[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජාලනී දෙව්දුවගේ මහා දානය

ජාලනී දෙව්දුවගේ මහා දානය

“රහතන් වහන්සේ ආස්‍රවයෝ ප්‍රහීණ කළාහු ය. එනිසා ම පුනර්භවයක් නැත. ආහාරයෙහි වස්ත්‍රයෙහි - ආරාමයෙහි නො ඇලුනෝ ය.

නිවන ම උන්වහන්සේගේ අරමුණ වේ. මේ රහත්හු පිරිනිවීමෙන් පසු ගිය මඟක්, අහසෙහි පියාසර කළ පක්ෂීන්ගේ පියසටහන් මෙන් නො දත හැක්කේ ය.”

තෙරක් නොපෙනෙන දීර්ඝ සසරෙහි උපන් හැම ජාතියක දී ම උපදවා ගත් කෙලෙස් නම් වූ තුවාලවලට නිසි ප්‍රතිකාර නොදත් හෙයින්, නොකළ හෙයින් ඒ ක්ලේශ නම් වූ තුවාල පැසවා ගලා යන සැරවයෝ ය. මෙවන් ක්ලේස සැරව 4ක් තුන් භවයේ කොහේ උපන්නත් සෑම සත්ත්වයකුට ම ඇති බව සම්බුද්ධෝත්තමයන් වහන්සේගේ අවබෝධය යි. ආසව කාමාසාව, භවාසව, දිට්ඨාසව හා අවිජ්ජාසව වශයෙන් සිවු වැදෑරුම් ය. කාමාසව යනු සදෙව්ලොව, සතර අපාය, මිනිස් ලොව ආදි 11 ලොව ඇති අල්ප ආස්වාදයකට මුළාවී නැවත එවන් ලොවක පුනර්භවයක් ලබා දෙන සළායතන ස්පර්ශයන්ට ඇති ආශාවයි.

භවාසව යනු ශාස්වත දෘෂ්ටි සහගත රාගය යි. “භව තණ්හාව“ ලෙසින් ද නම් කෙරේ. දිට්ඨාසව :– නිත්‍ය - සුඛ – ආත්ම සංකල්ප සහගත මිච්ඡා දිට්ඨියයි. පළමු ආසව දෙක ම දිට්ඨාසවය හේතු කොට සෑදෙන්නෙකි.

අවිජ්ජාසව යනු චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා ඇතිවෙන, ඇති කර ගන්නා ක්ලේශයෝ ය. පළමු ආසව 3ම මේ අවිජ්ජාසව නිසා ඇතිවන්නකි.

ඉහත කී සතර ආශ්‍රවයන්ගෙන් සාදාගත් සකල ක්ලේශයන් ප්‍රහීණ කොටගත් කර්මභව, උත්පත්තිභව කර්මයන්ගෙන් තොර රහතුන්ගේ උපත තුන් භවයෙන් කොතැනකවත් සිදු නොවේ. ඒ හෙයින් අහසින් ගිය පක්ෂීන්ගේ පා සටහන් නො දත හැකි සේ ම රහතන් වහන්සේගේ ඉපදීමත් නොදත හැකි ය.

මේ සිදුවීම වනවිට අනුරුද්ධ තෙරණුවෝ අරහත් ඵල ලාභී උත්තමයෙකි. එමෙන් ම අසූමහ ශ්‍රාවකයන් අතර දිවැස් ඇති භික්ෂූන් අතරෙන් අග්‍ර තනතුරු ලාභියා ය. අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කළ අනුරුද්ධ තෙරුන් ගිහි කළ සිදුහත් කුමාරයාට මෙන් ඍතු තුනට මාලිගා තුනක නාටක ස්ත්‍රීන් පිරිවරා රජ සැපටත් වැඩි දෙව් සැප වින්දිතයෙකි. සුදොවුන් මහ රජුගේ නියමයෙන් ශාක්‍ය වංශික ඤාති නිවෙසකින් එක් අයෙක් හෝ මහණ විය යුතු ය යන නියමයෙන් පැවිද්ද ලැබූ අනුරුද්ධ තෙරණුවෝ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඤාති සහෝදරයෙකි.

පළමුවැනි සංගායනාවේ දී අංගුත්තර නිකාය භාර වූයේ අනුරුද්ධ තෙරුන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පිරිසහට ය. සාසන වංශකතාවේ දැක්වෙන පරිදි එ දවස අවුරුදු 160ක් ආයු වින්දේ නීරෝගි ව බක්කුල මහරහතන් වහන්සේ ය. දෙවැන්නා අනුරුද්ධ මහරහතන් වහන්සේ ය. අවුරුදු 150ක් ආයු වින්ද බව දැක්වේ. අවුරුදු 120ක් ආයු විඳි ආනන්ද මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, විශාඛා උපාසිකා, පොක්ඛාරසාදි, බ්‍රහ්මායු, සේල බ්‍රාහ්මණයන්, පාචාරිය සිටු ආදීන්ගේ නම් සඳහන් වේ.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක් දිනක් අනුරුද්ධ තෙරුන් වහන්සේ දිරාගිය තම සිවුර දරාගෙන, පංශුකූලික තව සිවුරක් සකසා ගනු පිණිස රෙදි කැබලි එකතු කරමින් කුණුූ ගොඩක් පාසා හැසුරුණු සේක. මේ වේලෙහි මෙයට පෙර තුන්වැනි අත්භවේ දී උන්වහන්සේට භාර්යාව වූ කාන්තාව ජාලිනී යන නමින් තව්තිසා දෙව්ලොව ඉපිද සිටියා ය. ඒ දෙව්දුව සිවුරකට රෙදි කැබැලි සොයමින් කුණුූ ගොඩක් ගාණේ ඇවිදින අනුරුද්ධ තෙරුන් දැක දිවසළු තුනක් අතට ගෙන ‘මම මේ රෙදි කඩ 3 මෙලෙසින් ම දෙන්නේ නම් උන්වහන්සේ නො පිළිගනු ඇතැ’යි සිතා රෙදි කැබැලි සොයා ඇවිදින මං තීරුවෙහි ඉදිරි කසළ ගොඩක රෙදි කොන් පෙනෙන ලෙසට කසළ අස්සේ සඟවා තැබූ ය. ඒ කසළ ගොඩ අසලින් වඩින උන්වහන්සේ, රෙදි කොන් දැක එයට ළං ව කසළ ගොඩින් ඒවා ගෙන බලා “ඒකාන්තයෙන් මෙය උසස් පාංශුකූලයෙකැ’යි සලකා පාංශුකූල සංඥාවෙන් එය ගෙන වෙහෙරට වැඩි සේක. තෙරුන් වහන්සේ එයින් සිවුරක් සකසා ගන්නට පටන් ගත් දවසෙහි 500 භික්ෂූන් වහන්සේ සමඟ බුදුරජාණන් වහන්සේ ද සිවුර මැසීමට වෙහෙරට වැඩම කළ සේක. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ ඒ පිණිස ම එහි වැඩියහ.

මහා කාශ්‍යප තෙරණුවෝ මුල ද, සැරියුත් තෙරණුවෝ මැද ද, අනඳ තෙරණුවෝ කෙළවර ද වැඩහුන්හ. සෙසු භික්ෂූන් වහන්සේ නූල් අඹරා දුන්හ. බුදුරජාණන් වහන්සේ ඉදිකටුවල නූල් දමා දුන් සේක. මහා මුගලන් තෙරණුවෝ සිවුර මැසීමට වුවමනා අනෙක් හැම දෙයක් සපයා දුන්හ. මේ අතර ජාලිනි දෙව්දුව ගමට වැද බුදුරජාණන් වහන්සේ ඔබේ ගමේ විහාරයට අසූ මහා ශ්‍රාවකයන් හා සෙසු භික්ෂූන් 500 පිරිවරා ගෙන වැඩමකොට අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ සිවුර මසන්නාහ. උන්වහන්සේට දන් පිළියෙළ විය යුතු ය. එහෙයින් කැඳ බත් මාලුපිණි සියල්ල සකසා ගෙන විහාරයට යන්න යැයි සම්මාදම් කරවූවා ය. මෙලෙස පිළියෙළ වූ දානය සියගණනක් වුව ද වළඳා අවසන් කිරීමෙහි අපොහොසත් වූහ. සක්දෙවිඳු ද සිවුර මහන බිම පිරිසිදු කළේ ය. මුගලන් තෙරණුවෝ ද අතුරුපස වේලාවෙහි මහා දඹයක් ගෙනවිත් පූජා කළමුත් වළඳා අවසන් කළ නොහැකි විය. මෙසේ සමස්ත භික්ෂූන් වහන්සේ වළඳා ඉතිරි වූ කැඳ බත් ආදිය අතිවිශාල විය. ඒ දුටු පෘථග්ජන භික්ෂූන් කිහිපදෙනෙක්, ඉන්න ප්‍රමාණය දැන ඒ අනුව මෙපමණ ප්‍රමාණයකට දානය ගෙන එන්න යැයි දන්වනවා වෙනුවට අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ තම නෑයන්ගේ හා දායකයන්ගේ ලොකුකම පෙන්වන්නට මෙසේ කළෝ යැයි හඬනඟා දොස් කියන්නට වූහ.

එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි! කිම, ඔබලා මේ කැඳබත් ආදිය අනුරුද්ධ තෙරුන්ගේ නියමයෙන් ගෙන්වන ලදැයි සිතහු දැ’යි ඇසු සේක. දොස් පැවැරූ භික්ෂූන්” එසේ ය. ස්වාමීනි! යි කී කල්හි බුදුරජාණන් වහන්සේ මහණෙනි! එසේ නොසිතවු! එසේ නොකියවු! අනුරුද්ධයන් එසේ කියන්නෙක් නොවේ. එසේ නොකරයි. රහත්හු සිවුපසය ගැන කතා නොකරති. ඒ මහා දානය දෙවියන්ගේ නියමයෙන් උපන්නේ යැයි දැනුම්වත් කොට ඉහත ගාථාවෙන් දෙසූ ධර්මය අසා අවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියෝ ය.

ඇසළ අමාවක

ජුලි 24 බ්‍රහස්පතින්දා පූ.භා 02.32 අමාවක ලබා 25 සිකුරාදා
පූ.භා 00.45න් ගෙවේ.
 24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]