොත් අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන බව නිරූපිත භාරුත්හි මූර්ති කැටයමෙහි බුදුරජාණන් වහන්සේ වෙනුවට සිරිපතුල් දෙක ඉදිරිපිට අජාසත් රජු වැඳගෙන සිටින අන්දම නිරූපිත ය. අප එසේ සඳහන් කරන්නේ ඒ සිදුවීම් බ්‍රාහ්මී අක්ෂරවලින් “අජාතසත භගවතො වන්දතො” යනුවෙන් එහි සටහන් කර ඇති හෙයිනි.

බුද්ධත්වයට පත් වූ බෝසත් උතුමා එම සිදුවීම් හා සම්බන්ධ කර දැක්වීම සඳහා පැරැණි කලාකරුවා යොදාගෙන ඇති ප්‍රධානතම සංකේතය බෝධිවෘක්ෂය යි. එය කෙතරම් පිළිගැනීමට ලක්ව තිබුණේ ද යත් බුදුවීම පමණක් නොව ඊට ආසන්න ව සිදුවූ අනෙකුත් වැදගත් සිදුවීම්වලදී ද බුදුරජාණන් වහන්සේ නියෝජනය කර ඇත්තේ බෝධිවෘක්ෂය මඟින් ය. මේ සඳහා හොඳම නිදර්ශනය වන්නේ සාංචි සහ භාරුත්වල ඇති සුජාතා දේවියගේ කිරි ආහාර පූජාව සහ මාර පරාජය පිළිබඳ මූර්ති කැටයම් ය. මුල්කාලීන බෞද්ධ කලාශිල්පවල බෝසතාණන් වහන්සේ බුදු බවට පත් වන අවස්ථාව නියෝජනය කිරීමට සංකේතයක් වශයෙන් යොදාගෙන ඇත්තේ බෝධිවෘක්ෂය යි. බෝධි වෘක්ෂය නම් වූ ගසක් උද්භිද විද්‍යාවේ නැත. එයට බෝගස හෙවත් බෝධිවෘක්ෂය යන නම ලැබී ඇත්තේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාවේ පිටදුන් හෙවත් සෙවණ ලබා දුන් වෘක්ෂය නිසා ය. (මහාවග්ග - 1.පි.16) පාලි මහාබෝධිවංසයෙහි එය මෙසේ සඳහන් කරයි. සම්බුදුරජාණන් වහන්සේට සතර ආර්ය මාර්ගයෙහි පවත්නා වූ ඥානය බෝධි නම් වේ. ඒ ආර්ය මාර්ග ඥානය සංඛ්‍යාත වූ බෝධිය භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ මේ ඇසටුරුක් මුල්හි වැඩහිඳ ප්‍රතිවේද කළ සේක යනුයි. ඒ වෘක්ෂ තෙමේත් යම් හෙයකින් බෝධිය යැයි නම් ලද ද එහෙයින් ඒ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානාදී වූ අනේකවිධ වූ ගුණධර්මයන්ගේ ප්‍රතිවේධයට අත්‍යන්තෝපකාරි ව සිටියා වූ ද ස්කන්ධමාරාදී වූ පඤ්චමාරයන්ගෙන් ජය ගැනීමට මුල් වූ කාරණා හෙයින් ද “ජය ශ්‍රී මහබෝධිය” යැයි නම් ලැබූහ. (පාලිබෝධිවංසය පි.1) ඒ සමඟ ම බුද්ධත්වය නියෝජනය කිරීමට බෝධියෙහි අදාළත්වය ඥානය නැතහොත් ප්‍රඥාවේ සංකේතය වශයෙන් භාරතීය කලාවේ වෘක්ෂය පෙන්නුම් කිරීම තුළින් තහවුරු කරනු ලබයි. එසේම බුද්ධ කාලයට පෙර සිට පැවති වෘක්ෂ වන්දනාව බුදුදහමෙහි බැහැර කරනු ලැබුව ද අලුත් අර්ථකථනයකින් බෝධි වන්දනාව හඳුන්වාදීමත් බෝධිවෘක්ෂයෙහි පූජනීයත්වය ඇති කිරීමට හේතු පාදක ව ඇත. එනම් බෝධිය වන්දනා කරනු ලබන්නේ වෘක්ෂ වන්දනාවක් ලෙස නොව බුදුරජාණන් වහන්සේට ගෞරව කිරීමක් වශයෙනි. (ජාතක අට්ඨකතා ඪම කාලිංග බෝධි ජාතකය - හේවාවිතාරණ ප්‍රකාශන - කොළඹ පි. 212 - 213 - 1936) එනම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පාරිභෝගික චෛත්‍යය වශයෙනි. ප්‍රතිමා කලාව තුළ බෝධිවෘක්ෂය රාජවර්ෂ පූර්ව යුගයේ සිට බුදුරජාණන් වහන්සේ පමණක් නොව පෙර බුදුවරුන් හත් නමක් ම ප්‍රතිමාවලින් තොරව බෝධිවෘක්ෂ කැටයමින් සංකේතාත්මක ව නිරූපණය කිරීම තුළින් හෙළි වෙයි. දීඝනිකාය මහාපදාන සූත්‍රයෙහි බුදුවරු හත් නමක් විෂයයෙහි උන්වහන්සේලා පිටදුන් බෝධි වෘක්ෂයන් පිළිබඳ ව වෙන වෙන ම සඳහන් වෙයි. (බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ – පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණො පි. 4 - 5 ) බුද්ධගයාවේ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයට මාස කිහිපයකට පසුව ය. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසිනි. ඉන්පසු අසෝක අධිරාජ්‍යයා ඉතාමත් ආදරයෙන් වන්දනාමාන කළ ඒ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ අසෝක රජතුමාගේ රාජ්‍ය කාලයේ දී ම විනාශයට පත්කළේ අසෝක රජතුමාගේ පළමු බිසව වූ අසන්ධිමිත්‍රා කුමරිය මිය ගියාට පසුව අසෝක රජතුමාගේ බිසව බවට පත් වූ තිස්සාරක්ඛා විසින් බව මහාවංසයෙහි විසිවන පරිච්ඡේදයෙහි සඳහන් ය. ඒ නිසා අද අනුරාධපුරයේ මහමෙවුනා උයනේ උඩමළුවේ වැඩවාසය කරන්නේ බුද්ධගයාවේ සිදුහත් තවුසාණන් මීට වසර 2600කට ඉහත දී බුද්ධත්වය ලැබීමට සෙවණ දුන් ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ ම ය. (දඹදිව සිවුමහ පුදබිම් - සිරිසමන් විජේතුංග පි. 51 - 2010)

මෙකල ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා නගරයට කිලෝමීටර් 12ක් පමණ දකුණෙන් පිහිටි බුද්ධගයාව ලෝකයේ සිටින සමස්ත බෞද්ධ ජනතාවට ඉතාමත් පූජනීය පුණ්‍ය භූමියකි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ බුද්ධගයාවේ දී ය. බුද්ධගයාව පුදබිමෙහි එදා සිදුහත් බෝසතාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට සෙවණ දුන් ඇසතු වෘක්ෂරාජයා (ජය ශ්‍රී මහබෝධීන් වහන්සේ) රාජ පූර්ව වර්ෂ තුන්වන සියවසේ දී අසෝක රජතුමාගේ රාජ්‍ය කාලයේ දී (රාජ පූර්ව වර්ෂ 273 - 232) විනාශ වූ අන්දම මහාවංසයේ සඳහන් වන්නේ මෙසේ ය.

“දම්සෝ අග රජට අටළොස්වන හවුරුදුයෙහි මහමෙවුනා උයන මහ බෝ පිහිටියා ය. එයින් දොළොස්වන හවුරුදුයෙහි ඒ දම්සෝ රජුගේ මෙහෙසිය වූ රත්නත්‍රමාමක අසන්ධිමිත්‍රා නම් බිසව් කලුරිය කළා. ඉන් සතරවන හවුරුදුයෙහි දම්සෝ රජ තෙමේ විසම අදහස් ඇති තිස්සාරක්ඛා නම් කුමරියක් බිසෝ බැව්හි තැබුයේ ය. ඉන් සතරවන හවුරුදුයෙහි රුවින් මත් ඒ බාල බිසව් “මේ රාජ තෙමේ මටත් වඩා මමායනය කෙරෙයි” කියා ක්‍රෝධවශයට පැමිණ තම හට අවැඩක් කරන්නී මඩුකටු (විස) යෙදීමෙන් මහබෝධිය මැරවී, ඉන් සතර හවුරුදුයෙහි මහා යසස් ඇති දම්සෝ රජ තෙමේ අනිත්‍ය බවට පැමිණියේ ය. මේ සත්තිස් අවුරුද්දයි.

(මහාවංසය විසිවැනි පරිච්ඡේදය ගාථා 1 - 6 සිංහල පරිවර්තනය පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි හා බටුවන්තුඩාවේ පඬිතුමා -1912) මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් ඇත. උඳුවප් පුරපසළොස්වක දිනයක මීට වසර 2332ක ඉහත දී බුද්ධගයාවේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට සංඝමිත්තා මෙහෙණිය රැගෙන ආවේ විනාශ කිරීමට පෙරදි ය. ඒ බව මහාවංසයේ සඳහන් වේ. ඒ නිසා අද අනුරාධපුරයේ මහමෙවුනා උයනේ උඩමළුවේ නිරුපද්‍රිත ව වැඩ වාසය කරන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ බුද්ධගයාවේ දී එදා සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීමට සෙවණ දුන් ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. මේ නිසා අදත් අපට වැඳ පුදා ගැනීමට ඇති අනුරාධපුරයේ ජය ශ්‍රී මහබෝධින් වහන්සේ බුද්ධගයාවේ මුල්ම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් නිසා එහි පූජනීයභාවය තවත් වැඩිවනු ඇත. එය අප රටේ හැම දෙනාගේ ම මහඟු වාසනාවකි.

1871 වර්ෂයේ ඉන්දියාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා විසින් මෙම බුද්ධගයාවේ භූමියෙහි පුරාවිද්‍යා කැණීමක් කරන ලදී. ඒ අවස්ථාවේ දී වජ්‍රාසනය හා කාසි (කුශාන රාජ යුගයට අයත්) පුරාවස්තු රැසක් හමුවිය. මහින්දාගමනයට මාස කිහිපයකට පසුව සංඝමිත්තා මෙහෙණිය හා පිරිස විසින් බුද්ධගයාවේ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන නැව් මඟින් පැමිණ තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ දඹකොළපටුනට බව මහාවංසයේ සඳහන් වන කරුණකි. අප මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ මෙම දූත ගමනට පෙර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් වෙන් කර ගන්නා අවස්ථාව පිළිබඳ විමසා බැලීමට ය. දීපවංසය, මහාවංසය, සිංහල බෝධිවංසය සහ සමන්තපාසාදිකා ආදී බොහෝ පැරණි ග්‍රන්ථවල මේ පුවත සඳහන් වී ඇත.

අසෝක රජතුමා ද එම දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවීමට බුද්ධගයාවේ ජය ශ්‍රී මහබෝධින් වහන්සේගෙන් වෙන් කර ගැනීම සඳහා එහි ගොස් ඇත. බුද්ධගයාවේ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාට වැඩම කරවීම සඳහා වෙන් කර ගන්නා ආකාරය ඉතා පැහැදිලි ලෙසින් ම මූර්ති කැටයමක නිර්මාණය කර තිබීම ද සැබැවින් ම ආශ්චර්යයකි. මේ පිළිබඳ මහාවංසය ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කළ විල්හෙල්ම් ගයිගර් මහතා මෙසේ සඳහන් කරයි.

උරුවෙල් දනව්වේ සිට ලක්දිවට වැඩමවා රෝපණය කරන ලද මහා බෝධිශාඛාව පිළිබඳ ප්‍රවෘත්තිය පුරාවස්තුන්ගෙන් සනාථ වන්නේ ය. සාංචි ස්තූපයේ නැඟෙනහිර තොරණ මුදුනෙහි හරස් අතට දිවෙන පුවරු අතුරෙන් යට හා මැද පුවරුවල නිරූපිත කැටයම්වලින් දැක්වෙන්නේ මේ පුවත යැයි ගෘන්ඩ්ඩේල් විසින් පෙන්වා දී තිබේ. සාංචි කැටයම් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් වන හෙයින් මේ පුවත නිරූපණය වන මූර්ති කැටයම් නෙළන්නට ඇතතේ ද දළ වශයෙන් ඒ සිදුවීමේ සිට අවුරුදු සියයකට හෝ එකසිය ගණනකට හෝ නොවැඩි වන කාලයක දී ය.

මේ අනුව ජය ශ්‍රී මහ බෝධිශාඛාව බුද්ධගයාවේ සිට ලංකාවට වැඩම කරවීම ඓතිහාසික ව හා පුරාවිද්‍යාත්මක ව සනාථ වී ඇත.

බුද්ධගයාව ගැන සඳහන් කරන විට බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව අන්‍යාගමිකයන්ගෙන් ආපසු ලබාගෙන බෞද්ධ ජනතාවට වැදුම්පිඳුම් කිරීමට අවස්ථාව සැලසීම බුද්ධගයා ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇති සිදුවීමකි. බුද්ධගයාව පමණක් නොව දඹදිව බෞද්ධ සෑම පුදබිමක් ම යළි ආපසු ලෝක බෞද්ධ ජනතාවට ලබා දීමේ මහා පුණ්‍යකර්මය එතුමා විසින් සිදුකිරීම යළිත් වරක් අසෝක රජතුමාගේ උත්පත්තියක් ලෙසින් සඳහන් කළ යුතු ව ඇත. වාර්තාගත හා ඓතිහාසික පැරැණි වෘක්ෂරාජයාණන් වන්නේ අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ ය. (සම්බුදුසිරිත හා බෞද්ධ කලාශිල්ප - සිරිසමන් විජේතුංග. පි. 69 - 74. දයාවංශ ජයකොඩි සහ සමාගම - 2022)

ඇසළ අමාවක

ජුලි 24 බ්‍රහස්පතින්දා පූ.භා 02.32 අමාවක ලබා 25 සිකුරාදා
පූ.භා 00.45න් ගෙවේ.
 24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]